Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ආත්ම වංචනිකයාට බුදු දහම තුළ රැඳෙන්නට නොහැකිය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ ලෝකයට මිනිසා එකම විදිහට උපත ලැබුවත්, මිය ගියත්, ජීවත්වන මිනිසාගේ විවිධ වෙනස්කම් දක්නට ලැබෙයි. අඩු ආයුෂ ඇති, වැඩි ආයුෂ ඇති, රෝගාබාධ ඇති, රෝගාබාධ නැති, හැඩරුව ඇති, එසේ නැති, බොහෝ පිරිස් ඇති එසේ නැති, සැප සම්පත් ඇති, එසේ නැති, උසස් කුල ඇති, හීන කුල ඇති, නුවණ ඇති, නුවණ නැති මේ ආකාරයේ වෙනස්කම් පවතී. මෙය මෙසේ වීමට බලපාන හේතුව කුමක් ද? බුදු හාමුදුරුවනේ.

මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ වෙත යොමු කර නුවණැති තරුණයෙක් සමාජයේ ජීවත්වන මිනිසා තුළ පවතින මේ වෙනසට හේතුව හොයාගන්න ඔහුට නොහැකි වුණා. වර්තමානයේ වුණත් බොහෝ උගතුන්ට දාර්ශනිකයන්ට මෙයට ස්ථිර විසඳුමක් නැහැ. සමාජවාදී දර්ශනය තුළ මෙම ප්‍රශ්නවලින් එකකට උත්තර දෙනවා.




ඒත් එය එතරම් නිවැරදි පිළිතුරක් ලෙස පිළිගන්න අමාරුයි. සැප සම්පත් ඇති සහ එසේ නැති වීමට හේතුව තමයි ඔවුන් කියන්නෙ ශ්‍රම පරාරෝපණය හෙවත් ශ්‍රමය සූරා කෑමේ විෂමතාවය කියලයි සමාජවාදයේ දෙන පිළිතුර. භෞතිකවාදීව ලෝකය දෙස බලන එම පිළිතුර පරිපූර්ණ උත්තරයක් ලෙස ගන්න බැහැ. සමාජවාදී පරිසරයක වුව ද ඒ අන්ත දෙක දැකිය හැකි නිසා.

සූත්‍රයේ දැක්වෙන ආකාරයට ප්‍රශ්නය විචාළ තරුණයාගේ නම ‘සුභ’ ඔහුගේ තාත්තා තෝදෙය්‍ය. ජේතවනාරාමයේ බුදුහාමුදුරුවන් වැඩ ඉන්න වෙලාවේ පන්සලට ආව සුභ තරුණයා තමයි මේ ප්‍රශ්න ගොන්න විචාරන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ මේ සියලුම ගැටලුවලට හේතුව කර්මය බවයි.

කම්ම යන්නෙහි විවිධ තේරුම් තියෙනවා. ක්‍රියාව, කර්මය, කර්මාන්තය, වැඩය මේ විවිධ අරුත් ඔස්සේ සිතා බලන විට පෙර සංසාරගතව කළ යම් යම් කුසල අකුසල තමා පසුපස එන ඒවාවත් කර්මය කියා කියන බව පේනවා. කර්මය, හොඳ කර්මය සහ නරක කර්ම වශයෙන් බෙදන්න පුළුවන්. බොහෝ අය පෙර කරුමේ කියන්නේ නරක දෙය සඳහා පමණයි. හොඳ කර්මවලට පූරුවේ වාසනාව කියලයි කියන්නේ. තමා පසුපස එන කර්ම රැහැන තමයි සියල්ල තීරණය කරනු ලබන්නේ. ඒ නිසාම සත්ත්වයෝ කර්මය තමා කොට ඇත්තාහ. කර්මය දායාද කොට ද පිළිසරණ කොට ද ඇත්තාහ. කර්මය විසින් සත්ත්වයෝ හීන ප්‍රහීන වශයෙන් බෙදනු ලැබේ.




මේ ලෝකයේ යමෙක් රුදු සිත් ඇතිව ප්‍රාණඝාත කරත්නම් මිනිසත් බව ලැබූ විට අල්ප ආයුෂ ඇත්තෙක් වෙයි. ප්‍රාණඝාත නොකරන්නේ නම් දීර්ඝ වූ ආයුෂ ඇත්තෙක් වෙයි.

යමෙක් සතුන්ට හිංසා කරන්නේ නම් බොහෝ රෝග ඇත්තෙක් වෙයි. හිංසා නොකරන්නේ නම් අල්ප රෝග ඇත්තෙක් වෙයි. යමෙක් තරහ බහුල කෙනකු ලෙස සිටීනම් විරූපී ලෙස උපත ලබයි. එසේ නැත්තේ නම් සුරූපී ලෙස උපත ලබයි.

යමෙක් ඊර්ෂ්‍යා සහගත සිත් ඇතිව අනුන්ගේ සැපතෙහි සතුටු නොවන්නේ නම් අල්පේශාක්‍යව (පිරිස් අඩු) උපත ලබයි. එබඳු සිත් නැති අය මහේශාක්‍යව උපත ලබයි. යමෙක් පරහිත පිණිස දන් පහන් නොදෙන්නේ නම් මරණින් පසු දුප්පත්ව උපත ලබයි. දන් පහන් දෙන අය ‍පොහොසත්ව උපත ලබති.

යමෙක් ගරු කළ යුත්තන්ට ගරු කරන්නේ නැතිව අධික මානයෙන් කටයුතු කරන්නේ නම් පහත් කුලවල උපත ලබයි. එසේ නොකොට ගරු කළ යුත්තාට ගරු කරන අය උසස් කුලවල උපත ලබයි. යමෙක් කුසල් අකුසල් නොදැන වරද නිවැරද නොදැන ඒවා අසා අවබෝධ කර නොගෙන කටයුතු කිරීම නිසා මරණින් මතු අඥානව උපත ලබයි. ඒවා දැන අවබෝධ කරගෙන අර්ථවත් ලෙස කටයුතු කරන පුද්ගලයා බුද්ධිමත් ලෙස උපත ලබයි.

බුදුරජාණන් වහන්සේ මෙහි දී සුභ තරුණයාට පැහැදිලි කර දෙනු ලබන ධර්මමය සමාජ පදනම ඉතාමත් අපූරුයි. සාමාන්‍ය මිනිසාගේ ස්වභාවය හිංසා විඳින්නට නොකැමැති වීමත් ඒවා අන්‍යයන්ට දෙන්නට කැමැතිවීමත් ආශා කිරීමත් ය. දහමෙහි විග්‍රහ කරන්නේ තමා අන්‍යයන්ට දෙන්න කැමැති දෙය නොව තමා අන්‍යයන්ගෙන් ලබන්න කැමැති දෙයම සමාජයට දිය යුතු බවයි. මන්ද දීම යනු දීමක් නොව ලැබිමක් බව දහම විවරණය කරන නිසයි.




ඒ අනුව පැහැදිලි වන්නේ තමා සහ සමාජය යනු දෙකක් නොව එකක් බවයි. තමා යනු සමාජයයි. සමාජය යනු තමාමයි. තමා ප්‍රිය කරන දෙයම සමාජයට ප්‍රදානය කළ යුතුයි. ප්‍රිය නොකරන දෙය සමාජයට නොදිය යුතුයි.

සාමාන්‍ය මිනිසා ද ධර්මයෙන් ඈත් වූ කෙනා ද කටයුතු කරනු ලබන බව පෙනෙන්නේ හරි පුදුම විදිහටයි. එනම් ඔවුන් ධර්මමය දේහි අනෙක් පැත්ත අනුගමනය කරයි. තමා ප්‍රිය කරන දෙය සමාජයට නොදෙයි. සමාජය ප්‍රිය කරන දෙය නොගනියි. එනිසාම සැබෑ මිනිසා සමාජය තුළ ජීවත් නොවන බව පෙනෙයි.

ජීවත්වන්නේ කෘත්‍රිම ව්‍යාජ කෙනෙකි. එදිනෙදා මගතොට අප හා සිනාසෙන්නේ ද කතාබහ කරන්නේ ද ගනුදෙනු කරන්නේ ද ව්‍යාජ මිනිස් රූකඩ නොවේද? සත්‍යය තමා තුළ සඟවා මිථ්‍යාවක්ම මතු කරයි. තමා තුළ පවතින වැරදි අඩු ලුහුඬුතා දැන දැන සඟවාගෙන අන් අයගේ එබඳු අවගුණ මතු කරයි. හෙළි කරයි. ප්‍රදර්ශනය කරවයි. ඔහු එසේ කිරීම යනු ඒවා සමාජයට දීමයි. මතුදා ඒවාම තමාට පෙරළා ලැබෙන බව සැණෙකින් අමතක කර දමයි. තමාට ද එරෙහි වූ මිනිස් වංචනිකත්වයේ රුදුරු බව එය නොවේද?

තමන් හිංසා ලබන්න ද, ඝාතනය වන්න ද අකැමැති වුව ද ඔහුම අන්‍යයන්ට ඒවා ලබා දෙන්නට හරිම ආශා කරයි. ඒ ආශාව විසින් තමා ලබන්නට අකැමැති වූ මරණය ද හිංසාව ද තමාට අත් විඳින්නම සිදුවන බව චුල්ලකම්ම විභංග (ම.නි) සූත්‍රයේ හෙළි කරයි. අන්‍යයන් ඝාතනය කරන්නා අඩු ආයුෂ ලබන්නේ ද අන්‍යයන්ට හිංසා කරන්නා නිතර නිතර රෝග බහුල කෙනකු වන්නේ ද ඒ අනුවයි.




මේ අනුව බලන විට ධර්මය හරිම අසිරිමත් ය. වංචනිකයන්ට බුදු දහම තුළ රැඳෙන්නට බැරිය. තමා කළ වංචාව අනිවාර්යයෙන්ම තමාට රහසක් නොවේය.

එහි විපාකය ද අනිවාර්යයෙන්ම විඳින්නට ලැබෙයි. තමා අන්‍යයාට විපතක් කළා යනු පරිසරයට සමාජයට විපතක් කිරීමයි.එම පරිසරය විසින් එයට පෙරළා විපාකය ලබා දෙයි. බුදු දහම සද්භාවයෙන් අවංක වන්නට මිනිසාට උගන්වනු ලබන්නේ එනිසා ය. සමාජයට අවංක සේ පෙන්වන නමුත් එසේ නැති මිනිසුන් වර්තමානයේ බහුල ය.

සමාජයේ අනෙකාගෙන් තම මිථ්‍යා බව සඟවා ගත්ත ද තමාගෙන් එය තමාට සඟවා ගතනොහැකිය. ආත්ම වංචා සහගත මිනිසා ගේ දුගඳ සමාජය පුරා හමා ඇදෙයි. එය තමාට නොදැනෙයි. සමාජයට දැනෙයි. කුණු ‍පොල් ගෙඩියෙහි අසීමිත දුගඳ එයට නොදැනෙන්නාක් මෙනි.

Scroll to Top