Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රාජසන්තක අත්‍යවශ්‍ය භාණ්ඩ සතොසට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරටට ආනයනය කර විවිධ හේතූන් මත රාජසන්තක කරනු ලැබූ, පාරිභෝජනයට සුදුසු තත්වයේ පවත්නා අත්‍යවශ්‍ය පාරිභෝජන භාණ්ඩ සතොස වෙත ලබා දීමට කටයුතු කරන මෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව අද දින  වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම්, වෙළෙඳ අමාත්‍යංශ ලේකම්, වරාය අධිකාරියේ සභාපතිතුමා, රේගු අධ්‍යක්ෂ ජනරාල්, සතොස සභාපතිතුමා ඇතුළු  පිරිසක් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව  ජනපති තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අදාල නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙහිදී අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙතෙක් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා රේගුව විසින් විවිධ හේතු මත රාජසන්තක කරන ලද පාරිභෝජනයට සුදුසු අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිළක් හා විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් යටතේ මෙම භාණ්ඩ සතොස අලෙවිසැල් ජාලය වෙත ලබා ගැනීමට කටයුතු සලසා ඇති බවත් සතොස සඳහා භාණ්ඩ මිළදී ගැනිමේදි සතොස සභාපතිතුමා හා ප්‍රධාන විධායක නිලධාරිතුමන්ද අනිවාර්යෙන් සහභාගි විය යුතු බවයි.

එමෙන්ම සමස්ත ලෝකයේම සැපයුම් ජාලය අඩාල වෙමින් භාණ්ඩ මිළ ඉහළ යමින් පවතින අවස්ථාවක දී ඊට විසඳුම් වශයෙන් දේශීය නිෂ්පාදනය ඉහළ නංවන අතරතුර ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍යම අවස්ථාවක දී මෙම තීරණය ගනු ලැබූ අතිගරු ජනාධිපතිතුමාටත්, මෙම යාන්ත්‍රණය මෙහෙයවීමට කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරියට , ශ්‍රී ලංකා රේගුව ඇතුළු සියළුම අංශ වෙත සිය කෘතවේදීත්වය පළ කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කලේය.
“විශේෂයෙන්ම රටේ පවත්නා හදිසි තත්වයන් තුළ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ දැඩි කැපවීම තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ගුණත්වයෙන් ඉහළව අවම මිළකට ලබා දීමට සතොස අලෙවිසැල් මෙහෙයවමින් කටයුතු කරන අවස්ථාවක දී වරාය හා නාවික අමාත්‍යාංශය වශයෙන් මෙම රාජසන්තක කරන ඇති පාරිභෝජනයට සුදුසු තත්වයේ භාණ්ඩ අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අද දින සිට සතොස අලෙවිසැල් ජාලය වෙත ලබා දීමට පියවර ගන්නා බවත් ඕනෑම අයෙකුට තම අතැති මුදලට තමනට අවශ්‍ය භාණ්ඩ ගුණත්වයෙන් ඉහළ තත්වයෙන් ලබා ගත හැකි එකම ස්ථානය බවට සතොස මේ වන විට පත්ව තිබෙනවා මෙන්ම එය අත්‍යවශ්‍ය සේවයක් වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දුන් උපදෙස් පරිදි ජනතාව වෙනුවෙන් සිදු කළ හැකි කටයුත්තක් වශයෙන් අප මෙම රාජසන්තක කරන ලද භාණ්ඩ විධිමත් ක්‍රියා පරිපාටියක් ඔස්සේ සතොස වෙත අද දින සිට නිකුත් කරනු ලබනවා.”

 

Scroll to Top