Aboutceylon Online

ඓතිහාසික දොළුකන්ද නිදන් සොරුන්ගේ ග්‍රහණයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හිරියාල ආසනයේ ඓතිහාසික දොළුකන්ද මුදුනේ පිහිටි මාලිගා තැන්න ප්‍රදේශයේ තිබෙන නිදන් සියල්ල නිදන් හොරුන් විසින් වරින් වර හාරා රැගෙන ගොස් තිබෙන අන්දමත් එහි විශාල විනාශයක් කර තිබෙන අයුරුත් එහි සංචාරය කළ අපට සියැසින් දැක බලා ගැනීමට හැකිවිය.

මාලිගා තැන්නේ සුන්දර ගල්තලාවක ඉදිකර තිබු ඉපැරණි දාගැබ නිදන් හොරුන් විසින් හාරා බිමට සමතලා කොට තිබෙන අතර අද එතැන දක්නට ඇත්තේ පස් ගොඩක් සහ කැලයක් පමණි.එහි තිබෙන ගල් ගූහාවක මිනිසුන් හා භික්ෂූන් වාසය කළ බව එහි ඇති ඉවුම් පිහුම් උපකරණ සාක්ෂිදෙයි.මලිගාතැන්නේ දාගැබ අසල සිට ජලය ගලා යෑමට ගලින් ම සකස් කොට තිඛෙන කූඩා ඇළද කූමන හෝ හේතූවකට ශුද්ධ පවිත්‍රකර තිබේ.එම භූමිය පුරා නිදන් ගත් බවට සැක උපදවන වළවල් රැසකි.

එසේම හෙළයේ මහා වෙදදුරු බුද්ධදාස මහ රජතුමන්ගේ ඔසු උයන සේ සැලකෙන හිරියාල ආසනය මධ්‍යයේ පිහිටි ඓතිහාසික දොළුකන්ද ඔසු උයනෙහි ඇති දුර්ලභ ගණයේ ඖෂධ පැළෑටි සහ ඒවායෙහි මුල් පොතු ගෙඩි මල් ආදිය හොර රහසේ පිට පළාත්වලට අලෙවි කිරීමේ ජවාරමක් කලක සිට සිදුවන බව කන්ද පාමුල පදිංචිකරුවෝ පවසති.

මුහුදු මට්ටමේ සිට අඩි 700 ක් පමණ උසින් පිහිටි දෝල පබ්බත හෙවත් දොළුකන්ද හා අරන්කැලේ දුන් කන්ද කඳු දෙක එකට ගත්විට එය දිගින් කිලෝ මීටර් පහ හමාරක් පමණ වූ ප්‍රදේශයකි.ඉර රාජ,සඳ රාජ, කුඩා හැඩයා, මහ හැඩයා, විෂ්ණුක්‍රාන්ති, සුදු හඳුන්, රත් හඳුන්, වනරාජා, ගරුඪරාජා, දුටුසතුටු. මහනයි. සුළුනයි, මහසුදනා, කුඩාසුදනා, මහනාම්බා, අරළු, බුළු, නෙල්ලි, මහා පද්මයා, කුඩා පද්මයා, හාතා වාරිය ,කළුකොහිල, මදාරා, කලුවෙල්ලන්ගිරිය, මයුරපාද. කොතල හිඹුටු, බිංකොහොඹ, කොටකිඹුලා ආදී පහසුවෙන් සොයාගත නොහැකි ඉතා දුර්ලභ ගනයේ ඔසු පැළ වර්ග දහස් ගණනක් දොළුකන්ද වනාන්තරය පුරා ව්‍යාප්තව පවතී.

ජාවාරම්කරුවන් මෙන්ම ඔසු උයන නැරඹීමට පැමිණෙන ආයුර්වේද වෛද්‍යවරු සහ සිසුන් පමණක් නොව පැමිණෙන වෙනත් පිරිස්ද ඔසු පැළ වර්ග මෙන්ම දුර්ලභ ගනයේ මල් පළෑටිද ගලවාගෙන යන බව ඔසුඋයන පාමුල පදිංචිකරුවෝ පවසති.ඔවුන් මේ කරන විනාශය කණගාටුදායකය.මෙකී ඔසු පැළ වර්ග වෙනත් පළාත්වල රෝපණය කළ නොහැකි බවත් දොළුකන්ද මුදුනේ ඇති දේශගුණය වෙනත් පළාත්වල නොමැති නිසා එම පෑළ විනාශ වී යන බවත් ඔවුහු පෙන්වාදෙති.මේ බව නොදන්නා පිරිස් මේ විනාශය සිදුකරන බවද අවට පදිංචිකරුවෝ කියති.මුදලට ඇති කෑදරකමත් දුර්ලභ ඖෂධ පැළෑටි අලෙවි කිරීමෙන් වැඩි ආදායමක් ලබා ගැනීමටත් හැකිවීම නිසා මෙම ඔසු දිනෙන් දිනම විනාශවී යමින් පවතී.

මෙම විනාශය පිළිබදව සොයා බැලීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක්ද නැත.අදාළ අංශ මේ සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් දොළුකන්ද ඔසු උයන මෙන්ම එහි තිබෙන නිධන් සියල්ලද නුදුරු අනාගතයේදී අතුරුදන්වනු ඇතැයි ප්‍රදේශවාසීහු බිය පළකර සිටිති.

 


sri lanka map, sri lanka people, ella hotels, Ella, Nuwara Eliya, tv, lanka gossip, Breaking news, Television, Television show, gossip lanka, gossiplanka, infolanka news, news in sri lanka
Scroll to Top