කාලයක් ලංකාවේ විශාලතම තනි දේශපාලන පක්ෂය බවට පත්ව තිබූ, තනි පක්ෂයක් ලෙස පාර්ලමේන්තුවේ හයෙන් පහක අති විශාල බලයක් හිමිකරගත් එකම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය අද මහලු කුල කාන්තාවක් වැනිය.
සිරිකොත පක්ෂ මූලස්ථානය හරියට ගරා වැටීමට ලක්වු පැරණි වලව්වක් සේය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අගහිඟකම් වසාගැනීමට උත්සාහ ගන්නා කළමනාකාරීත්වය දකින අයෙක්ට සිහිවන්නේ මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළියේ එන මාතර හාමිනේය. කොතරම් අගහිඟකම් පැවතියත් තමන්ගේ කුල මාන්නය නිසා අගහිඟකම් ලෝකයෙන් වසා ගැනීමට උත්සාහ ගන්නා මාතර හාමිනේත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ කළමනාකරීත්වයත් අතර වෙනසක් නැති සේය.
මාතර හාමිනේ කුල මාන්නයෙන් තමන්ගේ අග හිඟකම් වසා ගත්තද සිරිකොතට තමන්ගේ අගහිඟකම් වසා ගැනීමට හැකියාවක් ලැබී නැත. ඒ සිරිකොත සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයකට අද පත්ව තිබීම නිසාය.
වරක් එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටියදී සිරිකොත පක්ෂ මූලස්ථානයේ විදුලි බිල්පත් ගෙවීමට නොහැකිවීම නිසා විදුලිය විසන්ධි කර තිබුණි. එම බිල්පත් ගෙවා තිබුණේ එවකට පක්ෂයේ මන්ත්රීවරයෙක්ද වූ ප්‍රකෝටිපති ව්‍යාපාරික දයා ගමගේය.
ඔහු පක්ෂයේ ජාතික සංවිධායක ධුරයටද පත්වූ අතර සිරිකොත නඩත්තුවටද ඔහුගේ දායකත්වය දුන්නේය. පක්ෂයේ තනතුරු සඳහා පැවැති නිලවරණවලට ඉදිරිපත් වූ දයා ගමගේගේ ප්‍රධාන තේමාව වූයේ ලයිට් බිලවත් ගෙවා ගන්නට බැරිව තිබූ සිරිකොත නඩත්තු කළේ තමා බවය.
දයා ගමගේ පමණක් නොව ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෝ දේශපාලන පක්ෂ නඩත්තුවට තම පසුම්බියෙන් මුදල් දෙන බව ප්‍රසිද්ධ කතාවකි.
ඒ අතින් බලන විට කාලයක් ලංකාවේ ව්‍යාපාරික පැළැන්තිය සිටියේ එජාපය සමගය. එහෙත් දැන් එසේ නැත. එජාපයට එසේ වී ඇත්තේ ඇයි?