Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දකුණු අප්‍රිකාව සමග ඉන්දු- ශ්‍රී ලංකා සබදතා පුළුල් කිරිමට පියවර ගැනේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දකුණු අප්‍රිකාව සමඟ  ඉන්දු- ශ්‍රී ලංකා සමාජ ආර්ථික සහ සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කිරිමේ සාකච්ඡාවක් දකුණු අප්‍රිකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජයිදීප් සාකාර් මහතාගේ  ආරාධනය මත දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මහතා  ගේ සහභාගිත්වයෙන් ප්‍රිටෝරියාහි ඉන්දීය මැදුරේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පොදු සමාජිය සහ සංස්කෘතික වටිනාකම්, ආර්ථික ගැටලු සහ සංවර්ධන විභවයන් බෙදාහදා ගන්නා බැවින්, දකුණු අප්‍රිකාව සමග ආර්ථික හා වෙළඳ සබඳතා ප්‍රවර්ධනය කිරීමේදී ඒ සඳහා පොදු ප්‍රවේශයක් සහ උපායමාර්ගයක් අනුගමනයන කිරීම වඩාත්  ඥානාන්විත බව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණි. ජාතීන් දෙක හිමිකම් කියන්නා වූ ශක්‍යතාවයන්  පරිපූරක හා අනුපූරක ආකාරයකින් යොදා ගැනීමට එවැනි උපායමාර්ගයක්, දකුණු අප්‍රිකානු ආර්ථිකය සමග සබඳතා තරකිරීම පිණිස පහසුකම් සපයනු ඇත.

ස්වාධීන රාජ්‍යයන් ලෙස ඉන්දියාව, දකුණු අප්‍රිකාව මෙන්ම ශ්‍රී ලංකාව මෑත කාලයේදී සමාන ආර්ථික, දේශපාලනික හා ආර්ථික අත්දැකීම් අත්විඳ තිබේ. ජාතීන් තුනම දරිද්‍රතාවය, විරැකියාව සහ ජනගහනයේ  බහුතරය විසින් මූලික උපයෝගිතා වෙත ඇති අල්ප ප්‍රවේශය වැනි ගැටලුවලට මුහුණ පා තිබේ. එසේම, විවිධ අංශයන්හි එකිනෙකට වෙනස් සාර්ථකත්වයන් ජාතීන් තුනම අත්පත් කරගෙන ඇති අතර අනොන්‍ය ප්‍රතිලාභ සඳහා ඒවා ජාතින් තුන අතර බෙදාහදා ගැනිමට හැකිය.

මෙම සාකච්ඡාවේදී, දකුණු අප්‍රිකාව සමග ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රි ලංකාව සහ ඉන්දියාව පොදු ප්‍රවේශයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරනු ලැබීය. ඉන්දියාව සතුව දැවැන්ත නිෂ්පාදන පදනමක් ඇති අතර ජාත්‍යන්තර වෙළඳාමේ නාවුක කේන්ද්‍රයක් ලෙස පිහිටීමේ වාසිය ශ්‍රී ලංකාවට තිබේ. පොදු උපායමාර්ගයක් මගින්, ඉන්දියාව සහ ශ්‍රි ලංකාව දෙරටටම  ප්‍රතිලාභ හිමිවන පරිදි දකුණු අප්‍රිකාව සමග ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම පිණිස මෙම ශක්‍යතාවයන් වඩා ඵලදායී ආකාරයකින් යොදා ගත හැකිය.

මෙම සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාව ඇතුලු ඉන්දීය උපමහාද්වීපයේ රටවල් සහ අප්‍රිකානු මහාද්වීපයේ රටවල්, වෙළඳාම සහ තාක්ෂණය සඳහා දියුණු ආර්ථිකයන් සහිත රටවල් මත යැපීමෙන් නිදහස්විම සඳහා මහත් වෙහෙසක් දරමින් සිටින්නේය යන කරුණ කෙරෙහි අවධානය යොමුකරන ලදී. අප්‍රිකානු කලාපය කාර්මිකකරණය සහ ආහාර නිෂ්පාදනය සඳහා අත්‍යාවශ්‍ය වන ස්වභාවික සම්පත්වලින් ගහණ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මානව ප්‍රාග්ධනයෙන් පොහොසත්ය.

එසේම රටවල් දෙකෙහිම පරිභෝජනය සඳහා ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙම සම්පත් ඒකාබද්ධ කිරීම මගින් රටවල් තුනටම එකිනෙකාගෙන් වාසි ලබාගැනීමට උත්සාහ දරනු වෙනුවට රටවල් තුනටම වාසි සැලසෙන තත්ත්වයක් කරා යොමුවීමට හැකිය.

තවද, යටත් විජිත අතීතයේ නශ්ඨාවශේෂ ලෙස අප්‍රිකාව මෙන්ම දකුණු ආසියාවට උරුමව ඇති විවිධ ගැටලු කෙරෙහිද පාර්ශවයන් දෙකෙහි අවධානය යොමු විය. යටත් විජිත පාලකයන් තම යටත්විජිතයන්හි ශතවර්ශ ගණනාවක් පුරා පැවැති සමාජ ආර්ථික ක්‍රමය වෙනස්කරනු ලැබූ අතර ස්වදේශික ජනයා අඩු වරප්‍රසාද ලත් පිරිසක් බවට පත්ව යටත් විජිත ස්වාමියන්ගේ ආර්ථිකයන්හි සහාය දක්වන්නා වූ සාධකයක් බවට පත්විය.

එම කාල වකවානු තුළදී, ලාභ ශ්‍රම මූලාශ්‍රයක් ලෙස ඉන්දියානු මෙන්ම අප්‍රිකානු ජනතාවට විවිධ රටවලට සංක්‍රමණය වීමට බලකෙරුණි.  එහි ප්‍රතිඵලයක් ලෙස, ඉන්දියානුවන් දකුණු අප්‍රිකාව මෙන් ශ්‍රී ලංකාව වෙත ද සංක්‍රමණය වූ අතර අද වන විට ඔවුන් එම රටවල විශේෂ අභිලාෂ කණ්ඩායම් ලෙස ඒවායේ දේශපාලනික, සමාජීය හා ආර්ථික බලවේගයන්හි කොටසක් බවට පත්ව තිබේ.

ඉන්දීය සම්භවයක් සහිත ජනතාව දකුණු අප්‍රිකානු ජනගහණයෙන් 3% ක් වන අතර ඔවුන්ගෙන් 80%ක්ම ක්වාසුලු නටාල් ප්‍රදෙශයේ වාසය කරන අතර පරිපාලනය, ව්‍යාපාර, මාධ්‍ය, නීති සහ අනෙකුත් වෘත්තීන්හි කැපීපෙනෙන නියෝජනයක් ඔවුන් සතු බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් පැහැදිළි කරන ලදී. ද්විපාර්ශවික සබඳතා තරකර ගන්නා අතරම, එම ජනතාව ද ස්වදේශික ජනතාව මෙන්ම සමාන තත්ත්වයක් හා පහසුකම් භුක්ති විඳිනු දැකීම ඉන්දියාවේ අපේක්ෂාවයි.

යටත් විජිත යුගයේදී ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ ඉන්දියානු කම්කරුවන් ප්‍රධාන සමාජ ධාරාවට එකතු කිරීමට නිදහසින් පසුව බලයට පත් ශ්‍රී ලංකාවේ සියලු රජයන් පියවර රැසක් ගෙන ඇති බවත් ස්වදේශකයන්ට සලකන ආකාරයෙන්ම ඔවුන් සියලු දෙනාට සලකනු ලබන බවත් මහ කොමසාරිස් අමරසේකර මහතා පෙන්වා දුන්නේය. යටත් විජිත පාලකයන් සමග  සංවර්ධනය නොවූ රටවලට සංක්‍රමණය වූ ජනතාව එම කාලයේදී පසුගාමී ස්වදේශික ජනතාවට වඩා වරප්‍රසාද හා පහසුකම් භුක්ති විඳි බව ඒ මහතා තවදුරටත් පැහැදිළි කළේය.

නිදහසින් පසුව, එම පසුගාමී ස්වදේශික ජන කොටස් තමන්ට අහිමි කරන ලද අවස්ථාවන් ලබා ගැනීම ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සංක්‍රමණික ජනතාවට තමන් පෙර භුක්ති විඳි වාසිදායක තත්ත්වයන්හි අඩුවීමක් සිදු විය. එබැවින් එය හිතාමතා සිදුකරන ලද වෙනස් අන්දමින් සැලකීමක් ලෙස නොදැකිය යුතු බවත් සීමිත අවස්ථාවන් බෙදාහදා ගැනීමට අරගල කරනු වෙනුවට, සංක්‍රමණික ජනතාව, දේශීය ජනතාව සමග අත්වැල් බැඳගනිමින් දෙපාර්ශවයේම අවශ්‍යතා සාක්ෂාත් කරගැනීමේ අවස්ථා පුළුල් කර ගත යුතු  බවත් මහ කොමසාරිස්තුමන් පෙන්වා දුන්නේය.

මහ කොමසාරිස් කාර්යාල දෙකෙහි වෙළඳ ලේකම්වරුන් එක්ව කටයුතු කරමින් දකුණු අප්‍රිකාව සමග ඉන්දු – ශ්‍රි ලංකා ආර්ථික හා වෙළඳ සබඳතා වර්ධනය කරගැනීමේ පොදු උපායමාර්ගයක් සකස් කළ යුතු බවට එහිදී එකඟතාවකට එළඹුණි.

මෙම අවස්ථාවට මහ කොමසාරිස් අමරසේකර මහතා සමග කොමසාරිස් උපදේශක ප්‍රියංගනී හේවාරත්න සහ තෙවැනි ලේකම් (වාණිජ) සම්පත් බණ්ඩාර මහතා එක් වූ අතර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් භූපේන්ද්‍ර සිං මහතා සහ දෙවැනි ලේකම් ශෘති පුරුෂෝත්ම් මහත්මිය ඉන්දීය මහ කොමසාරිස් සාකර් මහතාට සහාය විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

Scroll to Top