Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දූෂිත මංකොල්ලකාරයින්ගෙන් නාගරික සංවර්ධන අධිකාරිය ගලවාගන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව විසින් විකුණන ලද ඉඩම්වල මුදල් නැවත අයකරගෙන, දූෂිත මංකොල්ලකාරයින්ගෙන් නාගරික සංවර්ධන අධිකාරිය ගලවාගෙන රුපියල් 40,000 දක්වා එහි සේවකයන්ට උත්සව අත්තිකාරම් ලබාදිය හැකි තත්ත්වයට ශක්තිමත් මූල්‍ය බලයක් නිර්මාණය කළ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් රහස් පොලීසියට රැගෙනයාමේ නින්දිත ක්‍රියාවලියක වත්මන් ආණ්ඩුව නියැලෙන බවත්, නාගරික සංවර්ධන අධිකාරිය වෘත්තීය මට්ටම අතින් ඉතා ඉහළට ගෙන ආ මේ දක්ෂ වෘත්තීයවේදීන්ට අද ඉතාමත් නින්දිත ආකාරයට සැලකීම ඉතාම කණගාටුදායක බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

පාඩු ලබමින් තිබූ නාගරික සංවර්ධන අධිකාරිය තම පාලන කාලය තුළදී දක්ෂ වෘත්තීයවේදීන්ගේ දායකත්වයෙන් ඒ තුළ රජයමින් තිබූ දූෂණය, වංචාව හා හොරකම නැතිකොට ලාබ ලබන ආයතනයක් බවට පත්කිරීමට කටයුතු කළ බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා, මේ රටේ මංකොල්ලකාරයින් හෙළිදරව් කර නාගරික සංවර්ධන අධිකාරිය ඉහළ තලයට ගෙනඒමට එරෙහිව පලිගන්නවා නම් තමාගෙන් පලිගන්නා ලෙසත්, දක්ෂ වෘත්තීයවේදීන්වන රාජ්‍ය නිලධාරීන්ගෙන් පලිනොගන්නා ලෙසත් ආණ්ඩුවට අවධාරණය කර සිටී.

වත්මන් ආණ්ඩුවේ නාගරික සංවර්ධන ක්‍රියාවලියේ අවිධිමත්භාවය සම්බන්ධයෙන් අදහස් පලකළ මන්ත්‍රීවරයා,

පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණා නාගරික සංවර්ධන අමාත්‍යවරයා හැටියට මා විසින් ගැසට් කරන ලද නාගරික බල ප්‍රදේශ 29 ක් මහින්ද රාජපක්ෂ අමාත්‍යතුමා විසින් අවලංගු කළ බවට. ඒ වගේම එයට පිටුබලයක් දෙන ප්‍රකාශයක්, කිසිම වගකීමක් නැති පුද්ගලයෙක් ප්‍රකාශ කර තිබුණා රටේ ඉඩම් විදේශිකයන්ට විකුණන්න හදපු සැලසුමක් මේ මඟින් ව්‍යාර්ත වුණාය කියන පට්ටපල් බොරුවක්.

මොකක්ද මේ නාගරික සංවර්ධන බල ප්‍රදේශ කියන්නේ? නාගරික සංවර්ධන අධිකාරිය පිහිටුවූයේ 1978. මේ නාගරික බල ප්‍රදේශ පිළිබඳව අප සොයාබැලීමක් කලාම අපට පෙනුනා විශේෂයෙන්ම යම්කිසි නාගරික සංවර්ධන සැලසුමක්. ඒ කියන්නේ යම් නාගරික ප්‍රදේශයක සංරක්ෂිත ප්‍රදේශ මොනවද, වානිජ ප්‍රදේශ මොනවද, මිනිස්සු පදිංචි විය යුතු ප්‍රදේශ මොනවද, පොදු ස්ථාන මොනවද කියන එක සම්බන්ධයෙන් යම්කිසි විශේෂ සැලසුමක් නොතිබුණොත් තැන් තැන් වලින් යම්කිසි ආකාරයේ සංවර්ධන ක්‍රියාකාරකම් ආණ්ඩුව ක්‍රියාත්මක කරනකොට අවුල් සහගත, ප්‍රශ්න සහගත තත්ත්වයක්, මාර්ග තදබදය ආදී ප්‍රශ්න ගණනාවක් මතු වෙමින් තිබෙන බව.

විශේෂයෙන්ම පසුගිය දශක තුනක කාලය තුළ ඇතිවෙච්ච සීග්‍ර නාගරීකරණය යටතේ මේ බරපතල ප්‍රශ්න උදාකරල තියෙන බව අපට පේනවා. ඉතිං අප දැකපු දේ තමයි රටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 330 කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය යම් යම් සංවර්ධන ක්‍රියාදාමයන්ට මැදිහත් වෙච්ච ස්ථාන 240 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.

හැබැයි මා මේ ධුරය බාරගන්නා අවස්ථාවේදී අවුරුදු 40 ටම නාගරික සැලසුමක් හදල තිබුණෙ ස්ථාන 40 ක පමණයි. ඒ කියන්නේ අවුරුද්දට එකයි හදල තිබුණෙ නාගරික සංවර්ධන සැලසුම්. මේ නිසා ඉතාම අවිධිමත් නාගරික සංවර්ධනයක් හිතුමතේ හැම තැනම සිදුවෙමින් පැවතුනා.

මෙන්න මේ නිසා තමයි අපි සැලසුම් කරල රටේ ප්‍රධාන ස්ථාන සහ අනුයුක්ත ස්ථාන සඳහා නාගරික සැලසුම් ඇඳීම ඉක්මන් කලේ. එහි ඉදිරි පියවරක් හැටියට අපට හැකියාව ලැබුණා නාගරික සංවර්ධන ප්‍රදේශ 36 ක මේ නිර්මාණ කටයුතු කරන්න. මේ මඟින් විධිමත් සංවර්ධන ක්‍රියාදාමයක් පරිසර සංරක්ෂිත ප්‍රදේශ මොනවද, මහජනයාට පදිංචි වෙන්න සුදුසු ප්‍රදේශ මොනවද, වානිජ කටයුතු වලට සුදුසු ප්‍රදේශ මොනවද, ප්‍රවාහනය හා පොදු කටයුතු සඳහා සුදුසු ප්‍රදේශ මොනවද කියන මේ සැලසුම ඇතිකරගන්න. මේ දැන් ඉවත් කරල තියෙන්නෙ අන්න ඒ වැදගත් සැලසුමයි.

ඒ වගේම ඒක මේ ඉඩම් විකුණන කතාවක් නෙමෙයි, රටකට අත්‍යාවශ්‍යයෙන්ම අවශ්‍ය වෙච්ච, නාගරික සංවර්ධනය අත්‍යාවශ්‍යයෙන්ම අවශ්‍ය වෙච්ච කලාපකරනය තමයි මෙහි ප්‍රධාන අරමුණ වෙලා තිබුණෙ. ඒ වගේම නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේදී මීට සමාන්තරව මාර්ගෝපදේශයන් නිකුත් කිරීමත් සිද්ධවෙලා තියෙනවා.

මෙන්න මේකෙදි නම් අනිවාර්යෙන්ම මේ මාර්ගෝපදේශයන් නිර්මාණය කිරීම වැළැක්වීමට තමයි මේ එන්නෙ. මොකද, දේශපාලන හෙංචයියන්ට අවශ්‍ය විදියට ගොඩනැගිලි බලපත්‍ර ලබාදීමට අවශ්‍ය කරන වපසරිය හදාගන්න නම් මේ මාර්ගෝපදේශ අවලංගු කරන්න ඕන. ඒ එකක් තමයි මෙහි තියෙන එක යටි අරමුණක්.

ඒ වගේම පරිසර සංරක්ෂණ ප්‍රදේශ කොල්ලකෑම අද බහුලව සිද්ද වෙනවා. කෙලින්ම ගිහිල්ලා රටේ ආණ්ඩුවේ නායකයින්ම කියනවා පරිසරය කොල්ල කන්න කියලා. ප්‍රායෝගිකවත් අදවන විට මහපො,ළව පරිසරය කොල්ලකමින් තියෙනවා. සංරක්ෂිත ප්‍රදේශ විනාශ කරමින් තියෙනවා. විශේෂයෙන්ම වනජීවී ප්‍රදේශ ආක්‍රමණය කරන්න රාජ්‍ය අනුග්‍රහය ලැබෙමින් තියෙන තත්ත්වයක් තුල නාගරික සංවර්ධනය, පරිසර සංරක්ෂණය අවලංගු වීම අහන්න දෙයක් නෙමෙයි.

ඊටත් වඩා බරපතල දෙයක් මේ ආණ්ඩුව කළා. ඒ තමයි අපි උපාය මාර්ගික නගර හැටියට ගොඩනගන්න ගිය ප්‍රධාන නගර, නාගරික ව්‍යාපෘති අවලංගු කිරීම.

මාතර, රත්නපුර, කුරුණෑගල, දඹුල්ල, ත්‍රීකුණාමලය, මඩකලපුව, කිලිනොච්චිය හා මන්නාරම ආදී ප්‍රදේශවල තිබුණු ප්‍රධාන සංවර්ධන උපාය මාර්ගික සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා අපි විදේශාධාර ලබාගැනීම සඳහා සාදා තිබුණු සැලසුම්, ඒ ආධාර කණ්ඩායම් එක්ක අපි ගොඩනගපු වාර්තා, ශක්‍යතා අධ්‍යයන, පරිසර අධ්‍යයන මේ සියල්ලම අද මේ වෙනකොට අවලංගු කරල තියෙනවා.

මේක ඇත්ත වශයෙන්ම මේ රටේ නාගරික සංවර්ධනයට කරපු ඉතාම බරපතල අපරාධයක් විතරක් නෙමෙයි අවිධිමත් ආකාරයේ සංවර්ධනයක් විධිමත්ව අනාගතයේදී මේ නගරවල සිදුවුණොත් ඒක ඉතාම බරපතල ප්‍රශ්න මේ නගරවලටත් නගර වාසීන්ටත් ඇතිවෙනවාට සැකයක් නෑ.

ඒ වගේම මේ නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය දිනවල නිවාස 3000 ක් හදනවය මධ්‍යම පන්තියට කියල විශාල පම්පෝරියක් ගෙනිච්චා.

අපි මේ රටේ නාගරික සංවර්ධන අධිකාරිය අධික මිළ ගණන්වලට පුද්ගලික ව්‍යාපාරිකයන් මධ්‍යම පාන්තික නිවාස විකිණීම වැළැක්වීම සඳහා නිවාස 5000 ක වැඩපිළිවෙළක් ආරම්භ කළා. බොරැල්ලේ ඕවල් පෙදෙසේ නිවාස දැන් බාරදීලත් ඉවරයි. ඒ වගේම පන්නිපිටියෙ, කොට්ටාවෙ, ඒ වගේම තවත් ප්‍රාදේශීය නගර ගණනාවක මේ ව්‍යාපෘති අපි ආරම්භ කළා. ඒ ආරම්භ කලේ අපි විධිමත් සමීක්ෂණයක් කිරීමෙන් පස්සේ.

මොකද අන්තර්ජාතික පිළිගැනීමක් සහිත JLL කියන ආයතනය සමීක්ෂණයක් කරල තිබුණා 2023 වෙද්දි මධ්‍යම පන්තික නිවාස ලබාදීමේ යම් සංතෘප්තභාවයක් රාජ්‍ය අංශයත්, පුද්ගලික අංශයත් මැදිහත්වීමෙන් ඇතිවෙනවා. කාර්යාල ඉඩකඩ පිළිබඳව තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ කියල.

නමුත් ඇත්තටම මේ කෝවිඩ් වසංගතයත් එක්ක කාර්යාල ඕන තරම් දැන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දැන් හිස් බිම් බවට පරිවර්ථනය වෙමින් තියෙනවා. මේ තත්ත්වය තුළ කිසිම සැලසුමකින් තොරව නිවාස 3000 ක් හදන්න යෑමම නාගරික සංවර්ධන අධිකාරිය තවත් ණය බරකට ගොදුරු වෙනවා.

වැදගත් කාරණය එය නොව, මේ නිවාස 3000 හදන්න කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව හිතවත් කොම්පැනිකාරයන් ටිකක් අතරේ නිවාස 3000 බෙදාදුන් බවට දැන් මාධ්‍ය වාර්තා පළවෙලා තියෙනවා. එයින් එකක් තමයි ජෝර්ජ් ස්ටුවට් ආයතනය. දැන් රටේ ප්‍රසිද්ධ කොන්ත්‍රාත් සමාගම් ගණනාවක් තිබියදී ජෝර්ජ් ස්ටුවට් ආයතනයට කොන්ත්‍රාත් ලබාදෙනව නිවාස හදන්න. මේකෙන් අපිට පේනවා හැම ක්ෂේත්‍රයක්ම තමන්ගේ දේශපාලන හිතුවතුන් විසින් පවත්වාගෙන යන ආයතන විසින් ගිල ගනිමින් තිබෙනවා. අපේ කාලයේ අපි සෑම නිවාස සංකීර්ණයක් හදන්නම තරඟකාරී ප්‍රසම්පාදනය අනුගමනය කළා විතරක් නෙමෙයි ඒවා නිවැරදි ප්‍රමිතියෙන් යුතු වන බවට අපි සහතික කළා.

ඒ වගේම රාජපක්ෂ රජය ඒ විදියටම අඩු ආදායම්ලාභීන්ට නිවාස තැනීමට හිතුවතුන් අතරේ බෙදල දුන්න. හැබැයි ඒ කොන්ත්‍රාත් සමාගම්වලින් භාගයකට අධික ප්‍රමාණයක් ප්‍රමිතිය පැත්තෙන් දුර්වලයි. ඒ වගේම ඒව මගදාල ගියා. අනිත් අයගේ ණය රුපියල් මිලියන 30,000 කට අධික ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වුණේ අපිට.

අඩු ආදායම්ලාභී නිවාස අපි හැදුව කියල පම්පෝරි ගැහුවට ඒ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න සිද්ධ වුණේ අපිට. ඒ සඳහා රාජපක්ෂ ආණ්ඩුව විකුණපු ඉඩම්වල සල්ලි ටික අය කරගත්තයි කියල ඉතාමත්ම ලැජ්ජනැති නින්දිත ආකාරයට අද ඒ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, අමාත්‍යාංශ නිලධාරීන් රහස් පොලීසියට අරන් යන එක විතරයි මේ ආණ්ඩුව කරල තියෙන්නෙ.

නාගරික සංවර්ධන අධිකාරිය වෘත්තීය මට්ටමට පත්කරපු මේ ආයතනයේ නිලධාරීන්ට ඒ වෘත්තීයවේදීන්ට සැලකීමත් ඉතාම කණගාටුදායකයි. ඒ නිසා මම කියන්නෙ පලිගන්න එකක් මගෙන් පලිගන්න, මේ රටේ මංකොල්ලකාරයින් හෙළිදරව් කිරීම වැරදි නම් අපෙන් පළි ගන්න.

ඒක ප්‍රශ්නයක් නෑ, නමුත් මේ නාගරික සංවර්ධන අධිකාරිය ගලවාගෙන රුපියල් 40,000 දක්වා එහි සේවකයන්ට උත්සව අත්තිකාරම් දෙන තත්ත්වයට ශක්තිමත් මූල්‍ය ශක්තියක් ඇති කරල, ඒ වගේම ශක්තිමත් ආකාරයේ මූල්‍යමය බලයක් බවට පත්කරපු මේ වෘත්තීයවේදීන්ගෙන් පළිගන්න එපා.

මේ නිවාස 3000 කෙළවර වෙන්නෙත් මම අද කියනවා නාගරික සංවර්ධන අධිකාරිය තවත් දැවැන්ත ණය උගුලක ඇදහැලීමෙන්. ඒ වගේම ප්‍රසම්පාදනයෙත් තොරව හිතුවතුන්ට බෙදාදීම පිළිබඳව අනිවාර්යෙන්ම මේ රටේ නීතිගරුක පුරවැසියන්ගේ හඬ ඇසිය යුතුමයි.

නාගරික සංවර්ධනය විධිමත් සැලසුමකට අනුව සිදුවිය යුතුයි. එය පරිසර හිතකාමී නොවන ආකාරයට, ඒ වගේම නාගරික පොදු පහසුකම් වර්ධනය නොවන ආකාරයට හිතුමනාපේ සිදු කරන්න ගියොත් දැනට මේ රටේ කෝවිඩ් වසංගතය පාලනය කිරීමට ගිහිං ඇතිකරගෙන තියෙන අවුලට වඩා භයානක අවුලක් මේ සඳහා ඇතිවිය හැකියි.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා සති ගණනාවකට පෙර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරල කොළඹ නගරය හා අවට ප්‍රදේශවල ඉඩම් අක්කර 100 කට අධික ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා.

මොකටද ? මම කියනව විදේශිකයන්ට විකුණන්න කියල. විශේෂයෙන්ම අර ජාතික පර්යේෂණ සභාව ඒ වගේම ITI ආයතනය තියෙන ඒ ප්‍රදේශවල ඉඩම් කෙලින්ම ඒ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරල තියෙනවා විදේශකියන්ට ලබාදෙන්න යන බව.

විදේශ ආයතනවලට ලබාදෙන්න යන බව. අද මේ ආණ්ඩුවට ඉතුරුවෙලා තියෙන එකම දේ තමයි තමන් විසින් ලබාගත් ණය ගෙවාගැනීමට නොහැකිව රාජ්‍ය දේපොළ, රාජ්‍ය ඉඩම්, ජනතාව සතු, ජාතිය සතු ඉඩම් අද විදේශිකයන්ට කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව පැවරීම.

මේ අනතුර හඳුනාගෙන වෘත්තීයවේදීන් හැටියට සියලුදෙනාම නැගී සිටිය යුතුයි. අපි නම් කොච්චර වාරයක් මර්ධනයට ලක් කළත්, ප්‍රශ්න කරන්න ගෙනිච්චත්, රහස් පොලීසියට ගෙනිච්චත්, නඩු හබ පැටෙව්වත් මේ අරගලය අපි නොනවතින අරගලයක් බවට පරිවර්තනය කරනවාමයි. මේ ජාතික මංකොල්ලය, ඉඩම් මංකොල්ලය හා ජාතික ධන මංකොල්ලය වැළැක්වීමට පෙළගැසෙන්න කියල අපි ඉල්ලා සිටිනවා.

Scroll to Top