ටැන් කිම් චූ… යනු කඩිසර ලෙස රාජකාරියේ යෙදුණු චීන කාන්තාවකි. 68 හැවිරිදි ඇයට විටින් විට දරුණු ලෙස ඇති වූ පිටකොන්දේ වේදනාවක් තිබිණි. ඒ හැරෙන්නට ඇයට තිබුණු තවත් ලොකුම කරදරය වූයේ විනාඩි පහක්වත් පයින් ඇවිද යෑමට තිබූ අපහසුවය.
ඇගේ වේදනාව පැන නැගුණේ වම් උකුල් ඇට ප්‍රදේශයෙනි. එතැනින් පටන් ගන්නා ඒ දරුණු වේදනාව වම් පාදය දිගේ යටි පතුල් ප්‍රදේශය දක්වාම විහිදුණේය.
දරාගත නොහැකි වේදනාවෙන් පීඩා විඳි ඇයට ජීවිතය එපා වූ අවස්ථා එමට ය. ඇයට දිවි නසා ගැනීමට පවා සිතුණු වාර අනන්තය. කොතෙක් දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් ඒ අසනීපයෙන් ඇයට නිසි සුවයක් අත් වූයේ නැත. වේදනා නාශකයකින් තාවකාලික සුවයක් ලැබූවත්, විටින් විට… රෝගය උත්සන්න වීමෙන් ඕ නොවිඳිනා දුකක් වින්දා ය.
එසේ කඳුළු කැට පුරවාගෙන ඇඳටම වී කල්පනා කරමින් සිටි ඇයට ලියූ ක්ෂිං නම් වෛද්‍යවරයා ගැන අසන්නට ලැබුණේ අහම්බෙනි.
පසුගිය සැප්තැම්බර් මාසයේ ඇය යූ යැංග් සැංග් විශේෂඥ වෛද්‍ය සේවා ස්ථානයේ විශේෂඥ දේශීය වෛද්‍ය ලියූ ක්ෂිං මුණගැසුණාය. වෛද්‍යවරයා සියුම් ලෙස ඇයගේ රෝගී තත්ත්වය පරීක්ෂා කළේය. ඇයට ඇත්තේ සයිටික් ස්නායුවේ වේදනාවක් බව වටහා ගැනීමට වෛද්‍යවරයාට වැඩි වේලාවක් ගත වූයේ නැත.
‘සයිටික්’ ස්නායුවේ රෝගී තත්ත්වය ඇත්තවුන්, සමාන කරන්නේ ගිජුලිහිණියාටය. සංස්කෘත ශ්ලෝකයකින් ඒ රෝගය දේශීය වෛද්‍ය ශාස්ත්රයේ විස්තර කරන්නේ ගිජුලිහිණියාගේ ගමනට ය. ගිජුලිහිණියා ගමන් කරන්නේ පැත්තක් බරකර දෙපසට වැනෙමින්, ඉතා අසීරු විලාසයකිනි. සයිටික් ස්නායුවේ රෝගී තත්ත්වය ඇත්තන් ගමන් කරන්නේ ද, පැත්තක් බර කරගත් අසීරු විලාසයකිනි.
චීන දේශීය වෛද්‍ය විශේෂඥ ලියූ ක්ෂිං තවදුරටත් ඇය පරීක්ෂාවට ලක් කළේ ය. මීට පෙර ද ඇය ඔස්ටියෝ ආතරයිටිස් රෝගී තත්ත්වය උදෙසා පරීක්ෂාවට ලක් කළේ පිට කොන්දේ වේදනාවද සැලකිල්ලට ගනිමිනි. පිටකොන්ද දිගේ විහිදී පහළට ඇදෙන සයිටික් ස්නායුව, තට්ටම් ප්‍රදේශය ඇතුළතින් හා කලවා ප්‍රදේශයට යටින් පාදය දිගේ යටි පතුල දක්වා විහිදෙන බව කියනු ලැබේ. ටැන් කිම් චූ නම් කාන්තාවගේ රෝග පරීක්ෂාවෙන් ඇයගේ කොඳු නාරටියේ හතරවැනි හා පස්වැනි කොඳු ඇට හානි වී ඇති බව හඳුනා ගැනිණි.
වෛද්‍ය ලියූ ක්ෂිං මුලින්ම කළේ ටැන් කිම්ගේ රුධිර සංසරණය ක්‍රමවත් කිරීම සඳහා ඇයට කටු චිකිත්සාව ලබා දීමය. එවිට සයිටික් ස්නායුව දිගේ ද ක්‍රමවත්ව රුධිරය සංසරණය වෙයි. ඉන්පසු ඇයට ඖෂධීය ශාක අනුසාරයෙන් බෙහෙත් ලබා දීම ද සිදුවිය. ඒ මගින් ඇයගේ වකුගඩු හා අක්මාව ද ක්‍රමවත් කෙරිණි.
එක් කටු චිකිත්සක ප්‍රතිකාරයකින් හා ඖෂධීය ශාක ප්‍රතිකාර පන්තියකින් පසු ටැන් කිම්ට සැලකිය යුතු ගුණයක් දැනෙන්නට විය. ඇය නොකඩවාම ප්‍රතිකාර ලබාගත් අතර, ක්‍රමයෙන් ඇයගේ බරපතළ රෝගී තත්ත්වය මගහැරී ගියේ ය.
අදටත් ටැන් කිම් සිය ප්‍රතිකාර වට්ටෝරුව වෛද්‍ය විශේෂඥයාගේ උපදෙස් පරිදි කරගෙන යයි. දැන් ඇය ගෙදර වැඩපළ සියල්ලම තනිවම කර ගනී. එපමණක් නොව විනාඩි පහක කාලයක්වත් පයින් ඇවිද ගන්නට බැරි වූ ඇය දැන් දවසේ අඩක්ම වුවත් පහසුවෙන් පයින් ඇවිදගෙන යයි. ඇයට දැන් කිසිම අපහසුවක් හෝ වේදනාවක් නොදැනෙන බව ඕ සිනාමුසු මුහුණින් පවසයි.
ජීවිතය එපා වී දිවි නසාගන්නට සිතූ ඇයට මේ ආශ්චර්යමත් ප්‍රතිකාරය ලැබුණේ සාම්ප්‍රදායික චීන දේශීය ප්‍රතිකාරවලට පින්සිදුවන්නට ය.
දේශීය චීන ප්‍රතිකාර ක්‍රමය කටු චිකිත්සාව හා ඖෂධීය ශාක ප්රතිකාරවලින් පමණක්ම සමන්විත නොවේ. යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යන අතරේම දිගු කලක් නිරෝගීව වාසය කිරීමට ද එය මග කියා දෙයි.
දශක ගණනාවකට පෙර සාම්ප්‍රදායික චීන දේශීය ප්‍රතිකාර ක්‍රමය ගැන වැරදි විශ්වාස, වැරදි මත පළ වී තිබිණි. චීන සාම්ප්‍රදායික වෛද්‍ය මධ්‍යස්ථානය ඒ තුළින් යහපත් දේ තෝරා සුබවාදීව එම සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම පවත්වාගෙන යයි. ආතරයිටිස් රෝග තත්ත්වය හා සිරුරේ වේදනා උදෙසා චීන කටු චිකිත්සා ක්‍රමය එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය ද අගේ කොට සලකනු ලැබුවේ 2002 වසරේ දීය.
සාම්ප්‍රදායික චීන දේශීය වෛද්‍ය ක්රමයේ දර්ශනය හා පදනම වන්නේ තුලිත සිරුරක් පවත්වා ගැනීමය. සෞඛ්‍යය පුනරුත්ථාපනය කිරීම හා රෝග වළක්වාලීම එහි අරමුණ වෙයි. ඒ සඳහා තුලිත ආහාර වේලක් හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පුරුදු කරවීම විශේෂත්වය වෙයි.
සාම්ප්‍රදායික චීන විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානය ප්‍රජනන කාර්යයේ ‘නිසරු බව‘, පිළිකා, දියවැඩියා, උදරයේ හා අතුනුබහන් පිළිබඳ රෝග හෘදයාබාධ ආදියට ද ප්‍රතිකාර සිදු කෙරේ.
අසහනය, මානසික ආතතිය, ස්ථුලතාව පාලනය කිරීම වැනි රෝග තත්ත්වයන්ට ද සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමයෙන් දැන් ප්‍රතිකාර සිදු කෙරේ. “ටූනා” යනු චීන සම්බාහන ක්රමයකි. ආතරයිටීස් රෝගයෙන් වේදනා විඳිමින්, පීඩා විඳින රෝගීන්ට චීන කටු චිකිත්සාව, ඖෂධීය ශාක ප්‍රතිකාර මෙන්ම සම්බාහන ක්‍රමය ද ප්රත්යක්ෂ පිළියමක් බව ප්‍රතිකාර ලබා ගත් අයගේ ගුණාත්මක විග්රහයන් අනුව වඩාත් තහවුරු වී තිබේ.