Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ණයවර ලිපි විවෘත කළ වෘත්තිකයෝ වාහන ගෙන්වා ගැනීමට සැරසෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ආනයන තහනමට පෙර බදු සහන බලපත්‍ර යටතේ විදේශ සැපයුම්කරුවන් වෙතින් රථවාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කළ වෘත්තිකයෝ පිරිසක්, අදාළ රථවාහන නැව්ගත කිරීමට අවසර ලබාදෙන මෙන් රජයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති ‘2020 මාර්තු 19 දිනට පෙර ණයවර ලිපි විවෘත කළ හා ආනයන තහනම නිසා බලපෑමට ලක් වූ වෘත්තිකයන්ගේ සමූහය’ නම් වූ එකතුවට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, කථිකාචාර්යවරුන්, ගණකාධිකාරීවරුන් සහ වෙනත් රජයේ විධායක නිලධාරී තනතුරු දරන වෘත්තියකයන් 300 කට අධික පිරිසක් ඇතුළත් වෙති.

මෙම වෘත්තිකයන් සිය පුද්ගලික පරිහරණය වෙනුවෙන් රථවාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති අතර, ඇතැම් අය ඇණවුම් ලබා දී ඇත්තේ 2019 ඔක්තෝබර් 31 දිනට පවා පෙරය.

COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ ලොව පුරා විවිධ බාධාවන් නිර්මාණය වීම නිසා මෙම වාහන ආනයන කිරීමේ කටයුතු ප්‍රමාද විය. එහෙත් 2020 මැයි මස අවසාන භාගයේදී  මෙම වාහන නැව්ගත කිරීමේ කටයුතු සූදානම් කර තිබුණ ද, පසුව ගැසට් අංක 2176/19 ට අනුව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින්, 2020 මැයි මස 21 වන දිනට පසුව වාහන නැව්ගත කිරීම සීමා කරමින්  2020 මැයි මස 29 වන දින චක්‍රලේඛයක් නිකුත් කර තිබු නිසා එම වාහන නැව් ගත කිරීමට නොහැකි විය.

කෙසේ වුවද මෙම තහනම හමුවේ පවා ඇතැම් පාර්ශ්වයන් විසින් චක්‍රලේඛයන් උල්ලංඝනය කරමින් 2020 මැයි 21 දිනට පසුවද වාහන නැව්ගත කිරීම් කටයුතු සිදුකළ බව අනාවරණය වී තිබේ.

එසේවුවත් ආනයනය සහ අපනයන පාලන දෙපාර්තමේතුව විසින් අතීත දිනයන්ට පමණක් බලපාන පරිදි තවත් චක්‍රලේඛ 2ක් නිකුත් කරමින් 2020/05/21 දිනට පසු ඇතැම් පාර්ශවයන් අයථා අන්දමින් නැව් ගත කරන ලද වාහන නිදහස් කර ගැනීම සඳහා අවසර ලබා දී ඇති බවට මෙම නිලධාරින් චෝදනා කරයි.



උදාහරණයක් ලෙස ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් අතීත දිනයකට පමණක් බලපාන පරිදි 2020/06/19 දින නිකුත් කරන ලද චක්‍රලේඛයක් මඟින් 2020/06/16 දින දක්වා නැවි ගත කර ලද වාහන හා 2020/07/10දින නිකුත් කරන ලද චක්‍රලේඛයත්  මඟින් 2020/06/26 දක්වා නැවිගත කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවකාශය ලබා දීම තුළින්, අයථා අන්දමින් වාහන නැව් ගත කරන ලද පාර්ශවයන්ට නීතියේ රැකවරණය ලබා දී ඇති බැව්  ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව වාහන ආනයන තහනම උල්ලංඝනය කරමින් 2020/05/21 දින සිට 2020/06/21 දින දක්වා අයථා ලෙස නැව් ගත කරන ලද වාහන මේ වනවිට නිදහස් කර ගැනීමට අවකාශය ලැබී ඇත.

එක් පාර්ශවයකට පමණක් වාසි සහගත වන අයුරින් නිකුත් කරන ලද මෙම චක්‍රලේඛ 2ක සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට සෘජුව චෝදනා එල්ල නොකරන නමුත් අදිසි හස්තයක් ක්‍රියාත්මක වීම තුළින් මෙම චක්‍රලේඛ නිකුත් කිරීම සිදුවන්නට ඇතැයි ඔහුන් සැක පළ කරයි.

ඒ අනුව මෙම චක්‍ර ලේඛනයට අනුකුලව නීතිගරුකව කටයුතු කිරීම නිසා රජයේ වෘත්තිකයින් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් 300 දෙනෙකු පමණ නැවත නැවතත් දැඩි අසාධාරණයකට ලක් වී ඇති බව ඔවුන් දන්වා සිටී.

සැප්තැම්බර් මාසයේ දී මෙම ගැට‍ළුව අවධාරණය කරමින් බලධාරින් වෙත ලිපි යොමු කර ලද  නමුත් ඒ සඳහා තවමත් ප්‍රතිචාර ලැබී නොමැත.එමෙන්ම තවත් සංවිධාන රාශියකින් ද මේ වන විට මෙම ගැට‍ළු විසදා ගැනිමේ අරමුණින් බලධාරින් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

මොවුන්ගේ ඇනවුම් මත නිශ්පාදනය කරන ලද වාහන  300 පමණ 2020 මැයි මස අගභාගයේ සිට නැව් ගත කිරීම සඳහා සුදානමින් තිබු අතර එම වාහන වලින් වාහන 120ක් මාස 05ක් තිස්සේ සිංගප්පූරු වරායේ ගාල් කර ඇති අතර, ඉතිරි වාහන 180 විදේශ සැපයුම්කරුවන්ගේ වාහන අංගනවල ගාල් කර ඇති බැව් කියා සිටී.



මේ වන විට විදේශ වරායන්හි ගාල් කර ඇති එම එක් වාහනයක් සඳහා රු. ලක්ෂ 6ක ප්‍රමාද ගාස්තුවක් ගෙවිය යුතු බැව්ද, මීට අමතරව දේශීය සැපයුම්කරුවන් වෙත නියෝජිත ගාස්තු වශයෙන් රු. ලක්ෂ 3-5ත් අතර මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා ඇතත් ඒවා නැවත ලබා ගත නොහැකි තත්වයක් උදා වී ඇති බැව්ද මොවුන් ප්‍රකාශ කර සිටී.

මොවුන් අතරින් ඇතැමෙකු ණයවර ලිපි විවෘත කිරීම සඳහා මුදල් ලබා ගැනිමට එතෙක් භාවිත කළ වාහන විකුණා ඇති අතර තවත් අයෙකු බැංකු වලින් ද ණය ලබා ගෙන මේ සඳහා යොදවා ඇතත් අවසානයේ සිදු වී ඇත්තේ බැංකු ණය සදහා පොළි ගෙවීමටත් , පෞද්ගලීක වාහන නොමැති නිසා කුලි වාහන මඟින් රාජකාරියවාර්තා කිරීමටත්  පමණක් බව ඔවුන් දැඩි කළකිරීමකින් යුතුව ප්‍රකාශ කරයි.

මෙම වාහන “වෙනස් කළ නොහැකි  ණයවරලිපියටතේ’ ඇනවුමි කර ඇති බැවින් දෙපාර්ශවයටම මුල්‍ය අලාභයක් නොවන පරිදි එම  ගිවිසුම් අවලංගු කළ නොහැකි අතර, එසේ අවලංගු කිරීම ජාත්‍යාන්තර ආනයන නිතී උල්ලංඝණය කිරීමක් බැවින් අප වෙත සිදුවන මුල්‍යමය පාඩු වළක්වා ගත නොහැකි බැව් ද ඔවුන් පෙන්වා දෙයි.

රටේ පවතින විදේශ විණිමය දුෂ්කරතා පිළිබඳව විදේශ සැපයුම්කරුවන් සමඟ සාකාච්ඡා කළ පසුව එම වාහන නැවිගත කළ දිනයේ සිට දින 365ක් ණය සහන කාල සීමාවක් ලබා දීමට විදේශ සැපයුම්කරුවන් කැමැත්ත පළ කර ඇති බැව් ඔහුන් ප්‍රකාශ කර සිටි.

ඒ අනුව මෙම සමූහය රජයෙන් ඉල්ලා සිටින්නේ, 2020 මාර්තු 19 දින හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි වලට අදාළ වාහන දින 365ක ණය කාලසීමාවක් යටතේ නිශ්චිත කාලරාමුවක් තුළ නැව්ගත කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස යි.



2020 මැයි 21 දින රජය විසින් පනවන ලද නව ආනයන සීමාවන් අනුව නැව්ගත කිරීම් අත්හිටුවා ඇති බැවින්, 2019 ඔක්තෝබර් 31 දිනට පෙර විවෘත කරන ලද ණයවර ලිපි වලට අදාළ රථවාහන මීට පෙර පැවති ආනයන බදු ව්‍යුහය යටතේ නිදහස් කරගැනීමට අවසර ලබාදෙන ලෙස ද මෙම සමූහය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනු ලැබේ.

එමෙන්ම, මෙම දුෂ්කර කාලසීමාවේදී ආනයන තහනමක් පැනවීම සඳහා රජය තීරණය කිරීමට බලපෑ හේතු මෙම සමූහයේ සාමාජිකයන්ට මැනැවින් වැටහෙන නමුත්,තව දුරටත් මෙම වාහන සම්බන්ධයෙන් ප්‍රමාද ගාස්තු  ගෙවමින් බලා සිටිම නිශ්ඵල බැවින් ,දැනටමත් අප සියලු දෙනා හසු වී සිටින උගුලෙන් බේරිමට රජයෙන් සහනයක් ලබා ගැනීමේ අරමුණින් මෙම ඉල්ලිම ඉදිරිපත් කරන බැව් මෙම සමුහය අදාළ බලධාරින් වෙත කාරැණිකව දන්වා සිටි.

පවතින තත්ත්වය සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා සහ සෘජුව සාමාජිකයන් හා සම්බන්ධ වීම සඳහා කරුණාකර  0718 152 333 අංකය අමතන්න.

Scroll to Top