මේ සුදු රෙදි හොරා ඡායාරූපයට නැගුනේ අලිකොටාර ජලාශයේ සිට උමා ඔය වතුර දකුණට ගෙන යන්නට ඉදිකරමින් තිබෙන ඇළ මාර්ගය ආසන්නයේ දී ය. දින හතරක් උදේ පාන්දර උත්සහ කළෙමි. සේද පටි දෙකක් වන් දිගැති වලිගය මුදා ආඩම්බර පාන මේ වැඩිහිටි පිරිමි පක්ෂියා මිස, උගේ කිරිල්ලිය හෝ පැටවුන් මෙවර කැමරාවෙන් තබා ඇස් දෙකෙන් වත් දකින්නට සිටියේ ද නැත.
රැහැන් මාරා/සුදු රෙදි හොරා නැත්තම් රෙදි හොරා ලෙස හැඳින්වෙන Asian Paradise Flycatcher (Terpsiphone paradisi) තව දවස් කිහිපයකින් ලංකාවෙන් ඌ උගේ ඉන්දීය වාස භුමියට වසන්තය ද සමඟ ඉගිල යනු ඇත්තේය.
Terpsiphone paradisi paradisi උප විශේෂයේ මේ දැකුම්කළු (පිරිමි) කුරුල්ලා වලිගයේ මැද පිහාටු යුගල දික්වීමෙන් ඉතා දිගු සුදු පාට රැහැන් යුගලක් සෑදී තිබේ. මේ රූපයේ සිටින කුරුල්ලා ගේ වලිගය උගේ ශරීරයේ ප්‍රමාණය මෙන් දෙගුණයක් හෝ එයටත් වඩා දිග ය. ජීව විද්‍යාත්මකව නාමර කඩවසම් වැඩුණු සොඳුරු පිරිමි පක්ෂියෙකි.
ලංකාවේ අපි ‘සුදු රෙදි හොරා/රෙදි හොරා‘ කියා ඌ හදුන්වයි.
ඔක්තෝබර් මාසයේ දී පමණ ලංකාවට පැමිණෙන මේ කුරුල්ලා පහත රට තෙත් කලාපයේත් ආසන්නයේ කඳුකරයෙත් අප්‍රේල් මස මුල් සතිය දක්වා වාසය කරන ‘නිහැරියෙකි‘.
මෙවර තවම දකින්නට නැති වුවත්, මේ කුරුල්ලාගේ ගැහැණු සතා කෙටි සිවුරු පාට වලිගයක් සහිතය. සිවුරු හොරා ලෙස ලංකාවේ අපි හදුන්වන්නේ ද ඒ ගැහැණු සතාය.
සුදුරෙදි හොරා තරම් ම දිග වලිගයක් සහිත නමුත් පැහැයෙන් සුදු නොව සිවුරු පාට කුරුල්ලා (පිරිමි) වයස අවුරුදු 2 ½ කට අඩු නොවැඩුණු පිරිමි සතා ය. වැඩිහිටි වයසට පිය නගන විට සිවුරු පැහැ සුන්දර දිගු වලිගය සුදු පැහැ ගනී. සිවුරු පාට – දිගු වලියක් නොමැති – බඳ පෙදෙස අලු-සුදු පැහැ ගන්නා කුරුල්ලා සුදු රෙදි හොරා ගේ නොවැඩුණු පිරිමි සතා විය හැකිය.
ලංකාවටම ආවේනික රැහැන් මාරා ගේ උප විශේෂය Terpsiphone paradisi ceylonensis වේ. මා කුඩා කාලයේ දී නම් වැලිමඩ හේනබැද්ද වත්ත, වැල්ලවාය-බුත්තල සුලබ දකින්නට ලැබුණු මේ කුරුල්ලන්ගේ ගහණය වේගයෙන් අඩු වෙමින් තිබේ. පසුගිය මාස 4 පුරාම එකම කුරුල්ලෙකු හෝ කැමරාවට හසු කර ගැනීමට මට හැකි වූවේ නැත.
කුරුලු පාරාදීයක මාස 5 ක් ගත කළ නමුත් වෙනදා මෙන් මෙවර සිය ගණන් කුරුල්ලන් දකින්නට ලැබුණේ නැත. දේශීය විශේෂ පසෙකින් තබමු. ආදම් ගේ පාලම දිගේ, අන්දමන් දූපත් දිගේ ලංකාවට ඇවිත් මේ රට පාරාදීසයක් කර අප්‍රේල් මාසයේ ආපසු යන නිහැරියන් ද, දැන් සුලබ නොවේ.
සටහන හා ඡායාරූපය
රංජිත් කීර්ති තෙන්නකෝන්