මම දැකලා තියෙනවා ගොඩක් මිනිස්සු ජේ ආර් ට බනිනවා. හැබැයි ඒ හැමෝම ජේ ආර් ට බනින්නෙ ජේ ආර් ජයවර්ධනයන් විසින් කරපු ආර්ථික විප්ලවයේ ප්‍රථිඵල විදියට ලැබුණු පහසුකම් එදිනෙදා ජීවිතයෙදි භුක්ති විඳින ගමන් වීම තරම් ලෝක විහිළුවක් තවත් නැහැ.
ඒක නිකන් හරියට සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කරන ගමන්, පහසුකම් පිරුණු නවීන නිවසක ජීවත් වෙන ගමන් ඉස්සර ගොන් කරත්තවල ගියපු හැටි, මැටි ගෙවල්වල ගොම ගාපු ගෙවල්වල හිටපු ජීවිතයේ සුන්දරත්වය ගැන කයිවාරු ගසමින් බොරු හීන දකිනවා වගේ වැඩක්.
ප්ලේටෝ කියලා තියෙනවා රටක නායකයින් දාර්ශනිකයින් විය යුතුයි කියලා. හැබැයි අපේ රටේ පහළ වුණු බහුතරයක් නායකයෝ දාර්ශනිකයො තියා හෙට දවසේ මොකක්ද කරන්න ඕන කියන එක ගැනවත් අදහසක් නැති අමු මැට්ටො.
මම විශ්වාස කරනවා මේ රටේ පහළ වුණු තමන්ගේ කියලා දැක්මක් තිබුණු එකම නායකයා ජේ ආර් කියලා.
ලෝකය කඳවුරු දෙකකට බෙදිලා ඉන්න කාලෙක විවෘත ආර්ථිකය වගේ නවීන සංකල්පයක් ගැන මිනිහෙක්ට හිතෙනව කියන එකම මොන තරම් අපූරු වැඩක් ද.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරසිංහ රාවෝ තමයි අද ඉන්දියාව ඉන්න තැනට එන ආර්ථික ප්‍රතිසංස්කරණ කරේ. ඔහු ඉන්දියාවට විවෘත ආර්ථිකය හඳුන්වලා දෙන්නෙ 1990 දශකයේ. හැබැයි මේ පුංචි රටේ හිටපු නායකයෙක්ට ඊට අවුරුදු 20කට විතර කලින් තේරුම් ගන්නවා විවෘත ආර්ථිකය තමයි එකම විසඳුම කියලා.
විවෘත ආර්ථිකයට බනින කවුරු හරි දේශපාලන අඳබාලයෙක් ඉන්නවනම් අද ලෝක බලවතෙක් වෙලා තියෙන චීනය ආර්ථික වශයෙන් නැගිට්ටෙ කොහොමද කියලා හොයලා බලන්න.
ජේ ආර් ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වලා දීලා විවෘත වෙළඳ කලාප ගෙනල්ලා ලංකාවට හඳුන්වලා දීපු ආර්ථික මොඩලයම තමයි වර්තමාන චීනයේ නිර්මාතෘ ඩෙන්ග් ෂියා ඕ පෙන්ග් ජනාධිපතිවරයත් චීනයේ අත්හදා බැලුවෙ. ඒ තුළින් තමයි චීනය සාර්ථක වුණේ.
චීනයේදි ඒ ආර්ථික මොඩලය සාර්ථක වෙන්නයි අපේ රටට ඒ තරම්ම වේගවත් ප්‍රගතියක් අත්කරගන්න බැරිවෙන්නයි බලපාපු හේතු කිහිපයක්ම තියෙනවා.
ඒ අතරින් ප්‍රධානතම දේ තමයි ජේ ආර් ගෙන් පස්සෙ ආපු කිසිම නායකයෙක්ට මේ ක්‍රමය හසුරවාගැනීමට දක්ෂකමක් තිබුණෙ නැහැ. ජේ ආර්ගෙන් පස්සෙ ගාමිණී හෝ ලලිත්ට ජනාධිපති ධූරයට එන්න අවස්ථාවක් ලැබුණා නම් අපේ රටේ ඉරණම මීට වඩා සෑහෙන්න වෙනස් වෙනවා. මේ මහා දැවැන්තයෝ නිරපරාදේ මැරිලා ගියාම රටේ අනාගතය ගැන කිසිදු අදහසක් නැති මිනිස්සු ලොකු පුටුවලට එන්න ගත්තා අන්න එතන තමයි අපිට වැරදුණේ.
මේක සරලව කිව්වොත් වාහනය කොච්චර හොඳ වුණත් Driver මෙලෝ දෙයක් කරගන්න බැරි අදක්ෂයෙක් නම් කෙලින් පාරක වුණත් ලයිට් කණුවක හරි හැප්පෙනවම තමයි. ඉතින් එතකොට Driver ට මිසක් වාහනයට බැනලා වැඩක් නැහැ.
මම කියන්නෙ නැහැ ජේ ආර් කරපු සියල්ල හරි කියලා. ඔහුටත් වැරදි වුණා. හැබැයි ඉතිහාසයේ නායකයෙක්ගෙ කාර්යභාරය මනින්න ඕන හොඳ සහ නරක තරාදියකට දාල කිරලා මැනලා මිසක් ඉරක් ගහලා වෙන් කරලා නෙවෙයි.
අර කතාවක් තියෙන්නෙ ගමේ බුදු වුණත් වැඩක් නෑ කියලා. මෙහෙ මිනිස්සු ජේ ආර් ට පලුයන්න බනිනකොට ජපානයේ මිනිස්සු අදටත් ජේ ආර් ජයවර්ධන නාමයට කෘතවේදී වෙනවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ බිමට සමතලා වුණු ජපානයට ආයෙ නැගිටින්න අවස්ථාවක් ලබා දෙන්න තරුණ දේශපාලකයෙක් විදියට සැන් ෆ්රැන්සිස්කෝ සාම සමුළුවේදී ඔහු කරපු මැදිහත්වීම නිසා. මේවා ගොඩක් මිනිස්සු දන්නෙත් නැහැ. කණගාටුවට කාරණය එක්සත් ජාතික පක්ෂයටත් ඔවුන්ගේ පක්ෂයේ ශ්‍රේෂ්ඨතම නායකයා අමතක වුණු එක. ඔවුන් ඒ වැරැද්ද දැන්වත් හදාගන්න ඕන.
මේ උඩ ලියපුව මොකක්වත් තේරුම් ගන්න මොළයක් නැති තමන් දන්නෙ නැහැ කියලවත් පිළිගන්නත් නිහතමානී කමක් නැති 1970-77 කාලෙ ගැන පම්පෝරි ගහ ගහ ඉන්න උද්දච්ච කණ්ඩායමක් මේ රටේ ඉන්නවා. ඔවුන් එක්ක තර්ක කරලා වැඩක් නැහැ.
ඔබ යමක් ගැන කියවන තරමට, ඉගෙන ගන්න තරමට, දැනුම හොයන තරමට ඔබට මෙච්චරකල් ඔබ හිතන් හිටපු සමහර දේවල් වැරදියි කියලා තේරුම් යනවා. සමහරු ඒක තේරුම් ගන්නෙ අත්දැකීමෙන්මයි. අපේ රටටත් ඒ අවස්ථාව දැන් ලැබිලා තියෙනවා.
අද ජේ ආර් ගෙ 115 වෙනි උපන්දිනයනෙ. ඔය ජේ ආර් රට කෑවා කියන මහත්වරුන්ට ප්‍රායෝගික උත්තරය ලැබෙන මොහොත දැන් ඇවිල්ලා.
1977 ජේ ආර් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වලා දෙනකොට මරාගෙන මැරෙන්න ගියපු අයම අවුරුදු 50කට පස්සෙ විධායක ජනාධිපති ක්‍රමය ෂෝක් කියන තැනට ආවා වගේම තව අවුරුද්දක්,උපරිම අවුරුදු දෙකක් ඇතුළත ජේ ආර් ජයවර්ධනගේ පිළිම හදලා මල් මාලා දාන තැනට එනවා. තර්ක කරලා වැඩක් නැහැ. බලන් ඉන්න.
ජේ ආර් ජයවර්ධන මැතිතුමනි මේ රටේ මිනිස්සුන්ට ලෝකය පෙන්වපු පිනම ඇති ඔබ ඉන්න තැනක සැනසීමෙන් ඉන්න.
ඔවුන් තවම දන්නෙ නැති වුණාට මේ රටේ මිනිස්සු ඔබට ණයයි.
ජේ ආර් ජයවර්ධන මැතිතුමනි,ඔබට ස්තූතියි !!!