කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජයේ අදාළ බලධාරීන් පසුගිය සති දෙක තුළ දැනට ක්‍රියාත්මක තෝරාගත් සංවර්ධන සහයෝගිතා ව්‍යාපෘතීන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා රැස්වීම් මාලාවක් පවත්වන ලදී.
දෙපාර්ශවය කොවිඩ්-19 වසංගත තත්වයට අදාළ සීමාවන් හි බලපෑම පිළිබඳ විශේෂ අවධානය යොමු කළ අතර එම ව්‍යාපෘතීන් මෙම අවස්ථාවේදී ශ්‍රී ලාංකික ජනතාවගේ සුබසිද්ධිය පිණිස හේතු වන බැවින් ඒවා කඩිනම් කිරීම සඳහා ගත හැකි එකාබද්ධ ප්රයත්නයන්ද හඳුනා ගන්නා ලදී.
දඹුල්ලේ ඉදි කෙරෙන මෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවයකින් යුත් උෂ්ණත්වය පාලනය කළ හැකි ගබඩාව නිර්මාණය කිරීම, ඉදි කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වන ව්‍යාපෘති සම්පාදක කමිටුව 2021 ජනවාරි 5 වන දින නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා සහ අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන කටයුතු පිළබඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
2020 දෙසැම්බර් 24 වන දින නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්තුමා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් ඉන්දීය ආධාර යටතේ උතුරු පළාතේ පාසල් 27ක් නවීකරණය කිරීම සඳහා වන ව්‍යාපෘති සම්පාදක කමිටුව රැස් විය. මෙම රැස්වීම අන්තර්ජාලය ඔස්සේ පැවති අතර උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඉලංගවෝන් මහතාද ඒ සඳහා සහභාගී විය.
මේ අතර 2020 දෙසැම්බර් මස 17 වන දින නියෝජ්‍ය මහ කොමසාරිස් ජේකබ් මහතා සහ පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලනය සහ සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ. සේනානායක මහතා අතර පැවති හමුවෙහිදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සනීපාරක්ෂක ඒකක 3200ක් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
මෙම ව්‍යාපෘතීන් ශ්‍රී ලංකා රජය සමඟ ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහයෝගිතාවයක් උදෙසා ඉන්දියාවේ ප්රයත්නයන් තවදුරටත් ඉදිරියට ගෙන යාමකි.
ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති සමස්ත සංවර්ධන සහයෝගීතාවය ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වන අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 560ක් ප්‍රදාන වශයෙන් ලබා දී ඇත.
ඉන්දියාව දිවයින පුරා සෞඛ්‍යය, අධ්‍යාපනය, නිවාස, කුසලතා සංවර්ධනය, යටිතල පහසුකම් සහ වෘත්තීය පුහුණුව ඇතුළු ක්ෂේත්රයන්හි ජනතා කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘතීන් 70කට අධික සංඛ්‍යාවක් ක්‍රියාවට නංවා ඇත. මේ අතරින් ව්‍යාපෘතීන් 20ක් පමණ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මැතිතුමා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකා නායකත්වය සමඟ සංවර්ධන සහයෝගීතා ක්ෂේත්රය තුළ තවදුරටත් සමීපව කටයුතු කිරීම සඳහා වන අවස්ථාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ සාකච්ඡා වලින් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී එතුමා “සමාජීය, ප්‍රජා සහ මානව සම්පත් ක්ෂේත්රයන්හි ශ්‍රී ලංකාවේ සංවර්ධන සහකරුවකු ලෙස ඉන්දියාවට මනා ඉතිහාසයක් තිබෙනවා.
මහා පරිමාණ නිවාස ව්‍යාපෘතීන් හෝ ගිලන්රථ සේවා, උරුමයන් සංරක්ෂණය හෝ අධ්‍යාපනය යන කවර ක්ෂේත්රයක හෝ අපගේ සහයෝගීතාවයන් දිවයින පුරා සිටින ජනතාවගේ ජීවිතවලට සැබෑ වෙනසක් එක් කර තිබෙනවා.
අපගේ ණය ආධාර සාමාන්‍ය තත්වය ප්‍රතිස්ථාපනය කරමින් නැවතත් ජනතාව අතර සම්බන්ධතාවය ගොඩනඟා තිබෙනවා. කෘෂිකර්මය සහ තාක්ෂණය, අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය සහ නාගරික සංවර්ධනය ඇතුළු ශ්‍රී ලංකා රජයේ දේශීය ප්රමුඛතාවයන් සම්බන්ධයෙන් අප දැනුවත්.
විශේෂයෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා රජය වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට ලබා දෙන වැදගත්කම අපට වැටහෙනවා. අප අපගේ අනාගත ප්රයත්නයන්හිදි ස්වභාවයෙන්ම මෙම ප්රමුඛතාවයන් සැලකිල්ලට ගන්නවා” යැයි ප්‍රකාශ කළේය.
2020 නොවැම්බර් මස 10 වන දින ඉන්දීය ප්‍රදාන යටතේ ඉහළ බලපෑමක් සහිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අරලියගහ මන්දිරයේදී අත්සන් තැබූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද සහභාගී ගිය.
2020 සැප්තුම්බර් 26 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර අන්තර්ජාලය ඔස්සේ පැවති ද්විපාර්ශවික සමුළුව අතරතුරදී ඉහළ බලපෑමක් සහිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා වන අවබෝධතා ගිවිසුම තවත් වසර 5ක් සඳහා දීර්ඝ කෙරෙන බව ප්‍රකාශ කෙරිණ.
ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සහ භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.