දෙහිවල සත්වෝද්‍යානයේ හිපපොටේමස් සහ සීබ්රා සතුන් දෙදෙනා හදිසියේ මියගොස් ඇත්තේ කොරෝනා ආසාදන තත්ත්වයකින් නොවන බව අනාවරණ වී තිබෙනවා.
හිපපොටේමස් සත්ත්වයා මියගොස් ඇත්තේ ආහාර මාර්ගයේ බැක්ටීරියා ආසාද්මික තත්ත්වයක් හේතුවෙන්. සීබ්රා සත්ත්වයා මියගොස් ඇත්තේ ආහාර මාර්ගයේ සිදුවූ අවහිර වීමකින්.
මෙම සතුන්ගේ මරණ සම්බන්ධයෙන් කථාබහක් මතුවූයේ දෙහිවල සත්වෝද්‍යානයේ සිටි සිංහයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළිවීමත් සමගයි.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මේ වනවිට තීරණය කර ඇත්තේ කොරෝනා ආසාදිත සිංහයා අනෙක් සතුන්ගෙන් වෙන් කර තබා ප්‍රතිකාර කිරීමටයි. මෙම සිංහයාගෙන් අනෙක් සතුන්ට මෙන්ම කාර්යය මණ්ඩලයට ද වෛරසය ආසාදනය වීම වැළැක්වීමට මේවනවිටත් සියලු පියවර ගෙන අවසන්.