යහපාලන ආණ්ඩුව සමයේදී සිනමා කර්මාන්තයට අදාළව අහෝසි කරන ලද බදු සහන නැවත පිරිනැමීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් තීන්දුවට අදාළව දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දුන් මෙම බදු සහන පසුගිය යහපාලන ආණ්ඩුව අවලංගු කිරීමට පියවර ගෙන තිබිණි.
සිනමා කර්මාන්තයේ නියැලි වෘත්තිකයන් පසුගිය (08) දා අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී මෙම බදු සහන නැවත ලබා දෙන ලෙස ඉල්ලීමක් කැර තිබිණි.
ඒ අනුව එදින ගනු ලැබූ තීරණ ප්‍රකාරව අගමැතිවරයාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන් මෙම බදු සහන නැවත ලබා දීමේ තීරණය ගෙන තිබිණි.
මේ අනුව චිත්‍රපට නිෂ්පාදනය සහ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා භාවිතා කරන උපකරණ ආනයනය කිරීමේ දී තීරු බදු සහන ලැබෙනු ඇති අතර චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ දී වැය කරන මුදලට බදු සහන සහ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ආදායමට බදු සහන දීමට ද මෙම සාකච්ඡාවේ දී සළකා බලා තිබේ.