සිහින් කාණු සෑදුණු විසල් ගල් පතුරු දිගේ අපි ටිකින් ටික පහළට යන්නට වීමු. එහෙත් මටද සිතුණේ මේ ගල් පතුරේ නිදහසේ වැතිර ගෙන ඉන්නටය. තුරු අතු ඉති මදනළ හා එක්ව ගයන පෙම් ගී වලට සවන් යොමමින් හුදෙකලාවේ මිහිරියාව වින්දනය කරන්නට ලැඛෙන නිසාය. ලෝකයේ දහසකුත් එකක් හැල හැප්පීම් අමතක කර මෙවැනි හුදෙකලා නිමේෂයක් ගතකරන්නට ලැබීම වාසනාවකි. එහෙත් අපේ ගමන් නියමුවා මේ වනවිටත් ගල් පතුර දිගේ පහළටම ගොසිනි.ඉතින් මමත් ගමන ඉක්මන් කළෙමි. ගල් පතුරේ හෑරුණු කාණු දිගේ වතුර ගලාගෙන යයි. තැන් තැන් වල ඇති මේ කාණු වලින් ගලන වතුර ගල් පතුරේ කිසියම් තැනකදී එකතුවෙනවා විය යුතුය. අප මේ ඇවිද යන්නේ එතැනට යැයි මම සිතුවෙමි.
බණ්ඩාරකැලේ ඔයේ නාන පොකුණ
මේ විසල් ගල්පතුරේ හැදුණු පුංචි පැලෑටියක ඇහැට පෙනෙන නොපෙනන තරමේ දම්පාට මල් වගයක් පිපී තිබිණ. කඳුලැස්ස මලක් සිහියට නගන මේ මලේ විෂ්කම්භය සෙන්ටි මීටරයකටත් වඩා අඩුය. ඒ මල ඒ තරම් කුඩා වුණත් මගේ නෙත් නතරකරගන්නට සමත් විය.
ඒ මල් ළඟ ඇනතියාගත් මම මනහර පුංචි මලේ අපූරුව නැරඹුවෙමි. මේ මල් වර්ගය මම මේ දැක්කමයි. කිතුල්ගල, රත්නපුර කැලෑ ගණනාවකම මම ඇවිදල තියෙනවා. ඒත් මේ මල් විශේෂය දැකපු පළමුවෙනි වතාව… අපේ ගමන් නියමුවා කීවේය.
මග තොටදී හමු වූ නාඳුනන යුවතියක බඳු ඒ මල් පඳුර අතැර අපි යළිත් පහළට ගියෙමු.
වසරේ මාස නවයක් තරම් වන වැසි සමයට මේ ගල් පතුර දෙගොඩ තලා ගලායන මහා දිය දහර මාසයක පෑවිල්ලකින් සිඳී යන හැටි මගේ කල්පනාව විය. එහි තේරුම වන විනාශය ඒ සා දරුණු වී ඇති බවය. නොඒසේනම් අපි මේ යන්නේ පාපනා ඔය දිගේය.මේ ගල්පතුර පාපනා ඔයේ පතුලයි.
අපිට එන්න තිබුණේ වැහි කාලේ…මම කීවෙමි. එහෙම වුනානම් සුදු පෙණ දදා වතුර බැහැල යන හැටි අපූරු දර්ශනයක් වෙන්න තිබුණා..
ඔය ඉවුර තරමක් ඝනකම්ව තිබිණ. ඒ ඉවුර දිගේ තරමක් සැර ජල පහරක් ගාලාගෙන ගියේය. එහෙත් ඒ අඳුරු හේඩාවේ ඇවිද යන්නට හිතට බයක් දැනිණ. එබැවින් ඒ අඳුරු හේඩාව දෙස බලාගෙන ඊට මදක් මෙහායින් ඇවිද ගියෙමි.
අඳුරු හේඩාවෙන් ඇදී ආ කළු පාට වතුර කඳ සුදු පාට වී ගලකින් පහළට ඇද වැටෙමින් තිබිණ. ඒ වතුර වැටෙන හඩ දෙසවන සනසන සුළු විය. එසේ ඇද හැලෙන වතුර පාර නැවත වතාවක් තවත් ගලකින් පහලට වැටෙයි. එතැන මා බලා සිටින තැනටත් වඩා ගැඹුරුය.
මකුළු ඇල්ල
මාකන්දා වන රජ දහනේ සුන්දරත්වය වැඩි කරන පාපනා ඔයේ මකුළුඇල්ල ළඟ අපි වාඩි ගතිමු..මේ ඉසව්වේ මකුළු ගස් ගොම්මනක් තිබුණලූ… ඒ නිසා මිනිස්සු මකුළු ඇල්ල කියල මේ ඇල්ලට නම දීලා තියෙනවා.
හුගාක් ඉස්සර මේ ආසන්න ප්‍රදේශයේ මකුළු වර්ග විසිපහකගේ පමණ දැල් වියා තිබිණ. ඒ මකුළු දැල් සංකීර්ණ නිසාත් විවිධ වර්ග වල විවිධ ප්‍රමාණ වල විවිධ හැඩ වල මකුළුවන් නිසාත් මේ ඇල්ලට මකුළු ඇල්ල යන නම භාවිතා වූ බවද කියති.
බොහෝ විට මේ කරුණු දෙකම සිදුවන්නටද ඇත. මකුළු ගස්වල මකුළු දැල් බැඳ තිබුනා වන්නටත් ඇත.
මකුළු ඇල්ලෙන් පහලට බැසීම ඇසීරුය. එබැවින් ඇල්ලට ඉහළින් වූ වන රොදට රිංගා ගන්නට සිදුවිය. වන රොද ඔස්සේ ටික දුරක් ගිය විට යළිත් පාපනා ඔයේ ගල්පතුර වෙත පිවිසිය හැකිය.
අපි එසේ කළෙමු… යළිත් ගල් පතුර දිගේ පහළට එනවිට අපට හමුවුනේ මංසන්ධියකි… වන මැදින් ආ තවත් ඔයක් පාපනා ඔයේ වතුර සමග එකතු වී කැලේ මැදින් පහළට ගමන ආරම්භ කළේය.
දැන් අපි යන්නේ මේ අලූත් ඔයේ ඉවුර දිගේය. බණ්ඩාර කැලේ ඔය නම් ගත් මේ අලූත් ඔය පාපනා ඔයට එක්වන්නට මොහොතකට කලින් නිර්මාණය කරන දර්ශනය නෙතට රසඳුනකි.
එය ගැඹුරු පොකුණකි. පොකුණට ඉහළින් ඇති ගලට වී පොකුණ දෙස බලා උන්නෙමු.. පොකුණේ පතුල පැහැදිලිව පෙනිණ.. ඒ නිසාම පොකුණේ ගැඹුර අඩි තිහකට කිට්ටු බව පැහැදිලිවම පෙනිණ.
මේක නාන්න නම් කියාපු තැන
නාන්න හොඳ නෑ මෙතන අනතුරු දායකයි… එකක් ලෙස්සනවා.. අනෙක ගැඹුරුයි.. කොල්ලෝ ඇවිත් කොලූකමටත් එක්ක මේ පොකුණට පනිනවා… එත් පොඩ්ඩ බැරිවුනොත් ඔලූව ගලක වදින්න පුළුවන්.
වනගත චාරිකා වලදී දිය ඇලි ළඟ, පොකුණු ළග හැසිරිය යුත්තේ පරෙස්සම් සහගතවය. සුළු අතපසු වීමක් විශාල අනතුරකට ඉඩ හසර සාදනු ඇත.
මේ පොකුණ ඇත්තේ ලස්සන රසවිඳින්නට මිස බැස නාන්නට නොවේ.
ගල් අතර ඇති පුංචි මල්
පොකුණ පසෙකින් ඇත්තේ විශාල ගල් පර්වතයකි. බණ්ඩාර කැලේ ඔය හරස් කරගත් මේ ගල් පව්වේ තැන් හතරකින් වතුර පාරවල් හතරක් කඩා හැලෙයි. කුඩා දිය රේඛා හතරක් වුවත් මේ ගල් පර්වතයේ සිට ඒ දෙස බලන විට එහි අපූරුවක් තිබේ.
මේ ඔයේ මාලූ වර්ග රාශියක් ඉන්නවා.. හුගාක් විශේෂ ලංකාවටම ආවේනිකයි… ශීත මත්ස්‍යයින්, ගල් පාඬියන් වගේ…. ඔය දිහා බලාගෙන ඉන්නකෝ…ඒ මාළු පීනන හැටි පෙනේවි… කමල් කීවේ පසෙක වූ ගල් පතුරක වාඩිවෙමිනි. මෙතෙක් දුර ආ ගමන් වෙහෙස නිවා ගන්නට මේ ගල් පතුර කදිම තැනකි. නෙතට රසඳුනත් කණට ගී හඩත් සමග ගතට සිසිලකුත් දෙන සුළගක් සහිත මේ ඉසව්ව ඉක්මනින් අතහැර යා යුතුද?
බණ්ඩාර ඔයේ ඊළඟ විශේෂිත ස්ථානය නාන පොකුණයි… අපි එතැනට යන්නට වීමු… මලකඩ පාට සහිත ගල් බිත්ති අතුරින් ඉදිරියට යන ගමන බොහෝ පරිස්සමට කළ යුතුය. මේ මලකඩ වලට ගමේ මිනිස්සු කියන්නේ දියමලං කෑම කියාය. මේවා යකඩ ලවනයි. ගං ඉවුරු දිගට මේ තියෙන්නේ දියවුණු යකඩ ලවණයි.
ටික දුරක් ඉවුර දිගේ පැමි‚ අපි නාන පොකුණට ගොඩ වුනෙමු. කුඩා ඛෙල්ලන් දහස් ගණනක් ගං පතුලේ වූ ගල මත එල්ලී සිටිති. උන්ගෙන් බේරෙමින් බොහෝ අපහසුවෙන් ගඟ පතුලේ ගල් බිත්තිය මත අඩි තබන්නට සිදුවේ. එසේම මේ පතුල ලිස්සන සුළු වේ… ඒ නිසා තබන හැම අඩියක්ම වඩාත්ම පරෙස්සම් විය යුතුය. නැතිනම් සිදුවන්නේ උඩු බැලි අතට වැටෙන්නටය.
MakuluEllaFalls