Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන මෙම පො‍හෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් වේ.

බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී පස්වග භික්ෂූන් වහන්සේලා අරභයා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම මේ අතර වඩාත් ප්‍රමුඛත්වය ගනියි.

මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා විසින් සම්මත කරන ලද මහාවිහාර සීමාව තුළ ප්‍රථම සීමා සම්මතය සිදු කිරීම, ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබීම, දේවානම්පියතිස්ස රජු විසින් මිහින්තලයේ කණ්ඨකචේතිය වටා කරවූ අට සැට ලෙන් පුජාව, මහරහතන් වහන්සේලා හැට දෙනමක් පළමු වරට ලක්දිව වස් එළඹීම, දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑය තැනීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීම, එහි ධාතු නිධානෝත්සවය සිදු කිරීම, දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමෙන් පසු වාර්ෂික දළදා මහා පෙරහරේ ආරම්භය සිදුවීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි.

වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, විසි නව වන වියේ දී සතර පෙර නිමිති දැක ගිහි ගෙය කළකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පස්වග භික්ෂූන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය සිදුවීම, රාහුල කුමරු ජන්මලාභය ලැබීම, ගණ්ඩබ්බ රුක් මුල්හි දී තීර්ථකයන්ගේ මානය මර්දනය කරනු වස් බුදුරදුන් යමාමහ පෙළහරපෑම, මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදු කිරීම, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසු තෘතීය මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම යන සිදුවීම් සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත් වීමට බලපාන කරුණු අතර ප්‍රමුඛත්වය ගනියි.

Scroll to Top