පොළොවෙන් අහසට ඇද ගන්නා ජලයට සැබවින් ම සිදු වන්නේ කුමක් ද ? ඒවා පෙරළා වර්ෂාව ලෙස පොළොවට ම පතිත වන බව ඇත්තකි. එහෙත් ඒ වනාහී සාමාන්‍ය දැනුමට පමණක් සීමාවන අත්දැකීමකි.
පොළොවෙන් අහසට ඇද ගන්නා සෑම ජල අංශුවක් ම පෙරළා පොළොව මතට ම ඇද හැලෙන්නේ නැත. එසේ නම් ඒවාට සිදු වන්නේ කුමක් ද ? මේ සම්බන්ධයෙන් පුරාණ ලෝකායතන ජ්‍යොතිෂ සිද්ධාන්ත විසින් හෙළිදරවු කරනු ලබන තොරතුරු පුදුමාකාරය.
පොළොව මතුපිට වූ ජලය වාෂ්ප කිරීම සඳහා තේජෝ බලය සහ වායෝ බලය සුසංයෝග විය යුතු ය. මේ බලද්වය ය රවි – කුජ – කේතු – ශනි – රාහු සහ යුරේනස් යන ග්‍රහයන් විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. දෙවනුව මේෂ- සිංහ -ධනු – මිථුන – තුලා – කුම්භ යන රාශි හය ද රවි – කුජ – කේතු – ශනි – රාහු යන ග්‍රහයන්ට හිමි නැකත් ද නිශ්චිත ජ්‍යාමිතික පිළිවෙළකට පිහිටිය යුතු ය.
ඉන් අනතුරුව අහසට ඇදගත් ජලය පොළවට පතිත කිරීම සඳහා ආපෝ බලය සහ වායෝ බලය සුසංයෝග විය යුතු ය. එකී බලද්වය කටක -වෘශ්චික -මීන -මිථුන -තුලා -කුම්භ යන රාශි හයෙන් ද සිකුරු – සඳු – සෙනසුරු – රාහු – සහ යුරේනස් යන ග්‍රහයන් ගෙන් ද සිකුරු – සඳු – සෙනසුරු – රාහු – යන ග්‍රහයන්ට අයත් නැකත් පංතියෙන් ද නියෝජනය වේ.
ග්‍රහයා රාශිය සහ නැකත යන ත්‍රිවිධ සංයෝගය අර්ථ විවරණය කරනු ලබන්නේ තරමක් සංකීර්ණ ජ්‍යාමිතික ගණිත සූත්‍රයකිනි. පොදු පාඨකයාට මේ ජ්‍යොතිෂ ගණිතය නීරස විය හැකි මුත් එහි ප්‍රතිඵලය නම් කුහුල උපදවන්නක් වනු ඇත. එහෙයින් දැන් අපි ඒ ගැන කියමු.
දැඩි නියං සායෙන් ගම්බිම් පාලුවට යන බව දකින ගම්පතීහූ හෝ ඔහුගේ නියෝජිතයෝ නැකත් බලන්නට යති. ආ කාරණය නො කියා බුලත් හුරුළු පිරිනැමූ පසු දෛවඥයා විසින් දූත ලකුණු ආදිය විමසා බලා පළමුව ඔවුන් පැමිණි කාරණය මේ යැයි තත්කාලීන ග්‍රහ පිහිටීම අනුව නිවැරදිව ම කිව යුතු ය. යම් හෙයකින් ඔවුන්ගේ සිතේ ඇති ප්‍රශ්නය කීමට දෛවඥයාට නො හැකි වුවහොත් නැකත් බැලීම එතැනින් ම හමාර වේ.
අද මෙන් නොව අතීතයේදී ශාස්ත්‍රය නො දැන කේන්දර බැලීමට සමාජය විසින් කිසිවකුට ඉඩ හරිනු ලැබුවේ නැත. බොරු අනාවැකි කීවොත් රජ කාලයේදී නම් බොහෝ විට උරුම වූයේ මරණ දඬුවම ය. ඇතැම් අවස්ථාවල ඇත්ත අනාවැකියක් කීව ද එය රජාට අවාසි නම් ඒ නිසා ද දෛවඥයාට මරණ දඬුවම නියම වූ අවස්ථාවන් ඉතිහාසයේ සඳහන් වේ. සුප්‍රකට බරණ ගණිතයා ද එලෙස රාජ උදහසට ලක් වූවෙකි.
අනුන්ට සහ රටට ලෝකයට කේන්දර බලන දෛවඥයාට තමන්ගේ ඉරණම කල් තබා නො පෙනුණේ ඇයි දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. එහෙත් එය ජ්‍යොතිෂය අනුව නම් මෝඩ ප්‍රශ්නයකි. කෙසේ නමුත් අතීත දෛවඥයන් තත්කාල කේන්දරය ඇසුරින් බොහෝ හපන්කම් පෙන්වීමට දැන සිටි නිසා තමා අභිමුවට එන පුද්ගලයාගේ සිතේ තිබෙන ප්‍රශ්නය කුමක් දැයි කෙස් ගහට ම කීවේ ය.
ඒ අනුව වර්ෂාව කවදා හට ගනී ද ? යන ප්‍රශ්නය සිතෙහි තබා ගෙන එන පුද්ගලයාට පිළිතුරු දීම සඳහා අතීත දෛවඥයා මූලිකව ම පදනම් කැර ගත්තේ ඒ මොහොතේ පැවති ග්‍රහ පිහිටීම ය. ඒ අවස්ථාවේදී උදා වී තිබූ ලග්නයෙන් දෙවැන්න හෝ තුන්වැන්න යන රාශි දෙකෙන් එකක් ජල රාශියක් වී එහි ජල ග්‍රහයෙක් තැන්පත්ව සිටියොත් නොබෝ දිනකින් නිසැකයෙන් ම වර්ෂාව හට ගන්නා බව ඔහු කීවේය.
එසේ ම සිකුරු – සෙනසුරු රවි සහ සඳුගෙන් 7 වැන්නේ සිටි විට හෝ සිකුරු සෙනසුරු ලග්නයෙන් 4- 8 යන ස්ථානවල සිටියදී හෝ එකී ග්‍රහයන් 2-3 යන තැන්වල සිටියේ නම් හෝ ඉක්මනින් මහ වැසි ලැබෙන බැව් කීවේය. ලග්නාධිපතියා තුන්වැන්නේ සිටිමින් සුබ ග්‍රහයන් සමඟ චර රාශියක වූයේ නම් ප්‍රශ්නය ඇසූ මොහොතේ සිට දින 27 කින් ගම්බිම් උතුරා පිටාර ගලා යන මහා වැසි ඇද හැලෙන බවත් අතීත දෛවඥයන් විසින් කියනු ලැබුවේ ය.
මේ ආකාරයෙන් වර්ෂාව පිළිබඳව අනාවැකි කිව හැකි අතිශය රහසිගත ග්‍රහ සංයෝග සිය ගණනක් තිබේ. ඒවා අතිශය රහසිගත යැයි සඳහන් කෙළේ කරුණු තුනක් නිසා ය. පළමුවැන්න නම් පුස්කොළ පොතේ ග්‍රහ සංයෝගය සඳහන් කැර තිබෙන මුත් රාශිය සහ නැකත පිළිබඳව කිසිවක් කියා නැත. දෙවැන්න නම් පුරාණ පොත්වල ජල රාශි ලෙස දක්වා තිබෙන රාශිවලින් කිහිපයක් ඇත්තෙන් ම ජල රාශි නොවේ.
තුන්වැනි කාරණය වන්නේ හිරුගේ සහ සඳුගේ චලනය අසම්පූර්ණ ලෙස දක්වා තිබීම ය. මේ නිසා පොත අතේ තිබූ පමණින් කිසිවකුටත් නිවරදි අනාවැකියක් කිව හැකි නොවේ. එහෙත් සඟවා තිබෙන කොටස් පාදා ගෙන හිස්තැන් පුරවා ගත්විට අතීත දෛවඥයන් විසින් නො වරදින ලෙස අනාවැකි කීමට යොදා ගත් ජ්‍යාමිතික ගණිත සූත්‍රය විද්‍යමාන වේ.
පුරාණ ජ්‍යොතිෂයේදී වර්ෂාව අදියර තුනකට බෙදා දක්වනු ලැබේ. ඒ අනුව පොළොවෙන් අහසට ජලය ඇද ගැනීම සම්භෝග අවස්ථාව වන අතර එම ජලය වලාකුළුවල තැන්පත්වීම ගැබ් ගැනීමේ අවස්ථාව හෙවත් ගර්භ ධාරණය ලෙස හැඳින්වේ. වර්ෂාව යනු එසේ ගැබ්ගත් දිය ප්‍රසව කිරීම හෙවත් වර්ෂාපතනය යි. මේ අවස්ථා තුන සිදුවන අවස්ථාවේ පැවති ග්‍රහ – රාශි – සහ නැකත් පිහිටීම අනුව වර්ෂාව හෝ නියඟය පිළිබඳව පුරෝකතනය කළ හැකිය.
එක්තරා නැකත් සමූහයක් හරහා සඳු ගමන් කරමින් සිටියදී පොළව සහ අහස අතර සම්භෝගය සිදු වූයේ නම් ප්‍රසවය හෙවත් වර්ෂාපතනය සිදුවන්නේ එයින් දින 195 කට පසුව සඳු නැවත එකී නැකත් සමූහය මතින් ගමන් කරන විට ය.
එතෙක් මාස හයකට අධික කාලයක් එකී ජලය අහසෙහි ම පාවෙමින් තිබේ. තවත් එක්තරා ග්‍රහ පිහිටීමක් අනුව පොළොවෙන් ඉහළට ඇදගත් ජලය අහසෙහිදී ම විනාශ වන අතර එහි ජල බිඳක්වත් පෙරළා පොළොවට වැටෙන්නේ නැත. සම්භෝගය සිදු වුවද ගැබ් ගැනීම සිදු වුව ද ප්‍රසූතිය හෙවත් වර්ෂාපතනය සිදු වන්නේ නැත. තවත් ග්‍රහ – රාශි – නැකත් සංයෝගයක් අනුව පොළොවෙන් ඉහළට ඇද ගත් ජලය පැය 24 ත් 36 ත් අතර කාලයේදී නැවත පොළොව මතට ම ඇද හැළේ. කලාවැවෙන් ඉහළට ඇද ගත් ජලය කලාවැවට ම පතිත වන්නේ ඉතා ම කලාතුරකිනි.
බොහෝ විට සිදු වන්නේ එකී ජලය ඉතා ඈත ප්‍රදේශයකට පතිත වීමය. එකී දුර සහ දිසාව අවශ්‍ය නම් දළ වශයෙන් ගණනය කළ හැකි ක්‍රමයක් ද ජ්‍යොතිෂයේ සඳහන් වේ. ඒ අනුව අමෙරිකාවේදී ගැබ්ගත් වලාකුළක් ශ්‍රී ලංකාවේ කොහේ හෝ තැනක දී වර්ෂාව ලෙස ඇද හැළෙන්නට පුළුවන.
වළාකුළුවල හැඩය පරිමාව සහ වර්ණය අනුව වර්ෂාව හෝ ඉඩෝරය පිළිබඳව අනාවැකි කීම පුරාණ ජ්‍යොතිෂයේ ප්‍රකට භාවිතයකි. ඇතැමුන් එම දැනුම අද පවා කාලගුණ අනාවැකි පැවසීම සඳහා යොදා ගන්නා බව ද පෙනේ.
එහෙත් විශ්වසනීයභාවය අතින් එය එතරම් පොහොසත් නොවේ. අහසේ අඳුරු වැසි වළාකුළු පෙනෙන්නට තිබුණ ද වැසි නො වැටෙන අවස්ථා සුලභ ය. ජලයේ රසායනික සංයුතිය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් බව අපි දනිමු. එහෙත් පුරාණ ජ්‍යොතිෂ මූලධර්ම අනුව ගත්විට ජල අංශුවක ඔක්සිජන් සහ හයිඩ්‍රජන් යන දෙකට අමතරව ක්ෂූද්‍ර සූක්ෂ්ම අවස්ථා පහක් දක්නට ලැබේ.
එකී අවස්ථා පහ නිසි ලෙස සුසංයෝග නොවුණොත් ජලය නිර්මාණය නොවේ. වර්ෂාව පිළිබඳව පවතින රහස ද එතැනට ම සම්බන්ධ වේ. වැසි වළාකුළු හට ගැනීම සහ ඒවා පතිතවීම සිදුවීමට නම් පෙර කී ක්ෂූද්‍ර සූක්ෂ්ම අවස්ථා පහ නිසි ලෙස සුසංයෝග විය යුතු ය. කොයි ලෙසකින් කොයි කාලයක කොයි තැනක සිදු වූවද මේ සඳහා බලපාන්නේ එක් නිශ්චිත මූලධර්මයකි. සරලව කිවොත් වර්ෂාව සඳහා හේතුවන්නේ අහසේ නිර්මාණය වන රසායනික සංයෝගයකි.
කොයි තැනක කොයි කාලයක දී වුවත් එකී රසායනික සංයෝගයෙන් තොරව වැසි හට ගන්නේ නැත. දැන් ජ්‍යොතිෂයේ ඉගැන්වෙන ගිනි – ජල – වායු ආදී ග්‍රහයන් රාශීන් සහ නැකත් ආදියෙන් විමසා බැලෙන්නේ වර්ෂාව සඳහා අත්‍යවශ්‍ය වන පෙර කී රසායන සංයෝගය කවදා කුමන තැනක හට ගන්නේ ද යනු ග්‍රහ චලිතය අනුව ගණනය කිරීම ය. එසේ නැතිව උඩ බලාගෙන හෝ හිතට ආ පළියට හෝ භූත බලයකින් හෝ අනාවැකි කිව හැකි නොවේ.
කෙනෙකු විසින් ප්‍රශ්නය අසනු ලැබුව ද නො අසනු ලැබුව ද ලෝකායතන ජ්‍යොතිෂ සිද්ධාන්ත මත පමණක් පදනම්ව වර්ෂාව පිළිබඳව පුරෝකතනයන් සිදු කළ හැකි ඉතා විශ්වසනීය ක්‍රමයක් නූතන ජ්‍යොතිෂය සතුව තිබේ. බටහිර පුරාණ ටොලමියානු ජ්‍යොතිෂය විසින් ලොවට හඳුන්වා දුන් සිද්ධාන්ත පද්ධතිය 19 වැනි ශතවර්ෂයේ සිට මේ දක්වා ම දිනෙන් දින දියුණුවට පත්වෙමින් එයි. මෙහි පුදුම උපදවන සුළු දෙයක් ද දක්නට ලැබේ.
ඈත අතීතයේදී ග්‍රීක වියතුන් විසින් භාවිතා කරන ලද සිද්ධාන්ත සහ අපේ ආදී මුතුන් මිත්තන් විසින් භාවිතා කරන ලද ජ්‍යොතිෂ දැනුම් පද්ධතිය සියයට සියයක් ම එක හා සමාන ය. එය ඉතා පැහැදිලිව හින්දු ජ්‍යොතිෂයෙන් පරිබාහිර වූ විශේෂ ක්‍රමවේදයකි. මේෂ වෘෂභ ආදී රාශි චක්‍රයේ මුල් නම් කෙළින් ම ග්‍රීක හෝ යවන ජ්‍යොතිෂයෙන් කොපි කරන ලද්දකි. අස්විද බෙරණ රෙහෙන යනුවෙන් එන නැකත් 27 සඳහා එන යෙදුම් අශ්විනී භාරණී රෝහිණී යනුවෙන් නැවත හින්දු ජ්‍යොතිෂය විසින් තමන්ට ඈඳා ගෙන තිබෙන්නේ ඒවාට සංස්කෘත නම් ආරෝපණය කිරීමෙනි.
එපමණක් නොව එකී නැකත් සතු ගිනි ජල වායු ආදී මූලික විශ්ව ස්වරූප පහ තේරුම් ගැනීමේදී හින්දූ ජ්‍යොතිෂය විසින් ඇති කොට තිබෙන විකෘතිය සුළු පටු නොවේ. ජලකාරක නැකත් සහ ගිනිකාරක නැකත් ආදී වශයෙන් වර්ග කිරීමේදී ඒවා මාරු කොට දක්වා තිබීමෙන් හින්දු ලෝකායතන ජ්‍යොතිෂය විහිලුවක් බවට පත්ව තිබේ. ක්‍රිෂ්ණ මූර්ති වැනි විශාරදයකු පහළ නොවන්නට හින්දු ජ්‍යොතිෂය සැබෑ ලෙසින් ම ගර්හිත ශාස්ත්‍රයකි. මෙහි නරක ම ප්‍රතිඵලය වූයේ ජ්‍යොතිෂය ඇසුරෙන් කාලගුණ පුරෝකථනයන් සිදු කිරීමේ වටිනා අවස්ථාව නැති නාස්ති වී යෑම ය.
ඉන්දියාවේ තරම් ජ්‍යොතිෂ අනාවැකි කියන්නෝ මේ ලෝකයේ කොතැනකවත් නො සිටිති. එහෙත් ලෝක වාර්තා තබමින් ඒවා මහ දවාලේ බොරු බවට පත් වන්නේ ටොන් ගණනිණි. ඊට හේතු දෙකක් බලපාන බව පෙනේ. එකක් නම් කටට ආ පළියට බොරු කීම ය. දෙවැන්න නම් වැරදි සිද්ධාන්ත මත පදනම් වෙමින් අනාවැකි කීම ය. ඒ අඩිපාරේ ම යන්නට තැත් දරණ අපේ ඇතැම් ජ්‍යොතිෂවේදීන් ද ඇස් පනාපිට අසරණ වන අවස්ථා රූපවාහිනියෙන් ද පුවත්පත්වලින් ද අන්තර්ජාලයෙන් ද දකින විට හට ගන්නේ මහත් සංවේගයකි. ‘ දෙයියන්ගේ නාමයෙන් අනාවැකි නම් කියන්න එපා ! ‘ යැයි අපි ඔවුන්ට ආයාචනා කරමු.
කේ.සී.ජේ.රත්නායක