දඹානේ රජ වූ ඌරුවරිගේ තිසාහාමිගේ පණ කෙන්ද නැසුණේ අනූ අටේ අවුරුද්දේය.දැන් රැහේ රජුන් වූ ඌරුවරිගේ වන්නියා, එරජුන්ගේ පුත් රුවනය. තිසාහාමිද වන්නියාද කී හැටියට ඔවුහු ජීවහත් – දිසාලා පරපුරේ නූතනයෝය. විජයගේ පරපුරෙන් ඉක්බිති පෙළ ගැසෙන අපේ ඉතිහාසයේ විජයට දාව කුවේණියගේ කුස උපන් ජීවහත් දිසාලාට මහා වටිනාකමක් ඇත්තේ නැත.
තිසාහාමිගේ පිළිරුව ඇඹූ අනිල් නිශාන්ත කලාකරුවා
චුල්ලධනුද්ධර ජාතකයේ වැදි රජුන් සරච්චන්ද්‍රලා අතින් හෝ නූතන පරපුරේ ඉතිහාසය පුනර්කථනය කරන්නන් අතින් ලද වටිනාකමවත් ඌරුවරිගේ තිසාහාමි නොලද්දේය. දඹානට රජු වූ තිසාහාමිගේ ජීවිත කතාව පොතක පතකවත් ලියවුණේ නැත්තේ ඒ හින්දාය.
වැදි රැහේ මහ රෑ ගිනි මැළය දල්වන්නට දර සපයයි
එදා මෙදාතුර, රජුන් ඇතියන් ගැන අනන්ත පරිමාණ පොත් ලියවෙද්දී, ගහක් ගලක් ගානේ පිළිම තැනෙද්දී, දඹානේ රජුන් ගැන පොතක් ලියවුණේ නැතිවා මෙන්ම, පිළිම තැනුණේද නැත. එහෙත් තිසාහාමිගේ ජීවමාන පරිමාණයේ පිළිමයක් ඔහුගේ හුස්මපොද ඇතැයි සැලකෙන දඹානේ පිහිටුවන්නට වැදි රැහැට කලක් තිස්සේ ඕනෑමක්ද විණි. වන්නියලැත්තන්ගේ ඉල්ලීමට කොළඹින් පැමිණ
පහසුකම් නැති පළාතේ පහසුකම් භුක්ති විඳ, මුදල්ද ගෙන පලා ගිය උන්දැලාද, දඹානේ මාස ගණන් ගත කොට පිළිමයෙහි පාදම පමණක් නිම කළ උන්දැලාද රැහේ උවමනාවෙන් විපුල ප ලදහ. තිසාහාමි දඹානට රජකුව සිටියදී, එරජුන්ගේම පුත්‍ර රත්නය දැන් කිරුළු දරද්දී, තිසාහාමි අපේ සාහිත්‍යයට, ප්‍රතිමා කලාවට හෝ සිනමාවට නොනැගි රජකු වීම, අපේ කලාවේද, සාහිත්‍යයේද, සිනමාවේද වත්මන් හැඩරුව පිළිබඳ හොඳ ඉඟියකි. මහා පරිමාණ අරමුණු මෙන්ම, දේශපාලන අරමුණුද ගාවාගෙන සාහිත්‍යය, කලාව, සුවිසල් වෙද්දී, ප්‍රතිරූපය මිස නායකත්වයේ ගුණ කදම්භය, කලාවට ගෝචර නොවිණි.
ගිනි මැළ ගසා ගෙන දඹානේ පිළිරුව අඹන්නට වෙහෙසුන අයුරු
තිසාහාමිගේ මරණයෙන් වසර ගණනකට පසුව, අනිල් නිශාන්ත නම් වැඩි දෙනකු නොදන්නා කලාකරුවකු තිසාහාමිගේ ජීවමාන ප්‍රමාණයේ පිළිමයක් අඹා තිබේ. වැදි රැහේ අයකු තිසාහාමිගේ ඒ පිළිමය දුටු මතින් ‘පණ පොජ්ජ කොදෙයි’ (පණ විතරයි නැත්තෙ) කියමින් මවිත වීලු. අපේ සාහිත්‍යයට කලාවට ගෝචර නොවුණු නායකත්වයේ ගුණ කදම්බය තිසාහාමි තුළ නොඅඩුව තිබුණු බව තිසාහාමි ගැන දන්නා උදවිය සිහිකරන කරුණකි. සිය වරිගයා වරිගයේ සංස්කෘතිය තුළම රැකගැනීමේ වගකීම, රැහේ රජුන් වූ තිසාහාමි පණ කෙන්ද නැසෙන තුරුම සුරැකීය.
දඹානේ ඉදි කළ තිසාහාමිගේ ජීවමාන රුවට සමාන පිළිරුව
දඹානේ වැදි ජනතාවට උද්ගත වුණු බරපතලම ගැටලුවට ඔවුන් මුහණ දෙද්දී, සිය වසක් දිවි ගෙවන්නට වරම් ලැබූ තිසාහාමි, සිය ජීවිතකාලයෙන් වැඩිකලක් අරගල කළේද, ඉල්ලීම් කළේද, වරිගයාගේ පාරම්පරික පැවැත්ව තහවුරු කර ගැනීම සඳහාය.
උරුවරිගේ අප්පුවාට දාව, හෙන්නේ කන්දේ ලෙනකදී තලාවරිගේ ගෝමරිගේ කුස උපන් තිසාහාමි වැදි රජුන් වූයේ ඔහුට වයස අවුරුදු 14 දීය.
77 මහවැලි ව්‍යාපාරයෙන් වැදි ජනයාට ඔවුන්ගේ පාරම්පරික නිජබිම් අහිමි වීමේ බේදවාචකයට එළැඹුණේද තිසාහාමිගේ කාලයේදීය. ඔවුන්ගේ නිජබිම වූ වනපෙත කොටුකර මාදුරුඔය අභය භූමිය පිහිටුවන්නට යෑමේදීය. දඹානේ වැදි ජනයාගෙන් ඇතැමකු නිලධාරීන්ගේ කතාබහට හසු වී සිය නිජබිම අත් හැර, පාරම්පරික ජීවිකාවෙන් බැහැරව ගොවිතැනට යොමු වූහ.
එය තිසාහාමි කම්පාවට පත් කළ කාරණයක් විය. සිය පැවැත්මට බාහිරින් එල්ල වී ඇති තර්ජනය ගැන කියන්නට කිහිප වරක් හේ ජනපති ජේ. ආර් ද හමු විය. එහෙත් ඒ හමුව පලක් වූයේ නැත්තේ ඉල්ලීම් ගෙනෙන වරිගයේ නායකයා බා ගන්නට ජේ. ආර් කළ යෝජනාවක් හින්දාය.
තිසාහාමිට උවමනා නම් කොළඹින් මාළිගාවක් වුව හදා දිය හැකි බවට ජේ. ආර් කී කතාවකට පිළිතුරු, ලෙස ‘ඔබේ මාළිගාවට වඩා මගේ පැල් කොටය හොඳා’ යැයි ජේ. ආර් ගේ මූණටම දමා ගැසූ තිසාහාමි දඹානට වීරයෙකි.
දඩයමෙන් ජීවිකාව ගෙන ගිය වරිගයාට ගොවිතැන් බත් කරන්නට ආණ්ඩුව කැති උදලු දෙද්දී, එය මුලින්ම ගත් රැහේ හූරකුට තිසාහාමි කීවේ, එය වරිගයට වළ කපන්නට ගත් උදැල්ලක් බවයි.
වැදි රැහේ ඉතිහාසගත වන මුල්ම උපවාසයද ඇරඹුණේ තිසාහාමිගේ මුලිකත්වයෙනි. ඒ වැදි කැකුළන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන පහර දීමත් සමගිනි.
සිය රැහැට එල්ල වන චෝදනාවලදී, තිසාහාමි නොබියව ඊට ප්‍රතිඋත්තර දුන්නේය.
විජය පිටමං කිරීමෙන් ඉක්බිති සිය නෑදෑ සනුහරය අතින් ගල් පහර කා මරු දුටු කුවේණියගේ දරු දෙදෙනා වන ජීවහත් – දිසාලාගෙන් තමන් පැවත එන්නන් බවද, කුවේණිය, විජය එන විට කපුකටිමින් සිටි නිසා, උපන්දා පටන් වස්ත්‍ර අඳින අපටත් වඩා ඒවාට අයිතිවාසිකම් ඇත්තේ තමන්ට බව වන්නියාද, තිසාහාමිද නිර්භයව කී කතාවකි. බුදුන් වහන්සේ මහියංගණයට වැඩ, යකුන් (යක්ෂ ගෝත්‍රිකයන්) පළවා හළ කතාව බොරුවකැයි යක්ෂ ගෝත්‍රික මානෑවේ විමලරතන හිමියන්ටත් කළින් කීවේ තිසාහාමිය.
වරිගයේ ඇත්තන් වරිගයේ සංස්කෘතිය තුළම රැකගැනීමේ වගකීමට ජීවත්ව සිටින තාක් උරදුන් තිසාහාමි, දඹානේ ස්වකීය වරිගයාට හැබෑ නායකයකු වූ නිසා, තිසාහාමිගේ පිළිරුවක් දඹානේ පිහිටුවීමට වූ රැහේ උවමනාව ගැන අපට ගැටලුවක් නැත.
තිසාහාමිගේ පිළිමය ඇඹීම තුළ, කලාවෙහි දේශපාලන ව්‍යාපෘතියක් හෝ ප්‍රචාරාත්මක අරමුණක් නැතැයි කලාකරුවාගේ ඒ ප්‍රකාශයෙන් ගම්‍ය වේ.
මේ දේශපාලන ක්‍රමයේ, මිනිසුන් අවිඥානික වීමද, කලාකරුවා හුදු නාමමාත්‍රික කලාකරුවකු බවට පත්වීමද වැළැක්විය නොහැකිව තිබියදී, මෙය එවැන්නක ඵලයක් නොවේ.
කලාකරුවන් පෝළිමේ රජුන්ගේ ඇතියන්ගේ ප්‍රශස්ති ගයද්දී, පිළිරූ තනද්දී, පණ කෙන්ද නැසුණු වැදි රජුන් ගැන පිළිමයක් තැනීමෙන් අනිල් නිශාන්ත ඔහුගේ පුතුන්ගෙන් කුමන වරදානයක් ලබන්නද?