ලෝකයේ බංකොලොත් හා දූෂිත රාජ්යයන් අතරින් කිහිපයක් වන උගන්ඩාව, ටැන්සානියාව, බුරුන්ඩි, කොංගෝව අතරට මැදිව පිහිටා ඇත්තේ අප්රිකාවේ කුඩාම රාජ්යයයි. මිලේච්ඡ ජන සංහාරයත් සමගම කලක් ලොවම පිළිකුල් සහගතව බලන්නට වූ මෙම රාජ්යය නමින් රුවන්ඩාවයි.
යළිත් මෙම කුඩා රටට ලොකයේ ඇස් යොමුවන්නේ අපූරු දේශපාලඥයෙකු මූලික කරගෙනය. ඔහු නමින් පෝල් කගාමේය.
මිලියනයකට ආසන්න ටුට්සි සහ හුටු ජාතිකයන්ගේ මළකඳන් මත ඉදිවූ අමු සොහොනක් බඳු මෙම රාජ්යය මෙම අභාවාචක තත්වයට පත් කරනු ලැබුවේ 1962 සිට වාර්ගික පදනමින් බලයට පත් දේශපාළුවන් විසිනි. ජර්මනිය හා බෙල්ජියම යන රටවල කොලනියක් හෙවත් යටත් විජිතයක් වශයෙන් පැවති රුවන්ඩාවට 1962 දී නිදහස ලැබිණි.
නිදහසිනි පසුව ලංකාව පාලනය කළ අමන පාලකයින් මෙන් වසර 56ක් තිස්සේ ජනාධිපතිවරුන් 5 දෙනකු අතින් කෙලසුනු මෙම රාජ්යයට නැවත ෆීනික්ස් කුරුල්ලෙකු ලෙස නැගී සිටීමට හැකිවූයේ ජන සංහාරයෙන් පසුව එරට පාලනයේ බලය සුරතට ගත් පැරණි ගරිල්ලා නායකයෙක් වූ පෝල් කගාමේය. ඔහු බලයට පත් වූයේ 2000 වර්ෂයේ දීය.
දකුණු රුවන්ඩාවේ ටුට්සි ජාතික පවුලක ඉපදුන කගාමේ තම රටේ පැවති වාර්ගික හා ප්රචණ්ඩකාරී වාතාවරණය හමුවේ තම පවුල සමගම උගන්ඩාවේ දේශපාලන රැකවරණ පතා පළා ගියේය. පසු කළෙක උගන්ඩා ජනපති මුසවෙන්ගේ හමුදාවට බැඳී සේවය කර ඇත.
තමාගෙ උපන් බිම වූ රුවන්ඩාවේ සිවිල් යුද්ධය පැතිර යනවිට එයට එරෙහිව ගොඩ නැගූ රුවන්ඩා දේශප්රේමි හමුදාවට නායකත්වය දී රුවන්ඩාවේ පාලන බලය ලබා ගැනීම පිණිස සටන් වැදුනි. මෙම යුධමය වාතාවරණය මැද පැවති සටන් විරාමයේදී රුවන්ඩා ජනාධිපති ජුවෙනල් හබරිමානා ගුවන් අනතුරකින් මියගිය අතර එම ප්රහාරයට වගකිව යුත්තේ සුළුතර ටුට්සි ගෝත්රික ජනයා බවට බහුතරය වූ හුටු ගෝත්රිකයින් චෝදනා කරනු ලැබීය. ඒ සමගම සටන ලැව් ගින්නක් සේ පැතිර ගියේය. මසකට ආසන්න පැවති මෙම ජන සංහාරයෙන් ලක්ෂ 8-10 අතර සංඛ්යාවක් ඉතාම කෙටි කලක් තුළ ඝාතනය කරන ලදී.
හුටු අන්තවාදීන්ගේ ජන සංහාරයට එරෙහිව රුවන්ඩාවේ දේශප්රේමී පෙරමුණ ප්රහාරයන් ගණනාවක් එල්ලකර හුටු අන්තවාදීන් පරාජය කළේය. එම සටනට නායකත්වය දුන් රුවන්ඩාවේ වත්මන් ජනපති පෝල් කගාමේ බලයට පත් වූයේ 2000 වර්ෂයේ දීය.
රුවන්ඩාවේ 2017 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් තෙවැනි වරටත් ජයගත්තේ 60 වියේ පසුවන කගාමේය. 2000 වර්ෂයේ සිට බලයේ සිටින කගාමේ රුවන්ඩා දේශයට සුවිශේෂී ආර්ථික වර්ධනයක් අත්කර දුන් නායකයෙකු ලෙස ජනතා බුහුමනට පාත්රවී අවසන්ය.
උද්දච්ච මෝඩකම් වෙනුවට රට පාවාදී කොමිස් කුට්ටි ගසා ගැනීම වෙනුවට තම පවුල රටට පෙර තරකර ගැනීම වෙනුවට ජන සංහාරක යුද්ධය අවසන් කිරීමෙන් පසු ජනපති කගාමේ ලෝක නායකයන් හමුවී රට සංවර්ධනයට සහාය ඉල්ලා සිටියේය. එයට ලෝකයේ බොහෝ රටවල් ප්රතිචාර දැක්වීය. පෝල් කගාමේ යනු ජාතිවාදය ඉතාමත් තදින් ප්රතික්ෂේප කළ නායකයෙකු වීම රට ලැබූ තවත් ජයකි. අප්රිකාවට රටවල් 54ක් අයත් වන අතර, ඉන් ඉහළම ස්ථානයේ වැජඹෙන රටවල් කිහිපය අතරට රුවන්ඩාවද අයත් වෙයි.
එසේම නැගෙනහිර අප්රිකාවට අයත් රටවල් අතර ඉහළින්ම සිටින්නේද රුවන්ඩාවයි. ඉතා කෙටි කාලයක් තුළ ජාතීන් අතර ඇති ප්රශ්න විසඳා ගනිමින් එක ජාතියක් ලෙස සාමාජීය සහ ආර්ථික වශයෙන්ද ඉදිරියට ඒමට රුවන්ඩාවට හැකි විය. අද එම දේශය මහා ජන සංහාරයක් සිදුවූ රටක් ලෙස හඳුනාගැනීමට පවා නොහැකිය.
එම අපරාධය සිදුවූ බවට සාක්ෂි පෙන්වන කෞතුකාගාර කිහිපයක් රුවන්ඩාවේ ඇති අතර ඒවායෙහි ප්රදර්ශනයට තබා ඇති මිනිස් ඇටසැකිලි සහ අනෙකුත් දෑ මගින් එම විනාශය පෙන්නුම් කරයි. අද රුවන්ඩාවේ ජනතාව අතර සාමය සහ සංහිඳියාව උපරිම යහපත් තත්ත්වයට පත්ව ඇත.
රුවන්ඩාව ආධාර හා ණය මත යැපෙන රටක සිට ස්වයංපෝෂිත භාවය කරා මාරු කිරීම තමාගේ අරමුණ බව ජනපති කගාමේ පවසයි. රුවන්ඩාවේ කිගාලි අගනුවර නවීන මෙන්ම පිරිසිදු නගරයක් ලෙස මේ වනවිට ප්රසිද්ධියට පත්ව ඇත. ඩ්රෝන තාක්ෂණය පවා එරට කෘෂිකර්මාන්තයට මෙන්ම සෞබ්ය සේවා සැපයීම වෙනුවෙන් යොදාගනී. රනිල් වික්රමසිංහලා මේ රටේ ජනතාව ඇන්දවීමට කුලියාපිටියේ ෆොක්සගන් කම්හල් අරින්නට මුල්ගල තබන විට කගාමේ එවැනි කර්මාන්ත තම රටේ ජනයාගේ සුභ සිද්ධිය පිණිස රැගෙන ගොස් තිබිනි.රනිල් ෆොක්ස්වැගන් කම්හලට මුල්ගල තැබූ බව එම සමාගම නොදැන සිටි බවට එවකට ප්රසිද්ධ විය.
ජනවාර්ගික ගැටුම ඉතාමත් විදිමත් ආකාරයකින් විසඳු ජනපතිවරයා ජාතින් අතර සාමුහිකත්වය වර්ධනය කිරීමට සියළු ජනකොටස් එකට වාසය කිරීමට ඉඩ ප්රස්ථාව සලසා දුනි. අද රුවන්ඩාව යනු ජාති, කුලමල, ආගම් භේද නැති සාමයේ තෝතැන්නකි. අද එහි මිනිසුන් කිසිවකුත් තමන්ගේ ජාති ආගම් ප්රශ්න කතා කරන්නේ නැත
එමෙන්ම එය රුවන්ඩාවට තහනම් මාතෘකාවක්ද වෙයි. පල්ලි සහ දේවස්ථාන 6000 ක් වසා දැමීමට අණ කරන ලද්දේද රුවන්ඩාවේ ජනාධිපතිවරයාගේ නියමයෙනි. ඒ පිළිබඳව ප්රකාශයක් කරමින් ඔහු මෙසේ පවසයි.
“මම බලයට පත්වූ වහාම මම මගේ රටේ පල්ලි සහ දේවස්ථාන 6000 කට අධික ප්රමාණයක් වසා දමා ඇති අතර දැන් දේවස්ථානයක් පවත්වාගෙන යෑමට අවශ්ය නම් ඒ සඳහා සෑම ආගමික නායකයෙකුගෙන්ම දේවධර්මය පිළිබඳ උපාධියක් ඉල්ලා සිටිමි.
මිනිසුන්ගේ ඇදහිල්ල සමඟ සෙල්ලම් කිරීම නවත්වන්න… එයින් ව්යාපාරයක් කිරීම වහාම නවත්වන්න… රුවන්ඩාව කියන්නේ දැනටමත් ජනතා ආශීර්වාද ලත් රටක් ”
නිසි ආර්ථික ක්රමවේදයක් නොතිබුණු රුවන්ඩාව, ජනාධිපති පෝල් කගාමේගේ පාලනයට පසුව ශීඝ්ර ආර්ථික දියුණුවකට පත්වන්නට විය. එනම් ඔහුගේ රාජ්ය ප්රතිපත්තිය යටතේ මුලින් ඔහු තම රටෙහි කර්මාන්ත නඟාසිටුවීමට කටයුතු කළේය. දේශීය පරිභෝජනය සඳහා වන විවිධ කර්මාන්ත මෙන්ම විදෙස් රටවලට සිදුකෙරෙන අපනයනයන් සඳහා වූ කරමාන්තද ඔහු දියුණු කළේය. මෙහිදී ඔහු වඩාත් අවධානය යොමු කළේ තම රටෙහි තිබෙන පතල් කර්මාන්තය දියුණු කිරීමටය. රුවන්ඩාව යනු ඉතා වටිනා ස්වභාවික භූගත ලෝහයන් සහ රසායනිකයන් කිහිපයක්ම ඇති රටකි.