බිනර පුර පසලොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.බෞද්ධ ශාසන ඉතිහාසයේ බිනර පොහොයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.
ඇසළ මහේ සිට වප් මහ දක්වා වූ කාලය වස් සමය යි.
මෙම කාලය තුළ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි වස් සමාදන් ව විහාරස්ථානයන් හි නිබඳ ව වැඩ වෙසෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් සපුරා ගනිති.
එසේ ම ගිහි සැදැහැවතුන්ට ද අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරමින් ඔවුන ගේ ද ශාසනික කටයුතු සපුරාලමින් ඔවුනුදු ආර්ය මාර්ගයට යොමු කරවති. මෙම වස් සමයේ අතරමැදි පොහොය සහ මධ්‍ය කාලය බිනර මහට අයත් ය.
සම්බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම සිදු වූ දිනය වන බැවින් බිනර මහේ උදාවන බිනර පොහොයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි.
බිනර පොහෝදා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ගේ පැවිදිවීම සිදු වූ අතර එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය.
එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත්වීම මත බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුණීන් පිළිපැදිය යුතු අෂ්ට ගරු ධර්ම පනවමින් ඊට අවසර ලබා දුන්නේ ය.
මෙහි දී බුදුරදුන් වදාළ අෂ්ට ගරු ධර්ම මෙසේ ය.
1. උපසම්පදාවෙන් වසර සියයක් ගත වූ මෙහෙණියක විසින් වූව ද එදින උපසම්පදා වූ භික්ෂුවට වැඳීම, දැක හුනස්සෙන් නැගිටීම, දොහොත් මුදුන් තබා නැමදීම ආදී ගරු බුහුමන් දිවි හිමියෙන් කළ යුතු ය.
2. භික්ෂුණීය භික්ෂූන් නොමැති ගමක වූ ආවාසයෙක වස් නො විසිය යුතු ය.
3. අඩ මසක් පාසා භික්ෂුණිය විසින් භික්ෂූන් වහන්සේගෙන් පොහොය විචාළ යුතු ය. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතු ය.
4. වස් වසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂු, භික්ෂුණී යන දෙසඟ පිරිස් හි ම දුටු දෙයින්, ඇසූ දෙයින්, සැක කළ දෙයින් යන තුන් දෙයින් (දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා) පවාරණය කළ යුතු ය.
5. බර ඇවතකට පත් භික්ෂුණිය, භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයා ඉදිරියෙහි මානත් පිරිය යුතු ය.
6. දෙ අවුරුද්දක් ම උභතෝ සංඝයා වෙත හික්මෙන්නියක සිට උපසම්පදාව අපේක්ෂා කළ යුතු ය.
7. භික්ෂුණිය විසින් කවර කරුණක් නිසා හෝ භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නො කළ යුතු ය.
8. භික්ෂුණිය විසින් භික්ෂුවකට මෙසේ සිතන්න, මේ දෙය කරන්න ආදී ලෙස අණ දෙන ආකාරයෙන් කතා බහ නො කළ යුතු අතර භික්ෂූන් ගේ අවවාද පිළිගත යුතු ය.
මේ අතර සද්ධර්මරත්නාවලිය , පූජාවලිය , සද්ධර්මාලංකාරය , ජාතක පොත් වහන්සේ වැනි සම්භාව්‍ය ගණයට ගැනෙන ධර්ම ග්රන්ථ රැසක් බිනර මාසයේ රචනා කර ඇතැයි ශාසන ඉතිහාසයේ සඳහන් ය.