ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසුව එතුමන් සිදුකළ විශේෂ ඉල්ලීම වූයේ මේ රටට යහපත් පාලනයක් ලබාදීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයද ලබාදෙන ලෙසය.
ජනාධිපතිතුමා කෙරෙහි මේ රටේ ජනතාව තබා තිබූ අසීමිත විශ්වාසය හේතුවෙන් ජනතාව එකී ඉල්ලීම ද නොපිරිහෙලා ඉටු කරන ලදී. වර්තමාන රජයට 2/3ක බහුතර බලයක් ලැබුණේ ඒ නිසාය. ඉන් අනතුරුව ජනාධිපතිතුමා මෙන්ම රජයේ අනිකුත් ප්‍රධානීන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වන සංශෝධනය ගෙනඒමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නා.
ඔවුන් සතු බලය උපයෝගී කරගනිමින් මෙයට පෙර මේ රටේ සිටි කිසිදු පාලකයෙකුට නොලැබූ බලයක් 20 වන සංශෝධනය හරහා ඔවුන් ලබාගත්තා.
එහෙත් එම අසීමිත විධායක බලතල මේ රටේ ජනතාවගේ යහපත උදෙසා යොදාගෙන තිබෙනවාද? කනගාටුවෙන් වුවත් එයට දියහැකි පිළිතුර “නැත” යන්නයි. එහෙත් ලබාගත් එම අසීමිත බලය උපයෝගී කරගනිමින් මේ දක්වා සිදුකර ඇති හා මේ වනවිට සිදු කරමින් සිටින ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් පිළිබදව ලැයිස්තුවක් ඉදිරිපත් කල හැකිය. ඇත්ත වශයෙන්ම ජනතාව අපේක්ෂා කල සුන්දර ලෝකය වෙනුවට 20 වන සංශෝධනය ඔවුන්ගේ හිස මත පටවා ඇති ගිනි කබලක් බවට පත්කර තිබේ.
අද වනවිට විදේශ රටවල් ගණනාවක දුක් විදින අහිංසක ශ්‍රි ලාංකිකයන් පිළිබදව පවා වර්තමාන පාලනය දක්වමින් සිටින අමානුෂික ප්‍රතිචාර පිළිබදව සැලකීමේදී අප තුළ ඇති කරන්නේ බලවත් වේදනාවකි. මැද පෙරදිග ද ඇතුළු රටවල් ගණනාවක රැකියා කරන මේ ශ්‍රී ලාංකික පුරවැසියන් තරම් මේ රටේ දේශපාලකයන් රටට සේවයක් කර තිබේද යන ප්‍රශ්ණය ඇසිය යුතුව ඇති ඉතාමත් සාධාරණ ප්‍රශ්ණයක් වි තිබේ.
පසුගිය දශක ගණනාවම සැලකීමේදී මේ රටට ශුද්ධ විදේශ විනිමය ආදායම ගෙන ආවෝ ඔවුහුය. ඒ අනුව මෑත භාගයට අදාලව සැලකීමේදී මේ රටට වඩාත්ම වැදගත්ම සේවයක් සිදුකර ඇත්තේ ඔවුන්ය. ඔවුන්ගේ දහඩිය, කදුළු මත යැපෙමින් සිටින රටක් අද ඔවුන්ට සලකන්නේ කෙසේද ?
මැද පෙරදිග රටවල අන්ත අසරණ වි සිටින, අද වනවිට ඉන්නට හිටින්නට තැනක් හෝ නොමැතිව එම රටවල පොදු මහජන උද්‍යානයන්හි පවා කල්ගෙවන එම ජනතාවගේ දුක්අදෝනාවන් නෑසු කන්හි සිටින්නට හැකියාවක් තිබේ ද? වසර ගණනාවක් පුරා දහඩිය කදුළු වගුරවමින් ඔවුන් උපයාගෙන ඇති මුලු සේසතම කොවිඩ් වසංගතය වසන්තයක් කරගත් ගජමිතුරු කල්ලියකට සූරාගෙන කන්නට ඉඩ දි බලා සිටින රටක් ගැන ලැජ්ජා නොවී සිටිය හැකිද?
අද සෑම අතකින්ම ඇසෙන්නේ ඔවුන්ගේ දුක්අදෝනාවන් ය. තම මව් රටට ඒමට නොහැකිව අන්ත අසරණව සිටින ඔවුන් පිළිබදව වැදගත් ප්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කිරීම රජයේ යුතුකම ය. ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පහත සඳහන් යෝජනා හා අදහස් රජය වෙත ඉදිරිපත් කරන්නෙමු.
අපට ලැබුනු වාර්තා අනුව දැනට 60,000 පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ආපසු තම මව් රටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටී.
මෙහිදී ලෝකයේ සමහර රටවල් රජයේ වියදමින් තම රට වැසියන් ගෙන්වාගෙන ඇති බවත් අප අමතක කළ යුතු නොවේ. මොවුන් දහඩිය මහන්සිය හෙළා උපයා ගත් මුදල ආපසු ඒමට වියදම් කලහොත් එය කොතරම් අසාධාරණ ද?
අප දැනුවත්ව ඇති අන්දමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුබද්ධිත අරමුදල් තුනක් තුළ රුපියල් බිලියන 14 කට ආසන්න දැවන්ත මුදල් සම්භාරයක් එකතුවී තිබෙනවා.
අපගේ ගුවන් සේවා හරහා රුපියල් බිලියන 9කට අඩු මුදලකට මෙම පිරිස ගෙන්වා ගැනීමට ද හැකියාව තිබෙනවා. එය අවස්ථානුකූලව කලහැකි මානුෂික ක්‍රියාවක් ලෙස අප දකිනවා. මෙම ආයාචනය රජයේ අවධානයට යොමුවේවායි ප්‍රාර්ථනා කරනවා.
එමෙන්ම අපට කරුණු දැක්වූ බොහෝ ශ්‍රී ලාංකිකයන් සදහන් කලේ මෙම රජය බලයට පැමිණි විගසම මැදපෙරදිග තානාපති කාර්යාලවල සිටි විදේශ සේවා කාර්ය්‍යංශයට අනුබද්ධ නිළධාරින් බොහෝ ගණනක් ආපසු ගෙන්වාගත් බවය. ඒ නිසා අද එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට සේවය ලබාදීම සඳහා එකී තානාපති කාර්යාලවල ප්‍රමාණවත් සේවක පිරිසක් නොමැති බවටද තොරතුරු තිබෙනවා.
විශාල ශ්‍රී ලාංකික සේවක සංඛ්‍යාවක් සිටින රටවල සුභසාධක කටයුතු සදහා පමණක් විදේශ සේවා කාර්ය්‍යංශයට අනුබද්ධිතව ජේෂ්ඨ නිලධාරීන් 3 – 4 දෙනෙක් සිටි බවත් ඔවුන් නොමැතිවීම තුළ තමන්ට ලැබිය යුතු සහය බොහෝ අවස්ථාවල නොලැබුණු බවත් බොහෝ දෙනෙකු අපට වාර්තා කරඇත.
මේ කරුණු ගැන රජයේ විශේෂ අවධානය යොමුකිරීම යෝග්‍ය වේ. මානුෂිකව සිතාබලා ඉක්මනින් මෙම අසරණ ජනතාවට සරණවන ලෙස අප රජයට කියනවා.
සතිය තුළ අප කම්පා වූ අනෙක් කරුණ වූයේ දේශපාලන බලය යොදා ගනිමින් පරිසරයට කෙරෙන මහා විනාශයයි. විශේෂයෙන්ම එවැනි එක් අවස්ථාවක් වූයේ අති උතුම් කාදිනල්තුමා වාර්තා කළ වත්තල ප්‍රදේශයේ පරිසර විනාශයයි. ඒ සදහා අවශ්‍ය අවසර ලබාගෙන තිබූ බව ඊට පිළිතුරු ලෙස පසුව වාර්තා වුණා. අපේ රටේ අවසර ගැනීම ඉතා පහසුවෙන් කරගත හැකි නිසා ඒ ගැන නිසි පරීක්ෂණයක් සිදු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
අනෙක් කනගාටුදායක කරුණ වූයේ කුරුණෑගල බුවනෙකබා උද්‍යානයේ මල්වත්තක් ඉදිකිරීම සදහා අවුරුදු 100 ට වඩා පැරණි වටිනා ගස් කපා දැමීමයි. අප තවමත් එය ජාතික අපරාධයක් ලෙස සලකනවා. ලෝකයේ බොහෝ රටවල මෙවැනි ඓතිහාසික ගස් සුරක්ෂිත කර උද්‍යාන සැලසුම් කිරීම සාමාන්‍ය සිරිතකි. මෙහිදී එය එසේ වූයේ නම් කොතරම් ප්‍රායෝගික ද?
මෙම ව්‍යාපෘතිය සදහා ද රජයේ අවසරය ලබාගත් බව පසුව සදහන් වුවත් මෙම රටේ නීතිය නැමෙන අවස්ථා අප දැක තිබෙනවා. පුරා විද්‍යා වටිනාකමින් යුතු බුවනෙක මණ්ඩපයද කඩා දමා මාස ගණනනාවක් මේ වනවිට ගෙවී ඇතත් ඊට වගකිවයුතු අය තවමත් සිටින්නේ නිදැල්ලේ ය.
එක රටක් එක නීතියක් ගැන ජනතාව තුළ බලවත් විශ්වාසයක් ඇති කළ පිරිස අද වනවිට එය යතාර්ථයක් බවට පත්කර තිබේ ද? අද වනවිට නීතිය තරම් හාස්‍යයට ලක්වෙන වෙනත් දෙයක් නැත. එය අතිශය බිහිසුණු තත්වයකි. නීතිය අයුතු ලෙස යොදා ගැනීම, අවභාවිතා කිරීම, සැහැල්ලුවට ගෙන කටයුතු කිරීම තරම් රටකට සිදුකල හැකි වෙනත් විනාශයක් නැති තරම්ය.
පසුගිය දා මහර බන්ධනාගාරයේදී සිදුවූ තත්වයන් පසුපස දක්නට ලැබුණු නාටකීය රංගන පිලිබදව සලකා බැලීමේදී ද ඒ බව වටහාගත හැකිය. අද වනවිට එහි සැබෑ සත්‍යය ඉතා පැහැදිලිව හෙළිදරව් වී තිබේ. ඒ සියල්ලම වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතන බව මේ වනවිට පැහැදිලි වී තිබෙනවා. එහෙත් යුක්තිය ඉටුවි තිබෙනවා ද? යුක්තිය ඉටු වන බවට සේයාවක් පවා දකින්නට තිබෙනවා ද?
ඒ අනුව නියත වශයෙන්ම මෙවැනි තත්වයක් තුළ සිදුවිය හැක්කේ කුමක් ද? ලෝක ඉතිහාසය එහිදී අපට කියා දී ඇති වැදගත්ම පාඩම කුමක් ද? හැම විටම යුක්තිය පාගා දමාගෙන සිටිය නොහැකි බවය.
නිවැරදිම මොහොතේ ජනතාව යුක්තිය ඉල්ලා පෙරට ඒම නවතාලීමට හැකි ජගතෙක් මේ ලොව මෙතෙක් බිහිවී නොමැති බවය. මේ රටේ පාලකයන් හැම දෙනාම ඒ බව තේරුම් ගැනීම ඉතා යහපත් ය.