නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන පණ්ඩිත නාහිමියන් සමග කළ කතාබහකි මේ.
නායක හාමුදුරුවෝ මෙහි අධිපතිත්වයට පත් වූ වසර?
1977 අගෝස්තු 15 වැනිදා. දැනට මා පැවිදි වී වසර 40 ක් ගතවෙනවා.
අප රුවන්වැලි මහා සෑය පිළිබඳව ටිකක් අතීතයට යමුද?
මෙහි කොත පැළඳවීමේ උත්සවය 1940 දී පවත්වා තිබෙනවා. ඊට පසුව, උඳුරව හල්මිල්ලෑවේ රේවත, හුරිගස්වැවේ දේවමිත්ත, පල්ලේගම සිරිසුමන ධම්මරක්ත, ඇතිනිමලේ ගුණරතන සහ පල්ලේගම ශ්‍රී සිරිනිවාස යන නාහිමිවරුන් වහන්සේලා මෙහි අධිපතිත්වය හොබවා තිබෙනවා.
වර්ෂයක් පුරා පිරිත් පින්කම පටන් ගත්තේ?
මේ පිරිත් පින්කම පටන්ගත්තේ 2009 වසරේ දුරුතු පෝය දවසේ.
වර්ෂයක් පුරා මෙවැනි පිරිත් පින්කමක් පැවැත්වීමට හේතුව?
කුරුණෑගල රම්බඩ බුදුපිළිමය ඉදිකෙරෙන ස්ථානයේ එම පිළිම වහන්සේට ආශිර්වාදයක් ලෙස වාරියපොළ ශ්‍රී සුමංගලාරාමයේ පිරිත් පින්කමක් පැවැත්වුණා. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන ක්ෂත්රිය රාජපුත්‍ර වීරසිංහ මහතා තමයි එහි මූලිකත්වය ගත්තේ. ඉන්පසුව වීරසිංහ මහතාට අවශ්‍ය වුණා අටමස්ථානය මුල්කොට ගෙනත් මෙවැනි පිරිත් පින්කමක් පැවැත්වීමට.
ඊට පසුව?
මේ යෝජනාව ආවේ 2008 දී පමණ. ඊට පසු අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේලා ද තවත් ප්‍රදේශයේ ප්රභූවරුන්ද, ජාතිය ගොඩනැගීමේ කටයුතු බාර ඇමැති එස්. චන්ද්‍රසේන මහතා ද එකතුවී මේ ගැන දිගින් දිගට සාකච්ඡා කළා. නමුත් ප්රශ්නය බොහොම බරපතල නිසා එම අදහස වරින්වර ඉස්මතු වෙවී, යටපත් වුණා. මේ අතර මම කිව්වා ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහසෑය අතර ප්‍රදේශයේ මෙම පිරිත් පින්කම පවත්වනවා නම් මම මූලිකත්වය ගන්නම් කියලා.
මෙම පිරිත පැවැත්වීමේ මූලික අරමුණ?
මෙම පිරිත් පින්කම ආරම්භ වන සමයේ අපේ රටේ යුද්ධය බොහොම දරුණු ලෙස පැවතුණා. දෙපැත්තේම ජීවිත රාශියක් නැතිවුණා. මෙම තත්ත්වය සමනය කොට රටට ආශිර්වාද කිරීමටත්, රටට සාමය උදාකරවීමටත් මෙවැනි උතුම් කටයුත්තක් සංවිධානය කිරීමයි අපේ අරමුණ වුණේ. ඉන්පසුව දැනුම් තේරුම් ඇති අයගෙන් සමන්විත වූ කමිටු පත්කර ගත්තා. ඉන්පසුව නායක භික්ෂූන් වහන්සේලාගෙන්ද කරුණු විමසා දැනගෙන, මෙම පිරිත සඳහා, අලුත්ම චාරිත්‍ර ක්‍රමවේදයක් අපි සකස් කළා. තුන්තිස් පැයේ පිරිත් දෙසුම්, සති පිරිත් දෙසුම්, මහ පිරිත් දෙසුම් ආදියේ ආභාෂය ලබමින්, පැරණි සම්ප්රදායටත් ගරු කරමින්, අමුතුම රටාවක නව ක්‍රමවේදයක් සකසාගෙනයි අපි මේ පින්කම පටන් ගත්තේ.”
නව ක්‍රමවේදය ගැන ටිකක් කියන්නට පුළුවන්ද?
සාමාන්‍යයෙන් පිරිත් දෙසුමක් පවත්වන විට පළමුව මණ්ඩපයක් තනා, එහි සධාතුක කරඬුව තැන්පත් කර පිරිත් දෙසුම අරඹනවා. අප මෙහිදී “ධාතු කරඬුව” ලෙස සැලකුවේ රුවන්වැලි මහා චෛත්‍යය රාජයායි. බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක්, දෝනයක් පමණ මෙම චෛත්‍යය ගර්භයේ තැන්පත් කර ඇති බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මීටත් වඩා විශාල ධාතු කරඬුවක් ලෝකයේ කොහේවත් නැහැනේ. ඒ නිසා අපි මේ මහා සෑය ධාතු කරඬුව සේ සලකා, පළමුව මහා සෑය වටා පිරිත් නූල් ඔතා, ඉන්පසුව එම පිරිත් නූල් ශ්‍රී මහාබෝධීන් වහන්සේ කරා ගෙනගොස්, මහා බෝධිය වටේත් ඔතා, යළිත් එම විශාල නූල් පන්දුව රුවන්වැලි මහා සෑයට නුදුරුව ඉදිකළ පිරිත් මණ්ඩප්පය කරා රැගෙන ආවා. ඉන්පසුව “දොළොස් මහේ පිරිත් පින්කම” කියා නම යොදාගෙන මෙම පිරිත් පින්කම පටන්ගත්තා.”
මේ මහා පින්කම සඳහා බරපැන?
එය බරපතල ප්‍රශ්නයක් වුණා. නමුත් මෙය ආරම්භ වී මාසයක් දෙකක් පමණ වන විට, මේ රටේ මහජනතාව, මෙය ජාතික කටයුත්තක් ලෙසින් සලකා ජාති, ආගම් භේදයෙන් තොරව මේ සඳහා විශාල වශයෙන් දායකත්වය ලබාදුන්නා. අනුරාධපුරේ වන්දනාවට පැමිණි වන්දනාකරුවන් මෙතැනට පැමිණ ඒ ඒ දිනවල අවශ්‍ය ඇප උපස්ථාන සම්පාදනය කළා අපේ ඉල්ලීමක් නැතිවම. එසේම අපේ ඉල්ලීමක් නැතිවම, අනුරාධපුරේ වන්දනාවට පැමිණි මහා සංඝරත්නය වරුවක් දෙකක් පමණ නැත්නම්, දවසක් දෙකක් පමණ නැවතී පිරිත් දේශනාවලට සහභාගි වුණා. මේ අතර රජයෙන්ද අපට ආශිර්වාදය ලැබුණා. විදේශිකයන් ද ආධාර කළා.
රටේ සාමාන්‍ය ජනතාවත් මේ පින්කමට දායක වුණාද?
මුලින්ම සමෘද්ධිලාභීන් පවා මෙම පින්කමට දායකත්වය ලබාදුන්නා. එය ඔවුන්ට ලැබුණු විශාල භාග්‍යයක්. මෙම පිරිත් පින්කම ආරම්භ කළේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ත මහ නාහිමියන්ගේ සහ අපේ අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම ශ්‍රී සිරිනිවාස යන මහනාහිමියන්ගේ මූලිකත්වයෙන්. එම අවස්ථාවේදී උන්වහන්සේලා පැවැත්වූ අනුශාසනා ආදිය පින්වත් ජනතාවගේ සිත්වලට තදින්ම කාවැදුණා. මේ නිසාත් සාමාන්‍ය ජනතාවගේ සහයෝගය දිගින් දිගටම අපට ලැබුණා.
වසරක් පුරා පැවැති මෙම පින්කම පැවැත්වීමේදී කිසිම බාධාවකින් තොරව මෙහි අභිමථාර්ථයන් ඉෂ්ට වුණාද?
සැබැවින්ම ඉෂ්ට වුණා. මුලින්ම කියන්න ඕනෑ පින්කම පටන් අරගෙන මාස 6 ක් ගතවෙද්දී රුදුරු යුද්ධය නිමාවුණා. මං හිතන්නේ ඒකම ඇති, මේ රටට. එසේම දේව ආශිර්වාදයත් අපට නොඅඩුවම ලැබුණා. සමහර දිනවල පිරිතට වැඩම කිරීමට නියමිත භික්ෂූන්වහන්සේලාට වෙලාවට වැඩම කිරීමට බැරි වුණා. ඒ අවස්ථාවලදී වන්දනාවේ පැමිණි මහා සංඝරත්නය, මණ්ඩපයට වැඩම කොට පිරිත් දේශනා කළා. දානමාන කටයුතු අතපසු වූ අවස්ථාවලදී වන්දනාවේ පැමිණි බැතිමතුන් එම අඩුපාඩු සපුරා දුන්නා. මේවා සියල්ලම දේවාශිර්වාදයෙන් මෙන් අපට ලැබුණා.”
විශේෂ සහයෝගය දුන්නේ කවුද?
පොලිසිය ප්‍රධාන කොට, සමෘද්ධි අධිකාරිය මහ නගර සභාව, දුම්රිය දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය, ජල සම්පාදනය, යුද හමුදාව, ලක්දණව් සමාගම, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම මාධ්‍ය ආයතන අපට විශාල සහයෝගයක් දැක්විය.