සේනා දළඹු ප්‍රහාරයත් සමඟ හඳුනා නොගත් වයිරසයක් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් බඩඉරිඟු ගස මැදින් කඩා වැටෙනා බව අනුරාධපුර ගම්බිරිස්ගස්වැව වන්නිපළුගොල්ලෑව ගොවීහු පවසති.
අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන්නිපළුගොල්ලෑව ප්‍රදේශයේ බඩඉරිඟු අක්කර තුනකට අධික ප්‍රමාණයක් වගා කළ ගොවියකුගේ වගාබිමෙන් මේ හඳුනා නොගත් වයිරසය හමු වී තිබෙනා අතර ඔහුගේ වගාවට සේනා දළඹු ප්‍රහාරයත් එල්ල වී තිබේ.
මේ වන විට හොඳින් වැඩී ඇති බඩඉරිඟු ගස්වල කරල හටගන්නා ස්ථානය ආසන්නයෙන් ගස ගැලවී යන බව වගාවේ හිමිකරු පැවසුවේය.
එම ගොවිබිම වෙත කෘෂිකර්ම පර්යේෂණ කණ්ඩායමක් ද පැමිණ තිබෙනා අතර ඔවුන් ගසේ කැඩී යන කොටස ජල වීදුරුවකට දැමූ අවස්ථාවේ එයින් කිසියම් සුදු පැහැති කැදලි මතු වී තිබෙනා අතර එම කැදලි වයිරස් ප්‍රභේදය විය හැකි බවට ඔවුන් අනුමාන කර තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගොවිබිමේ හිමිකරු මෙසේ පැවසීය.
“අක්කර තුනක බඩඉරිඟු වගාව සිදු කරලා හොඳින් ගස් වැඩෙද්දී අක්කරයක විතර ගස්වලට සේනා දළඹු ප්‍රහාරය එල්ල වුණා.
සේනා දළඹුවන්ගෙන් වගාබිමේ අක්කර දෙකක් විතර බේරගන්න හැකි වුණා. එහෙත් මෙන්න දැන් ගස්වල කරල හට ගන්නා තැනින් අල්ලපු හැටියේ ගහේ මැද කොටස සම්පූර්ණයෙන්ම ගැලවිලා අතට එනවා.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැන්වූවා. පරීක්ෂණ කණ්ඩායමක් ඇවිල්ලා පරීක්ෂණ සිදු කළා.
මම හිතන විදියට මේ වයිරසය මුලින්ම හැදෙන්න ඇත්තේ මගේ වගාවට. දැන් වගාව මුළුමනින්ම විනාශයි. ගස් ටික ගලවලා පුලුස්සලා දමන්න කියලා කෘෂිකර්ම නිලධාරීන් උපදෙස් දුන්නා.
මහේෂ් විජේසූරිය – අනුරාධපුර