වියැකී යන රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට අවශ්‍යය කටයුතු සිදු කරන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
පෑතිස් රඹෑව ගම්මානයේ කුඹල් කර්මාන්තකරුවන් හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු වලට සවන් දුන් අමාත්‍යයවරයා මේ බව පැවසීය.
“ගම සමග පිළිසඳරක් වැඩ සමඟ යළි ගමට ” මෙතෙක් කල් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මාන වෙත ගොස් ගැමි ජනතාව මුහුණපා සිටින, දිගු කලක් නොවිසඳී ඇති ගැටළු නිවැරදිව හදුනාගැනීම, එම ගැටළු නිලධාරීන්ට ඝෘජුව ඉදිරිපත් කොට විසඳුම් දීමේ හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ගම්මානයේ ජනතාවගෙන්ම යෝජනා ලබා ගැනීමේ තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෑතිස්රඹෑව ගම්මානයේ ග්‍රාමීය කමිටු රැස්වීමේදී ඉදිරිපත් වූ ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කර පෑතිස් රඹෑව ගම්මානය වෙත ගොස් කුඹල් කර්මාන්ත කරුවන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යයතුමන් අවධානය යොමු කරනු ලැබීය.
තිරප්පනය පෑතිස්රඹෑව ගම්මානයේ පවුල් 200 ක් පමණ ජීවත් වන අතර, ඉන් පවුල් 150 කගේ පමණ ප්‍රධාන ජීවන උපාය වී ඇත්තේ කුඹල් කර්මාන්තයයි.
වැවකින් කපා ගෙන එන මැටි, ඇඹුරුම් යන්ත්‍ර ආධාරයෙන් අඹරාගෙන, පදම් කර ගන්නා කුඹල්කරුවන් සකපෝරුව ආදාරයෙන් වලං නිර්මාණය කර ඒවා වේලාගෙන, නැවත අඩිය සකස් කර, පෝරණුවේ පුලුස්සා, නැවත බොරලු ආලේප කිරීමෙන් පසු නිමි භාණ්ඩයක් බවට පත් කරනු ලබයි.
කුඹල් කර්මාන්තයේදී එදා දෙදෙනකු එක්ව එක් අයකු අතින් කරකවන විට අනෙකා මැටි ගුලිය භාවිතා කර වලං නිර්මාණය කළ සකපොරුව වෙනුවට අද විදුලියෙන් ක්‍රියාත්මක වන සකපෝරු භාවිතයට කුඹල් කර්මාන්තකරුවන් යොමු වී ඇත.මැටි ගුලියක් සකපෝරුව මත තබා එය මුට්ටියක්, හට්ටියක්, කළයක් ආදී මැටි භාණ්ඩයක් බවට පත් කරන අකාරය ඉතා මනරම්ය.
අතේ හුරුව නැත්නම් එය සිදු කළ නොහැකි බවත්, කළ පුරුද්දෙන් දැක-පුරුද්දෙන් හා පරම්පරාවෙන් ආ පුරුද්දෙන් ඒවා සිදු කරන බව කුඹල්කරුවෝ පවසති.කුඹල් කරුවන්ට දැන් මෙම කුඹල් කර්මාන්තය එපා වී ඇත්තේ රජයෙන් ඔවුන්ට නිසි සැලකිල්ලක් නොමැති නිසාවෙන් බවට ඔවුන් මැසිවිලි නගති.
මේ සම්බන්ධයෙන් අමාත්‍යයතුමන් වෙත අදහස් දැක්වූ ගම්වැසියන් කියා සිටියේ,
පණ්ඩිත රඹෑවේ අපිට වැව් 03 ක් දීලා තියෙනවා, ඒ වැව් තුනෙන්ම අපිට මැටි ගන්න රජයෙන් අවසර දීලා තියෙනවා.ඒවායෙන් මැටි කපලා ගෙනත්, තැම්බෙන්න තියලා පහුවදාට මැටි අඹරලා ගන්නවා. මැටි මෝලට පොයින්ට් එකකට රුපියල් 100 ක් වගේ දෙනවා.
මේ මැටි මෝල හදලා දුන්නෙත් දුමින්ද ඇමතිතුමා තමයි.අඹරා ගත්ත මැටි අපි සකපෝරුවෙන් වලං හදනවා.අපිට රජයෙන් විදුලි සකපෝරු දීලා තියෙනවා.
අපිට අඩුවක් වෙලා තියෙන්නේ වැහි කාලයට වලං හදලා තියාගන්න මඩුවක් නෑ, වලං නමා ගන්න පෝරණු අඩුපාඩු තියෙනවා.
තවත් පවුල් කීපයක් ඉන්නවා විදුලි සකපෝරු නැතිව ඒ අඩුපාඩු සපයලා දෙනවා නම් මේ කර්මාන්තය අපිට පහසුවෙන් කරගෙන යා හැකියි.ඒ වගේම තමයි අපේ මහන්සියට හොඳ වෙළඳපලක් ලැබෙන්‌නේ නෑ.වලං සඳහා පාලන මිලක් වගේ දෙයක් ලැබුනොත් මේ කර්මාන්තය ඉදිරියට ගෙන යා හැකියි.මැටි අපි අඹරගන්නේ පොදු මැටි මෝලකින්, අපිට පුද්ගලික මැටි මෝල් දෙනවා නම් මීට වඩා නිෂ්පාදනයක් කරගන්න පුළුවන් වෙනවා.
අපි තමයි වලං කර්මාන්තයේ ඉන්න අන්තිම පරම්පරාව, අපේ ගමේ පොඩි අය කවුරුත් මේ කර්මාන්තයට යොමු වෙන්‌නේ නෑ යැයි පැවසීය.
ඒ අනුව රජරට කුඹල් කර්මාන්තය නගා සිටුවීම සඳහා මෙම ගම්වැසියන්ට
මැටි කර්මාන්තයේ නිරතවන ශිල්පීන් සඳහා නව තාක්ෂණික දැනුම ලබා දීමටත්, මැටි ඇඹරුම් යන්ත්‍රයක් ගම්මානය වෙත ලබා දීමටත් ,වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් හා සම්බන්ධ වී වියැකී යන රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට අවශ්‍යය කටයුතු සිදු කරන බව සූර්ය බල සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.