Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රදළවරුන් මවා පෑ සෙප්පඩ විජ්ජා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලංකාවේ නැත්නම් සිංහලයේ ඓතිහාසික අතින් වැදගත්ම ගිවිසුමක් අත්සන් තැබුණේ 1815 මාර්තු මස 2 වනදා මහනුවර මගුල් මඩුවේදීය. මේ ගිවිසුමක්ද නැතිනම් අපි රට පාවා දුන්නේ නෑ, කියා ජනතාවට කියා පෑමට රදළවරුන් මවා පෑ සෙප්පඩ විජ්ජාවක්ද යන්න විවාදයට තුඩුදුන් කරුණකි.

පෙබරවාරි 18 වනදා වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත් ඉංග්‍රීසීන් රටේ ආධිපත්‍යය තහවුර කර ගැනීමට සූදානම් වනවිට ඊට විරුද්ධව නැගී සිටි මොනරවිල (කැප්පෙටිපොල) සහ තවත් දිසාපතිවරුන්ද, සනසා, ගිවිසුමකින් එකඟත්වයකට පැමිණිය යුතු බව කියා සිටියේ සුදුහුම්පල විහාරයේ අධිපති වාරියපොල සුමංගල හිමියන් බව නාවලපිටියේ, පර්යේෂක ගත්කරුවකු විසින් 1930 දශකයේ ලියන ලද පොතක සඳහන් වේ.

එහි සත්‍යභාවය කෙසේ වෙතත් ගිවිසුම නම් වාර්තාගතය. ගිවිසුමට ඉංග්‍රීසි ආණ්ඩුකාරයා එක පසකින්ද අධිකාරම්වරු ගණනාවක් අනික් පසින්ද අත්සන් තබා ඇත. ගිවිසුමේ අත්සන් තබන ලද සිංහල අධිකාරම්වරුන්ගෙන් කිහිප දෙනෙක් අත්සන් තබා ඇත්තේ සිංහල හා දෙමළ අකුරු කලවමේය. ඇහැලේපොල මහාඅදිකාරම්ගේ අත්සන් සිංහල හා දෙමළ කලවම් අයට මාතලේ දිසාව වෙනුවෙන් අත්සන් කළ රත්වත්තේ දිසාවගේ අත්සනේ සෑම අකුරක්ම දෙමළය. පැහැදිලි සිංහලෙන් අත්සන් තබන ලද්දේ මොනරවිල හා මොල්ලිගොඩද යන නිලමේවරුන් පමණකි.

මේ ගිවිසුමෙන් කරන ලද්දේ එංගලන්තයේ 3 වන ජෝර්ජ් මහරජ කන්දඋඩරට රාජධානියේ රජු බවට පිළිගැනීම පමණක් මිස, ඉංග්‍රීසීන්ට රට පාවා දීමක් නොවන බව කියන පුහු තර්කය, දිගින් දිගටම ඉදිරිපත් කරන ලද්දේ උඩරට දේශපාලනඥයින් විසිනි. ලංකාවේ පළමුවැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාද මේ පිළිබඳව රන් හුය නමින් පොතක් ලිවූයේ විධායක ජනාධිපති පදවියට පත්ව ටික දිනකට පසුවය. එම පොත කියවන ඕනෑම කෙනෙකුට පැහැදිලි වන්නේ තමාද විජයගේ පටන් අවිච්චින්නව පවත්වන රජ පෙළපතේ පුරුකක් බව පෙන්වීම බවය. ඔහු කියන්නේ 1739 සිට 1815 දක්වා සිංහලයන් සිය කැමැත්තෙන් වඩුග රජවරුන්ගේ ආධිපත්‍ය්‍ය පිළිගත්තාක් මෙන්, 1815 එංගලන්තයේ රජුද තම රජු වශයෙන් පිළිගත ඇති බවය.

මේ තර්කයට එකම පිළිතුරු හාස්‍යය පමණකි. විවාහ සම්බන්ධතාවලින් ඇතිවූ රාජකීය අයිතීන් උඩ වඩුග රජවරුන් සිහසුනට පත්වූයේ අම්පිටියේ දිවුරුම් බෝධිය අසලදී සම්ප්‍රදායේ චාරිත්‍රානුකූලව දිවුරුම් දීමෙනි. ඔවුන් වාසය කළේ මහනුවර රජ මැදුරේය. එහෙත් 3 වන ජෝර්ජ් මහනුවරට තබා කොළඹටවත් පා තබා නැත. ස්කොට්ලන්තයේ ඈන් බිසව හා එංගලන්තයේ රජෙකු අතර විවාහයෙන් දෙරට එකට එක්වීම වැනි සිද්ධියක් අපේ ඉතිහාසයේ දකින්නට නැත. අපි අවංකව පිළිගත යුත්තේ අපි අපේ නිදහස සටනකින් තොරව මේ ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට පාවාදුන් බවය. මේ සත්‍යය වටහාගත් නිසා කැප්පෙටිපොල දිසාව ඇතුළු දේශප්‍රේමියෝ අවු. 3. කට පසු (1818) ඉංග්‍රීසීන්ට විරුද්ධව කැරලි ගසා අභීතව දිවි පිදූ අන්දම එංගලන්තයේ යටත් විජිත ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත.

1815 ගිවිසුමට පෙර තවත් වැදගත් ගිවිසුමක් වාර්තාගතවී ඇත. එනම් 18 වන ශත වර්ෂයේදී කීර්ති රාජසිංහ රජු හා ඕලන්ද ආක්‍රමණිකයන් අතර ඇතිකරගන්නා ලද ගිවිසුමයි. මේ ගිවිසුමෙන් සිංහලයන් සතු රාජධානියත් ලන්දේසි යටත්විජිතයත් අතර මායිම පැහැදිලිව ප්‍රකාශ කෙරේ.

මේ සියලූ කරුණු  ගෙනහැර පෑවේ වෙනත් යෝජනාවලියකට ප්‍රවේශයක් වශයෙනි. ඒ ඉදිරිපත් කිරීමට පළමුවෙන් අනිත් ගිවිසුම් ගැනද කෙටියෙන් සඳහන් කළ යුතුය. නිදහස ලැබීමෙන් පසු ඉතිහාසයේ වැදගත්ම ගිවිසුම වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය 1964 හා 1976 ඉන්දියාවේ අගමැතිවරුන් සමග ඇතිකරගන්නා ලද ගිවිසුම් දෙකය. මේ ගිවිසුම් දෙකෙන් කඳුරට ඉන්දීය සම්භවය ඇති ජනතාවගෙන්, 600000 ඉන්දියාව බාරගැනීමටද 375000,  ලංකාවේ පුරවැසි භාවය ලැබීමටද සුදුස්සන් වූහ.

බලලෝභී, දේශපාලනඥයන් විසින් කඩාකප්පල් කරන ලද බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම හා ඩඩ්ලි සේනානායක චෙල්වනායගම් ගිවිසුමද මෙහි සඳහන් කළ යුතුය.

මේ ගිවිසුම සහ යටගියාවෙන් අද මතු වී ඇති ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සොයාගත නොහැකිද?

දිවයින පළාත් 9 කට ඛෙදන ලද්දේ ඉංග්‍රීසි පාලකයන් විසිනි. බටහිර ආක්‍රමණයට පෙර, රටේ තිබූ පළාත් ඛෙදීමේ ක්‍රමය අදට ගැලපේද, නැද්ද යන බව සළකා බැලීම සඳහා සැකිල්ලක් වශයෙන් කරුණු කිහිපයක් ගෙනහැර පාමි.

අවු. 2000 ආසන්න කාලයක් රටේ සීමාවන් වූයේ රජරට හෙවත් පිහිටි රට, මායා රට හා රුහුණු රට යනුවෙන් කොටස් 3 කට ඛෙදීමෙනි. මහවැලි ගෙඟන් හා පිඟාවෙන් මායිම් වූ උතුරු ප්‍රදේශය රජරටට අයත්විය. කළුගඟ හා මහවැලි ගඟ මායිම්කොට දකුණු පළාත හරහා නැගෙනහිර පළාතෙන් විශාල කොටසක් ද සබරගමුව හා ඌව පළාතෙන් කොටස්ද රුහුණට අයත්විය. ඉතිරි ප්‍රදේශය මායා රට නම් වී. මේ රටවල් තුනේ මායිම පිහිටියේ මහනුවර නගරයේ උතුරේ මහවැලි ගඟ හා පිඟා ඔය මුණ ගැසෙන සීමාවේය. දැන් අපි මේ රටවල් තුනේ වර්තමාන ජනානුපාතය හා ජන ජීවිතය දෙසට හැරෙමු. සම්පූර්ණ උතුරු පළාතත් උතුරුමැද පළාතත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයත් මාතලේ හා පුත්තලම් දිස්ත්‍රික්කත් තවත් සුළු සුළු ප්‍රදේශත් පිහිටි රටට අයත්වේ. මේ ප්‍රදේශයේ සිංහල භාෂාව කතා කරන ජනතාවත් දෙමළ කතා කරන ජනතාවත්, සම සමව ජීවත්වෙති.

රුහුණු රටට අයත් ප්‍රදේශයේ සිංහලයන් බහුතරය වන අතර, දෙමළ කතා කරන ජනයාද නැගෙනහිර ප්‍රදේශයේ සුලභව සිටී. මායා රට සිංහල දෙමළ (දෙමළ කතා කරන මුස්ලිම් ජනතාවත් ඇතුළුව) මිශ්‍රව සිටී.

මේ ඛෙදුම් ක්‍රමය අනුව පළාත් ඛෙදෙන්නේ නම් මහනුවර දිවයිනේ අගනුවර කළ හැකිය. ඉන්දියාවේ නවදිල්ලිය හා ඔස්ට්‍රේලියාව කැන්බරා මෙන් අගනුවර රාජධානි කලාපය වශයෙන් පිළිගත හැකිය. මහනුවර නගර සීමාවට පල්ලෙකැලේ, ගුරුදෙනිය, ඊරියගම සහ කටුගස්තොට ප්‍රදේශ එක්කොට ගත්විට රාජධානිය පළාත් 3 ටම අයත්වේ.

සිංහල හා දෙමළ දිවයිනේ සමතැන් ගන්නා රාජ්‍ය භාෂාවන් අතර සිංහල ළමුන්ට දෙමළත් දෙමළ ළමුන්ට සිංහලත් ඉගෙනීම අනිවාර්ය වන අන්දමින් අධ්‍යාපනය සකස්විය යුතුය. මීට අමතරව ඉංග්‍රීසි හෝ තෙවෙනි භාෂාවක් ඉගැන්වීමද කළ හැකිය.

මේ කන්ද උඩරට රාජධානිය බිඳ වැටී අවු. 205 ක් 2019 ට ගතවිම නිමිත්තෙනි.

#කන්දඋඩරටරාජධානිය #මහනුවරඓතිහාසිකමගුල්මඩුව

Scroll to Top