මෙරට වෙළෙපොල තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීම සඳහා රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිළ ඉක්මවා භාණ්ඩ අලෙවි කිරිම සඳහා කටයුතු කරනු ලබන වෙළෙඳසැල් හිමියන්ට පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ මෙතෙක් පනවා තිබූ රු.2,500/= දඩය රු.ලක්ෂයක් දක්වා වැඩි කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට, කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. ඒ අද දින මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ය.
මෙම අනුමැතිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකේය වෙළෙඳපොල තුළ අත්තනෝමතික ලෙස භාණ්ඩ මිළ ඉහළ දමමින් විවිධාකාර නියම් හා අනියම් කූට උපක්‍රම තුළින් මෙවැනි විධි විධාන සංශෝධන සිදු කිරීමට ඉඩ නොදුන් පිරිසට එරෙහිව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ කැබිනට් මණ්ඩලය විසින් අද දින ගනු ලැබූ මෙම තීන්දුව ඓතිහාසික තීන්දුවක් වන බවයි.
එමෙන්ම මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ඉතාම වැදගත් ඓතිහාසික තීන්දුවක් ලබා ගත්තා.
ඒ අනුව පාරිභෝගික ආරක්ෂණ පනතේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා, ජන ජීවිතයට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩයක්, රජය විසින් නියම කරනු ලබන මිළට වඩා වැඩි මිළට අලෙවි කළහොත් පනවනු ලැබූ රු.2500/=ක් වූ දඩය, රු.ලක්ෂයක් දක්වා වැඩි කිරිමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව රු.ලක්ෂයක අවම දඩයක් තීරණය කරන ලද අතර උපරිම දඩය නිර්ණය කරනු ලබන්නේ ඒ හා අනුශාංගික වන විධිවිධානයන් යටතේයි.
පසුගිය සතිය තුළ මේ සහල් වෙළෙඳපොල මාෆියාවේ ඇතැම් පාර්ශ්වයන් විසින් දඩ මුදල වැඩි කිරීමට ඉඩ නොදෙන බවට විවිධ අදහස් රට පුරා ප්‍රචාරය කර හැරියා. ඔවුන් කියා සිටියේ, කුමන හේතුවක් නිසාවත් මේ දඩයට බියක් ඇති කරගත යුතු නැති බව හා කිසිසේත්ම මේ දඩය ඉහළ දැමීමට ඉඩ නොදීමටත්, සහල් මිළ ඉහළ නංවීමේ වැඩපිළිවෙල මේ කන්නයේදීත් ක්‍රියාත්මක කරනු ලබන බවයි.
මේ හේතුවෙන් පාරිභෝගිකයා පත් වන පීඩාව සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා ක්‍රියාත්මක වෙමින් අතිගරු ජනාධිපතිතුමා , අධිකරණ අමාත්‍යතුමා, ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යතුමා සහ පාරිභෝගික සේවා අධිකාරිය එක්ව ගන්නා ලද කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මාගේ කෘතඥතාවය පළ කළ යුතුයි.
නීතිය සමඟ සෙල්ලම් කරමින් ජනතාව අසීමාන්තිකව සූරා කෑ මාෆියා යුගය අවසන් කිරීමටත් මේ වන විට ගෝලීය අර්බුදය හේතුවෙන් අතිශයින්ම පීඩාවට පත්ව සිටින මෙරට පාරිභෝගික ජනතාවගේ ප්‍රධාන ආහාරය, ලබා ගැනීමේදී ඔවුන් මත කිසිදු පීඩාවක් පැටවීමට වත්මන් රජය ඉඩ දෙන්නේ නෑ.
ඒ වගේම පාරිභෝගිකයාට සහල් කිලෝවක් රු.100/=ට වඩා අඩුවෙන් ලබා දීමට මෙන්ම, වත්මන් රජය බලයට පත් වීමත් සමඟ වී ගොවියාට ලබා දුන් රු.50/=ක්, රු.52/= වැනි සහතික මිළ ඒ ආකාරයෙන්ම ඉදිරියේදීත් ලබා දීමට කටයුතු කරනවා. යම් හෙයකින් වී තොග සහතික මිළට ලබා ගැනීමට මෝල් හිමියන් කටයුතු නොකරන්නේ නම් සමස්ත වී තොගයම ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්රමුඛව වී අලෙවි මණ්ඩලය සූදාම්ව සිටිනවා.
ඒ වගේම කිසිදු අවස්ථාවක වී තොග තෙවන පාර්ශ්වයක් සතුව තබා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා මෙන්ම වෙනයම් ක්‍රමයක් මඟින් වෙළෙඳපොල කෘතිම සහල් හිඟයක් මවා පෑමට කටයුතු කළහොත් ඊටත් මුහුණ දීමට අපි සූදානම් බව අවධාරණය කරන්නට කැමතී.”
මහේෂ් වික්‍රම