කෘතහස්ත දේශපාලඥයෙකු වූ හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ගේ හැටහත්වන (67) ජන්ම දිනය ඊයේ(15) යෙදී තිබේ. රජරට ජනතාවගේ හදවත් තුළ සදා ජීවමාන චරිතයක් වන එතුමන් සිය දේශපාලන චාරිකාවේ පළමු පියවර අරඔන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව මැතිවරණ බල ප්‍රදේශයෙන් දේශපාලනයට අවතීර්ණ වෙමිනි.
පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් අසීරු කාලසීමාවක් ගත කළ මෙම අවධිය තුළ රජරටින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වු මේ අභීත තරුණ නායකයා සිය පක්ෂයට හා පාක්ෂිකයන්ට යෝධ සවියක් විය.
එමෙන්ම බර්ටි ප්‍රේමලාල් දිසානායක යනු 1994 දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදුජන එක්සත් පෙරමුණු රජය බිහිකිරීමට පුරෝගාමීව කටයුතු කළ දේශපාලන නායකයෙක් විය. එම රජයේ කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා සමාජ සේවා කැබිනට් ඇමතිධූර හොබවමින් අනුරාධපුර දිස්ත්‍රික්කයට ඉමහත් සේවාවක් ඉටු කළේය.
සෑම විටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වෙනුවෙන් පෙනී සිටිමින් , සටන් කරමින් සිය පක්ෂය හා පාක්ෂිකයන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් එතුමන්ට වරෙක සිරබත් කෑමට පවා සිදුවිය. එනිසාම බර්ටි ප්‍රේමලාල් දිසානායක යන නාමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසය තුළ ලියවී ඇත්තේ කිසිදා නොමැකෙන ලෙසිනි.
දාහත් (17) වසරක් පුරා තම අණසක පතුරවමින් එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ බලකොටු බිඳ දමමින් එදා අනුරාධපුරයේ එක්සත් ජාතික පක්ෂ පතාක යෝධයන්ව සිටි ඒ.එම්.එස් අධිකාරී , මහින්ද සෝම, චන්ද්‍රබණ්ඩාර වැනි එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් ගෙනගිය දූෂිත, මැර දේශපාලනයට එරෙහිව සටන් කර , එක්සත් ජාතික පක්ෂ බලකොටුවක්ව තිබූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ධජය එසවීමට තරම් බර්ටි ප්‍රේමලාල් දිසානායක නම් නායකයා නිර්භීත විය.
එතෙක් එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ උතුරු මැද පළාත් සභාවේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා ගැනීම සඳහා එවකට පක්ෂයේ සභපති, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා හට පළාත් සභා මැතිවරණයට තරඟ කරන මෙන් ඉල්ලීමක් කළාය. සිය කැබිනට් අමාත්‍ය ධූරය අත්හරිමින් ජීවන අරගලයක නියලෙමින් සිටි සිය රජරට ජනතාවගේ සිතුම් පැතුම් හොඳින් හඳුනා ගත් සැබෑ නායකයෙක් ලෙසින් උතුරු මැද පළාතේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ තීරණය ගැනීමට බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පසුබට නොවීය.
එතුමන් ගත් ඒ අභීත තීරණයේ ප්‍රතිඵලය ලෙසින් 1999 පළාත් සභා මැතිවරණයේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සංධානයට හිමි වු අතර ඒ හේතුවෙන් 1999 සිට 2012 වසර දක්වා අඛණ්ඩව උතුරු මැද පළාත් මහා ඇමති ලෙස එතුමා කටයුතු කළේය. එනිසාම උතුරුමැද පළාත් සභා සංවර්ධනයේ නියමුවා ලෙසත්, තම පාක්ෂිකයන්ගේ නායකයා ලෙසත් රජරට ජනතාවගේ හදවත් තුළ සැමදා බර්ටි ප්‍රේමලාල් දිසානායක නම් අභීත නායකයා සදාකාලිකව ජීවත් වේ.
දේශපාලනයේ ගෝලයන් සෑදීම ඉතා අනතුරුදායක කටයුත්තත් වුවද , එය කිසිවිටකත් අභියෝගයක් කර නොගත් බර්ටි ප්‍රේමලාල් දිසානායක අංකුර දේශපාලඥයන්ට අත දෙමින් තමාගෙන් පසු ජනතා සේවය පිණිස කැපවී ක්‍රියාකරන අනාගත පරපුරක් නිර්මාණය කිරීමට නොපැකිලිව ක්‍රියා කළේය. අදටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ දේශපාලඥයන් එතුමන්ගේ ගෝලයන්ය.
බර්ටි ප්‍රේමලාල් දිසානායක නම් වු අපගේ ආදරණීය නායකයාණන්ගේ අභාවයෙන් පසු එතුමන්ගෙන් රජරට ජනතාවට ඉටු වූ ජනතා සේවය අඛණ්ඩව ඉටු කිරීමේ වගකීම නොපිරිහෙලා ඉටු කරන එතුමාගේ වැඩිමහල් පුත් වර්තමාන සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන් දැනට විසිඑක් වසරක (21) කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
2013 සැප්තැබර් මස 27 වන දින බර්ටි ප්‍රේමලාල් දිසානායක නම් වු අපූරු මානව හිතවාදී දේශපාලන නායකයා සිය දිවි සැරිය නිම කරන්නේ රජරට ජනතාවට අව්‍යාජ දේශපාලන නායකයෙකුගෙන් හිමිව තිබූ රැකවරණය නිම කරමින් මෙන්ම එහි සැබෑ වගකීම තම වැඩිමහල් පුතණුවන්ට පවරමිණි.
බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ගේ හැටහත්වන (67) වන ජන්ම දින යෙදී ඇති අද දවසේ එතුමන් අප අතර ජීවමාන නොවුනද , රජරට ජනතාව අතර “ කළු බර්ටි ” යන නාමයෙන් විරුදාවලිය ලත් “අපේ නොනිදන මහ ඇමති” , බර්ටි ප්‍රේමලාල් දිසානායක සැමදා රජරට ජනතා හදවත් තුළ ජීවමානය.