කොදෙව්, බංගලාදේශ සහ එංගලන්ත සංචාර හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පරාජයන් සමග මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉතිහාසයේ සිදුවූ විශාලතම බිඳවැටීම සිදුව ඇතැයි බොහෝ දෙනෙකු පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන් සමග මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අද පත්ව ඇති තත්වය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.
ඇනජලෝ මැතිව්ස් පසුගිය දා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් සඳහන් කළේ, පෞද්ගලික හේතුවක් මත තමන් ඉන්දීය සංචාරයෙන් ඉවත් වන බවය.
එසේම තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම පිළිබඳ අදහසකින් පසු වන බව එම ලිපියේ සඳහන් විය.
හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තමාගේ ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හමුවීමට අවස්ථාවක් ඉල්ලා ලිපියක් යොමුකර තිබේ.
“ක්‍රිකට් කියන්නේ මගේ වෘත්තීය. මම ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. මගේ අනාගතය ගැන නිවැරදි තීරණය ගැනීමට එය වැදගත් වෙනවා,” චන්දිමාල් සිය ලිපියේ දක්වා ඇත.
චන්දිමාල් පවසන්නේ තම ක්‍රීඩා දිවිය තුළ තමා සෑමවිටම රට ප්රමුඛ ස්ථානයේ තබා තීරණ ගත් බවත් ය.
පසුගිය වසර කිහිපය තුළදී ඔහුව කණ්ඩායම සඳහා තෝරාගැනීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය හේතුවෙන් ඔහුව ව්‍යාකූල තත්ත්වයකට පත්වී සිටින බවත් ඒ හේතුවෙන් තම ක්‍රීඩා විලාසයටත් දැඩි බලපෑමක් ඇතිව තිබෙන බවත් චන්දිමාල් සිය ලිපියෙන් පෙන්වා දෙයි.
සුරංග ලක්මාල් ද සිය ක්‍රිකට් අනාගතය ගැන තීරණයක් ගැනීමට බලපොරොත්තුවෙන් පසුවන අතර ලහිරු තිරිමාන්න ලබන මස ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සූදානම් බව වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන ඉන්දීය තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඒ, එංගලන්ත තරග සංචාරයේ දී ඔහු මුහුණ දුන් උරහිසක ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන්. ඉකුත් දින දෙකේදී පුහුණුවීම් සදහා ද කුසල් ජනිත් එක් වූයේ නැහැ. ඉන්දීය තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කළ හැකිදැයි අවසන් තීරණයක් අද ගනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, නිරෝධායන කාලය ගත කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් ඊයේ දිනයේ දී කණ්ඩායමේ පුහුණුවීම් සදහා සහභාගී වී තිබුණා.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අරක් ගත් සූදු කරුවන් ඔට්ටූකරුවන් හා එම ක්‍රීඩාවට සැම අතින්ම වග කියන ක්‍රිකට් පරිපාලකයින් ක්‍රීඩකයින්ට කුඩම්මාගේ සැලකිලි හරහා තව දුරටත් සිදුවන්නේ ක්‍රිකට් බිඳ වැට්ටවීමක් විනා යහපතක් නොවේ.