Aboutceylon Online

කොවිඩ් මරණ 44ක් – සංචරණ සීමා – ඩිලිවරි සහ මාළු විකිණීමට අවසර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් -19 ආසාදනය වීමෙන් මෙරට පුද්ගලයන් 44 දෙනෙකු මියගොස් ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම සංඛ්‍යාව එක්දිනක් තුළ වාර්තා වු ඉහළම මරණ සංඛ්‍යාව ද වේ.

මැයි මස 2 වනදා සිට 20 වනදා දක්වා කාලය තුළ මියගිය පුද්ගලයන් පිළිබඳව කළ පරීක්ෂාවලදි එම තහවුරු කිරීම සිදුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව මෙරටදි මියගිය සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,132ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,538ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 158,324ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,828 සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 125,360ක් විය.

ඊයේ රාත්‍රී 11 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනවා. එය ලබන 25 වනදා අලුයම 4 තෙක් ක්‍රියාත්මකයි. යළි එදිනම රාත්‍රී 11 සිට 28 වනදා අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වනවා.

අදාළ කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි රජය පැවසුවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ කිසියම් ප්‍රදේශයක ඩිලිවරි සේවා පවත්වාගෙන යන්නේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කළ යුතු බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුටත් සඳහන් කළේ අත්‍යවශ්‍ය ඖෂධයක් වේ නම් ඒවා ලබා ගැනීම සඳහා ලගම පිහිටි ඔසුසලට යාමට ජනතාවට අවසර හිමිවන බවයි.

තොග වශයෙන් එළවළු පළතුරු අලෙවි කිරීමට ආර්ථික මධ්‍යස්ථාන 07 ක් පමණක් 24 සහ 25 යන දිනවලත්, 27 සහ 28 යන දිනවලත් විවෘතව තැබෙන බවයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය පවසන්නේ. දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොල, වේයන්ගොඩ, මීගොඩ සහ ඇඹිලිපිටිය එම ආර්ථික මධ්‍යස්ථානයි.

සංචරණ සීමා පැනවෙන කාලය තුළ කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, ඔසුසල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදුකිරීම සහ බෙදාහැරීමට ක්‍රමවේදයන් සැකසීම, නැව් භාණ්ඩ බෙදාහැරීමේ ආයතන (Shipping Line) විවෘතව තැබීමට පියවර ගත යුතුය.

ප්‍රාදේශීයව ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාහැරීමට ද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමටත්, දිවයින පුරා ඇති සතොස ගබඩාවල සිදු කෙරෙන භාණ්ඩ මලු ඇසිරීමටරැකියා ලක්ෂය සඳහා බඳවාගත් පිරිස යොදා ගැනීමටත් උපදෙස් දෙනු ලැබිණ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමටත්, මාර්ග බාධක මෙහෙයුම් පහසු කිරීමට පොලීසිය සමග යුද හමුදාව යෙදවීමටත් තීරණය කෙරිණ.

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙර දින භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර දීම, කෘෂිකාර්මික කටයුතු, සියලු නගරවල කුණු කසල ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කරගෙන යාමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

PCR පරීක්ෂණ සිදුකරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු හඳුනා ගතහොත් එම ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආසාධිතයන්ට ප්‍රතිකාර කිරිමේ දී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් ද යොදා ගැනීමට තීරණය කෙරිණි.

මැයි මස 25 සහ 28 දෙදින සංචරණ සීමා ඉවත් කෙරුණ ද ජනතාවට නිවසින් බැහැර යාමට අවසර හිමි වන්නේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පමණි.

විදේශ රටවල් කිහිපයකින් ඇණවුම් කර ඇති එන්නත් වර්ග කිහිපයක් ඉදිරි දිනවලදී මෙරටට ලැබීමට නියමිතය.

එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කර පවතින තත්ත්වය කඩිනමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත් කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපතිතුමා පැවසීය.

මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව පැවසූ ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ද අවධාරණය කළේය.

සංචරණ සීමා පවතින කාලසීමාවේදී ජනතා අවශ්‍යතා සපුරාලීමට ගෙන ඇති පියවර පිළිබඳ අමාත්‍යවරු ජනාධිපතිතුමන් දැනුවත් කළහ.

වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

Scroll to Top