Aboutceylon Online

රසායනික පොහොර පළිබෝධනාශක භාවිතය අවම කිරීම සදහා වන දොලොස්වැදැරුම් උපාය මාර්ගික ප්‍රවේශය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ආනයනික රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය දැඩි සීමාවකට යටත් කරන බවට රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ප්‍රකාශයට පත්කොට ඇති බැවින් ආනයනික යෙදවුම් මත පදනම් වන කෘෂි නිෂ්පාදන පද්ධතිය ක්‍රමානුකූලව පරාධීනත්වයෙන් ගලවා ගැනීම සහ වස විෂ  නොමැති දේශියව නිපදවන ආහාර ප්‍රචලිත කිරීම මගින් මහජන සෞඛ්‍ය වර්ධනය කිරීම සදහා නිශ්චිත කාල පරාසයකදී කියාත්මක කෙරෙන මහා සැළසුමක් රටට ඉදිරිපත් කිරීම සහ මහජන සංවාදයකට පසුව අත්‍යවශ්‍ය වෙනස්කම් සිදු කිරීම.

එම සැළසුම තුළ ආනයනික සහ විවිධ වස විෂ සහිත රසායනික පොහොර ආනයනය වෙනුවට දේශිය අමුද්‍රව්‍ය යොදාගනිමින් පොස්පේට් සහ පොටෑසියම් අඩංගු රසායනික පොහොර දේශියව නිපදවීම සහ එසේ දේශියව නිපදවන රසායනික පොහොර දේශියව නිපදවන කාබණික  පොහොර ගොවිබිමේ උනතාවයන් අනුව ප්‍රසස්ථ ලෙස භාවිතා කිරීම දිරිගැන්වීම සදහා ප්‍රචාරාත්මක සහ අධ්‍යාපන වැඩසටහනක් දියත් කිරීම.

එහිදී නයිට්‍රජන් සහිත රසායනික පොහොර වායුගෝලයේ පවතින නයිට්‍රජන් වලින් ස්වභාවිකවම නිපදවිය හැකි බැවින් ඒවා රසායනික පොහොර ලෙස බාහිරින් යෙදීම අවශ්‍ය නොවන බව ගොවියාගේ මනසේ තවහුරු කිරීම වැදගත්වේ.

කෙටිකාලීනව නිෂ්චිත කාලයක් සදහා අනයනය කිරීමට ඉඩ දෙන රසායනික පොහොර සදහා විනිවිද භාවයෙන් යුතුව කෝටා ක්‍රමයක් සහ බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදීම සහ වෙළදපල තුළ කෘතිම ලෙස හිගයක් මවාපාමින් මිල ඉහළ දමීම සදහා සිදුකරන කූඨ වෙළදපොල උපක්‍රම මැඩලීම සදහා නිසි යාන්ත්‍රණයක් හදුන්වාදීම. එමෙන්ම එම කෙටි කාලය තුළ වෙළදපල තුළ මිල පාලනයක් හදුන්වාදීම.

දැනට ගොවියාට ලබාදෙන පොහොර සහනාධාරය යම් නිෂ්චිත කාලයක් සදහා ඍජුව මුදල් ලෙස ගෙවීම සහ  එම අරමුදල් ගොවිජන බැංකුව හරහා ගෙවියාට ගෙවීම මගින් ඒවා ගොවියාගේ ඉතිරිකිරීම් ලෙස සලකා කෘෂි යෙදවුම් සදහා පමණක් අවශ්‍යතාවය අනුව මුදල් නිදහස් කිරීම.

ඒ මගින් එක් පැත්තකින් ගොවිජන බැංකුවට නැවත පණදීම සිදුවන අතර අනෙක් පැත්තෙන් රසායනික පොහොර භාවිතය අඩු කිරීම මගින් තම ඉතිරි කිරීම් වැඩ කිරීම සදහා ගොවියා දිරිමත් කිරීම හරහා ස්වෙච්ඡාවෙන් ආනයනික පොහොර භාවිතය අධෛර්යමත් කිරීමට හැකිවේ.

ගොවිජන බැංකුවට නවත පණදීම මගින් සහ පොහොර සහනාධාරය ලෙස බැංකුවට ලැබෙන රුපියල් මිලියන 50,000කට අධික ප්‍රාග්ධනයට අවශ්‍යතාවය අනුව අමතර ප්‍රාග්ධනය ලබාදීම මගින් ගොවියා ක්ෂද්‍රමුල්‍ය ණය උගුලින් ගලවා ගලවා ගැනීම සදහා ජාතික වඩපිළිවෙලක් සකස් කිරීම මගින් සබෑ ලෙසම ගොවියාගේ විශ්වාසය දිනැගැනීම.

එමගින් සහ පොහොර බාවිතය සීමා කිරීමේ තීන්දුව රජය විසින් සද්භාවයෙන් ගනු ලබූ තීන්දුවක් මිස පොහොර සහනාධාරය කපාහැරීම සදහා ගනුලැබූ තීන්දුවක් නොවන බව මහජනයාට ඒත්තු ගැන්විය හැක. 

කෙටි කාලයක් සදහා භාවිතයට අවසර දෙන ආනයනික රසායනික පොහොර සහ දීර්ඝකාලීනව දේශියව නිපදවන පේස්පේට් සහ පොටැසියම් අඩංගු රසායනික පොහොර යෙදීමේදී අදාල භූමියේ පවතින ඌණතාවයන්ට අනුව පමණක් එම රසායනික පොහොර භාවිතා කළ යුතු බවට නිර්දේශ කිරීම.

ගොවියාගේ ඉතිරිකිරීම් හෙවත් පොහොර සහනාධාරය පොහොර මිලදී ගැනීම සදහා නිදහස් කළ යුත්තේ එම පරීක්ෂණ වාර්තාවන්ට අනුවය. එසේම වගාභූමි යාය  වශයෙන් සළකුණු කොට පස් පරික්ෂා කිරීම සදහා යාන්ත්‍රණයක් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පිහිටුවීම.

රසායනික පොහොරවලට විකල්ප ලෙස කාබනික පොහොර (කොම්පොස්ට් හෝ ජෛව පොහොර යන දෙවර්ගයම) ආනයනය කිරීම හෝ කාබණික පොහොර ගොවීන්ට සහනාධාර යටතේ බෙදාහැරීම වැනි වැරදි ක්‍රියාමාර්ග සදහා කිසිලෙසකින්වත් ඉඩ ලබා නොදීම.

දේශියව මහා පරිමානයෙන් ජෛව පොහොර නිෂ්පාදනය කරන ආයතනවල ධාරිතාව වැඩිකිරීම සහ මිල අඩු කිරීම සදහා රජය විසින් එකගතාවයන්ට අනුව සහන ලබාදීම.

එසේම නාගරික අපද්‍රව්‍යය හෝ කෘෂි අපද්‍රවශ යොදාගනිමින් කොම්පොස්ට් පොහොර වානිජ වශයෙන් නිපදවන ආයතන සදහා ප්‍රමිතීන් නියම කිරීම සහ අවශ්‍ය පුහුණුව මෙන්ම සහතික කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම. එසේ වුවත් කාබනික පොහොර ප්‍රධාන වශයෙන් කොම්පොස්ට් පොහොර ගොවිබිමේදී සාදාගත යුතු යැයි

කාබනික වගාවන් හෙවත්  ස්වභාවික ගොවිතැන්ක්‍රම වලට මාරුවන ගොවීන් දිරිමත් කිරීම සදහා එසේ රසායනික පොහොර භාවිතය අඩු කිරීම නිසා අස්වනු අඩුවීමක් සිදුවුවහොත් ඒ පිළිබදව ගොවියාට සහනයක් ලබාදෙන බව සහතික කිරීම සදහා රජයේ පූර්ණ දායකත්වය සහිතව කෘෂි රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීම. එසේම වී සදහා වන සහතික මිල රු. 60 දක්වා ඉහළ දමීම. (එමගින් සහල් මිල රුපියල් 105 මට්ටමේ තබාගත හැක)

ස්වභාවික ගොවිතැන් ක්‍රම විශේෂයෙන්ම ඉන්දියාවේ සුභාෂ් පලයේකාර් විසින් ගොම සහ ගව මුත්‍රා යොදාගනිමින් හදුන්වාදී ඇති ගොවීන් මිලියන 40ක් විසින් භාවිතා කරන ශුණය අයවැය ගොවිතැන්ක්‍රම හදුන්වාදීම සදහා ජාතික මට්ටමින් විධිමත් ගොවි අධ්‍යාපන වැඩසටහනක් හදුන්වාදීම සහ ඒ තුළ භොගවගාව සමග කිරිගොවිතැන ඒකාබද්ධ කිරීම සදහා අධ්‍යාපනය සහ දිරිගන්වීම් ලබාදීම සදහා ප්‍රම්‍රඛතාවයක් ලබාදීම.

එසේම එම ක්‍රියාවලිය තුළ දේශීය බීජ ප්‍රබේද ප්‍රචලිත කිරීම සහ කෘෂීකර්ම දෙපාර්තමේන්තුව අතීතයේදී කළ පරිදි බීජ ගොවිපළ ජාලයට සහ බීජ වැඩසටහනට නැවත පණදීම

රසායනික පොහොර භාවිතය සීමා කිරීමට සමගාමීව පළිබෝධනාශක භාවිතය සීමා කිරීම සදහා ඊට අදාල පනත් සංශෝධනය කිරීම මගින් අලෙවිකරුවන්ට ප්‍රමිතීන් පැනවීම සහ කෘෂි නිලධාරියෙකුගේ නිරේදේශයකට අනුව පමණක් පළිබෝධනාශක නිකුත් කිරීම සදහා නීතිමය ප්‍රතිපාදන පනවීම මෙන්ම එම ක්‍රියාවලිය නිසිලෙස නියාමනය කිරීම සදහා යාන්ත්‍රණයක් හදුන්වාදීම.

ස්වභාවික ගොවිතැන් ක්‍රම සහ වස විෂ නොමති ආහාර පරිභෝජනය උසස් ක්‍රියාවක් ලෙස සමාජගත කිරීම සහ එවැනි ජීවන ක්‍රමයක් ප්‍රචලිත කිරීම මෙන්ම කුඩා පරිමාන ගෙවතුවගාව සහ ආහාරයේ විවිධත්වය වැඩි කිරීම මගින් රටේ ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම පිළිබදව රාජ්‍ය මැදිහත්වීමෙන් පුළුල් අධ්‍යාපන සහ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම.

එසේම රුක් රෝපන වැඩසටහන් වලදී බහු වාර්ගික ආහාර භෝග වගාව විශේෂයෙන්ම කොස්, දෙල්, පළතුරු ආදී ශාඛ වලට පූමුඛතාවය ලබාදීම සහ ඊට පහසුකම් සැළසීම සදහා පලතවානකරුවන් දිරිමත් කිරීම සදහා වැඩසටහන් හදුන්වාදී දීම.

වස විෂ නැති උසස් ගොවිතැන් ක්‍රම සහ දේශීය බීජ ප්‍රබේද භාවිතා කිරීමේදී අස්වැන්න අඩුවීමක් සිදුවේ නම් එය තුලනය කළ හැක්කේ ආහාර විවිධත්වය වැඩිකිරීම මගින් බව මහජනයාට ඒත්තු ගැන්විය යුතුය. ආහාර විවිධත්වය ආහාර සුරක්ෂිතතාවය සදහා වන අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි.

Scroll to Top