දකුණු ආසියාවේ හිමාලය කඳු පන්තියට ඉතාමත් ආසන්නයේ පිහිටා ඇති විදුලි මකරාගේ් දේශය හඳුන්වන තවත් නමක් තිබේ. එය ‘භූතානය’ නම් වේ. අවාසනාවකට මෙන් ලෝකයේ අති බහුතරයක් ජනතාව විදුලි මකරාගේ දේශය හඳුනාගත්තේ භූතානය යන නමිනි. අනෙක් අතට භූතානය යන්නෙහි අර්ථය එම රටේ වැසියන්ගේ භාෂාවට අනුව ‘විදුලි මකරාගේ දේශය’ යනුයි.
විදුලි මකරාගේ දේශය හෝ භූතානය යන කුමන නමකින් හැඳින්වුව ද මේ කඳුකර රාජ්‍යය ඉතාමත් සුන්දර බව නම් සනාථය. එමෙන්ම එය ප්‍රමාණය අතින් ද ඉතා කුඩාය. ලෝක සිතියමේ පුංචි දූපතක් වන අපේ රටේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65,610කි. භූතානයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 38,394කි. ඒ අනුව බැලූ කළ අපේ රටෙන් හරි අඩකට සමාන වන මේ පුංචි දේශය ජනගහනය සහ ආර්ථිකය යන අංශයන් අතින් ද ඉතා කුඩාය.
භූතානයේ පුංචි බිම් කඩේ දකුණු කොටස මායිම් වන්නේ මහා හිමාලය කඳුවළල්ලෙනි. ගිනිකොන සහ නිරිත දිගින් චීනයට ද උතුරින් ටිබෙටයට ද බටහිරින් නේපාලය සහ ඉන්දියාවට ද භූතානය මායිම් වේ. මේ මායිම් වීමේ ඇති සුවිශේෂීත්වය භූතානය වඩා හුදෙකලා වීමයි. හිමිව ඇති පුංචි බිම් කඩෙන් ද අති බහුතරයක් අඩි දහස් ගණනක උසක් වාර්තා කරන භූතානය ලෝකයේ හුදකලාම රටවල් අතරට ද නිතැතින්ම එක් වී සිටී.
අවම වශයෙන් මේ කුඩා දේශය සහ අවට ලෝකය සම්බන්ධ කරන සෘජු ගුවන් ගමන් හෝ සිදුවන්නේ නැත. ලෝකයේ සෙසු රටවල බෝවන රෝග සේ පැතිර යන අන්තර්ජාලය, ජංගම දුරකථන මෙන්ම චන්ද්‍රිකා රූපවාහිනී සේවා ද භූතානයට පැමිණ ඇත්තේ ඉතාමත් මෑතකදීය. එමෙන්ම එම සේවා තවමත් ව්‍යාප්ත වී ඇත්තේ එරට අග නගරය වන තිම්පු හි පමණය. ඒ ද ඉතා සුළු වශයෙනි.
එහෙත් භූතානය ලෝකයේ සෙසු රටවල් පරදා මුල් පෙළට පැමිණෙන එක් අංශයක් තිබේ. එය නම් ප්‍රීතියයි. බිස්නස් වීක් සඟරාව කරන ලද සමීක්ෂණයකට අනුව පෙන්වා දුන්නේ ආසියාවේ ප්‍රීතිමත් ම ජනතාව වාසය කරන්නේ භූතානයේ බවයි. ලෝකයේ සමස්ත රටවල් අතරින් සලකා බැලූ කළ එය 8 වැනි ස්ථානය දක්වා පැමිණෙයි. මෙම නිර්නායකය සලකා බැලූ කල එය කොතරම් වැදගත් දැයි පෙනේ.
භූතානයේ ආර්ථිකය අයත් වන්නේ ලෝකයේ කුඩාම ආර්ථිකයන් අතරට ය. එහෙත් රටේ ජනතාව ඉතා ප්‍රීතියෙන් වාසය කරති. භූතානයේ රජු තම දේශපාලන භූමිකාවේ එක් ඉඩක් රටේ ජනතාවගේ ප්‍රීතිය විමසා බැලීමට වෙන් කර තබා ඇත.
මේ රටට රූපවාහිනිය හඳුන්වාදී ඇත්තේ ද ඉතාමත් මෑතකදීය. රූපවාහිනී යන්ත්‍ර තම රටට හඳුන්වා දෙමින් එවකට එහි රජතුමා වූ ජිග්මේ සින්ග්යේ වංග්චුක් පවසා සිටියේ මෙම පියවර තම රටේ නූතන කරණයේ එක් වැදගත් පියවරක් බවයි.
එහෙත් මෙම යන්ත්‍රය රටේ ජනතාවගේ ‘දළ ජාතික ප්‍රීතියට’ විශාල වශයෙන් හානි ගෙන දිය හැකි බැවින් එය වැරැදි ලෙස පරිහරණය කිරීමෙන් වළකින ලෙස ද ඔහු කම ජනතාවගෙන් ඉල්ලා සිටියේය. භූතාන රජුගේ මෙම ප්‍රකාශය වර්තමානයේ අපේ රටවලට කොතරම් සාධාරණදැයි සිතෙන්නේ අපේ රටේ මෙන්ම ඉන්දියාවේත් රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන අඬන දොඩන ටෙලි නාට්‍ය දුටු විටය.
භූතානයේ රාජ්‍ය ආගම වන්නේ වජ්රයාන බෞද්ධ ධර්මය යි. එමෙන්ම සියවස් ගණනක් තිස්සේ පැවත ආ රාජාණ්ඩුවක ඉතිහාසයකට ද එරට හිමිකම් කියයි. එහෙත් 2008 වසරේදී එරට මහරජු ස්ව කැමැත්තෙන්ම තම බලතල සීමාකර ගනිමින් දේශයට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය හඳුන්වා දුන්නේය. එම වසරේදීම භූතානය තම ප්‍රථම මැතිවරණය වාර්තා කර සිටියේය.
එතැන් සිට රජුගේ බලතලවලින් වැඩි ප්‍රමාණයක් කැබිනට් මණ්ඩලයට හිමි විය. පසුව එම වසරේදීම අවසාන භාගයේදී තම ධූරය අත්හැරීමට තීරණය කළ ජිග්මේ සින්ග්යේ වංග්චුක් රජු භූතානයේ රාජ්‍යත්වය තම පුතුට පවරා දුන්නේය. ඒ අනුව මේ මොහෙත වන විට එරට රාජ්‍යත්වය හොබවන්නේ ජිග්මේ කේෂර් නමග්යෙල් වංග්චුක් රජතුමාය.
මෙවර සාර්ක් සමුළුවේ සත්කාරක රට ලෙස ක්‍රියාකරන භූතානය සම්බන්ධව පැවසිය යුතු තවත් එක් වැදගත් කරුණක් පවතී. එනම් ඉතා කුඩා ආර්ථිකයක් පැවතිය ද එරට ආර්ථික වර්ධන වේගය ඉතාමත් ඉහළ මට්ටමක තිබෙන බවයි.
ඉන් පැහැදිලි වන්නේ රටේ කුඩා ජනගහනය තම දේශය ඉහළට ඔසවා තැබීමට එකා මෙන් මහන්සි වන බව නොවේද?