ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට වසරක් පිරෙන විට සහල් වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය නිකුත් කල ගැසට් නිවේදන ප්‍රමාණය 05 කි. එහෙත් වෙළදපොලේ රජය නියම කර ඇති මිලට සහල් නම් තාමත් නැත. යහපාලන රජය 2015 වසරේ සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ ගෙවුණු වසර පහ තුළ සහල් වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය හරහා ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදන සංඛ්‍යාව පහකි.
ගෝඨාභය රාජපක්ෂ රජය එක් වසරක් තුළ දී එම සංඛ්‍යාව සමාන කිරීමට සමත් වී ඇත. ඉදිරියටත් සිදුවනුයේ පසුගිය වසරක කාලය තුළ සිදුවූවා වූ ආකාරයම නම් 2025 වන විට සහල් වෙනුවෙන් ගැසට් නිවේදන 25ක් නිකුත් වුවද ජනතාවට එය පුදුමයක් නොවනු ඇත.
ඒ අනුව ගැසට් නිවේදන 5කින් පසුව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නව රජය සහල් වෙළඳපොල තුළ අතරමංවී ඇති බව පැහැදිලිය. මේ ගෝඨාභය රාජපක්ෂ රජය සහල් වෙළෙඳපොළතුළ අනාථ වීමට බලපානලද කරුණු පිළිබඳව කරන පැහැදිලි කිරීමකි.
ශක්ති ව්‍යපෘතිය – 2019
2020 වසරට ( ලක්ෂ 50යි) වඩා 2019 වසරේ අස්වැන්න මෙට්ට්‍රික් ටොන් ලක්ෂහතරකින් අඩුය. ( ලක්ෂ 46 ) . 2019 වසරේ යහපාලන රජය ගෙදර යන දිනය දක්වා ලංකාව තුළ සහල් මිල හෝ සහල් සැපයීම සම්බන්ධව කිසිදු ගැටළුවක් නොතිබූ අතර වී මිල පහළ යාම සම්බන්ධයෙන් ද කිසිදු චෝදනාවක් රජයට නොතිබුණි.
ඒ අනුව වී ගොවියාත් සහල් පාරිභෝගිකයාත් තෘප්තිමත් වන ලෙස වෙළෙඳපොළ හැසිරවීමට 2019 වසරේ දී ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමාගේ උපදෙස් මත ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ ශක්ති සහල් ව්‍යාපෘතියට හැකි විය .
2017 වසරේදී ලංකාවේ වී නිෂ්පාදනය පැවැති නියඟය හේතුවෙන් විශාල වශයෙන් අඩාල විය. රිෂාඩ් බදුර්දින් සහ පී හැරිසන් යන අමාත්‍යවරුන් අනවශ්‍ය පරිදි සහල් තොග ආනයනය කිරීම නිසා දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට යන එන මං නැතිවිය..
බැංකු ණය ගෙවාගත නොහැකිව එක් මෝල් හිමියකු සිය දිවි නසා ගන්නා ලදී. 2000 වසරේ සිට ක්‍රියාත්මක වූ රජයන් වල අදූරදර්ශී වැසටහන් නිසා ගතවූ දශක දෙකක කාලය තුළ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ගණන 2000 සිට 700 දක්වා පහත වැටී තිබුණි පැවති රජයන් සියල්ලක්ම මහා පරිමාණ මෝල් හිමියන් කීපදෙනා සංවර්ධනය කිරීමට උත්සාහ කළා මිස කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියා ආරක්ෂා කිරීමට පියවර ගෙන නොතිබිණි.
2018 වසර වන විට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මුහුණ පා සිටි ගැටලු
1 – බැංකු ණය වාරික ගෙවා ගත නොහැකිවීම
2- තම සහල් මෝල පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් කාරක ප්‍රාග්ධනයක් නොමැති වීම (- අසාදු ලේඛන ගත ව ඇති බැවින් තවදුරටත් බැංකු ණය ලබාගත නොහැක)
මෙම ගැටළු පිළිබඳව 2018 වසරේදී සමස්ථ ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පැවැති රජය දැනුවත් කළ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා සුදුසු වැඩ පෙළක් සකස් කිරීම ආරම්භ කරන ලදී.
ඒ අනුව අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සහල් මෝල් හිමියන්ට එරෙහිව බැංකු විසින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග ( නඩු පැවරීම හා දේපල වෙන්දේසි ) තාවකාලිකව අත්හිටුවීමට රජය ක්‍රියා කරන ලදී.
මීළගට අමාත්‍ය හර්ෂ ද සිල්වා හමුවේ තිබූ විශාලතම ගැටළුව වූයේ මේ අකර්මන්‍ය වී පවතින කර්මාන්තකරැවන්ට කාරක ප්රාග්ධනය සපයන්නේ කෙසේද යන්නයි. ඇතැම් මෝල් හිමියන් බැංකු විසින් කර්මාන්තයේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් ලබා දුන් ණය මුදල් භාවිතා කර තිබුණේ අධි සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගැනීමට සහ දැවැන්ත මාලිගාව ඉදි කිරීමට විය.
තවත් මෝල් හිමියන් කීපදෙනෙක් එකම වී තොගය බැංකු දෙකකට උගස්කර ණය ලබාගෙන තිබුනි. ඒ අනුව යලිත් බැංකුවලට නම් එම මෝල් හිමියන්ට යළිත් ණය ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට රජයට හැකියාවක් නොතිබිණි.
ඒ අනුව සහල් මෝල් හිමියන්ට තනි තනිව බැංකු ණය ලබා දීම අවදානම් සහගත ක්‍රියාවක් බවත් වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගය වනුයේ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික් මට්ටමින් සමුපකාර ගතකර , එම සමුපකාර සමිතියට රජය මගින් කාරක ප්‍රාග්ධන ණය මුදලක් ලබාදී සමිතියේ කළමනාකාරිත්වය මගින් සහල් මෝල් කළමනාකරණය කිරීමත් ඒ හරහා ලැබෙන ආදායමෙන් සහල් මෝල් හිමියන් ගේ හිඟහිටි බැංකු ණය වාරික ගෙවීම සුදුසු බවටත් තීරණය විණි.
පොළොන්නරුව , අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල, මහනුවර, මඩකලපුව, අම්පාර, හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුල සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සමිති පිහිටවූ අතර එම සියලුම සමිති ආවරණය කරමින් රේඛීය සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සංගමය පිහිටුවන ලදී.
ශක්ති වෙළද නාමයේ අයිතියත් සියළු දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිති නියාමනය කිරීමත් මෙම සංගමයට පැවරිණි. 2019 මාර්තු මස අගදී මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන දහසක් මෙම සමුපකාර සමිති 8 සඳහා කාරක ප්රාග්ධනය වශයෙන් වෙන් කළ අතර 2019-04 මස සිට ව්‍යාපෘතිය ආරම්භ විය.
මෙම ව්‍යාපෘතිය මගින් සිදු වූයේ සමුපකාර සමිතිය විසින් මිලදීගෙන ( අවම වී මිල රජයේ සහතික වී මිල ) තම සාමාජික සහල් මෝල් හිමියන් මගින් සහල් බවට පත්කර රජයේ රජයේ උපරිම සිල්ලර මිලට යටත්ව සහල් තොග වෙළඳපොලට සැපයීමයි.
සහල් මෝල් හිමියන් විසින් නිෂ්පාදනය කරනු ලබන සහල් වෙනුවෙන් සමූපකාර සමිතිය ඇඹරුම් ගාස්තුවක් මෝල් හිමියාට ගෙවූ අතර එම ආදායමෙන් මෝල් හිමියා ගේ මාසික බැංකු ණය වාරික ගෙවීම් සිදු විය.
මෙම ව්‍යාපෘතිය ප්‍රධානතම සමුපකාර සමිතිය වනුයේ සහල් මාෆියාවේ අගනුවරවන පොලොන්නරුවේ පිහිටුවා ඇති දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතියයි.
සමිතිය වී මිලදී ගැනීම් ආරම්භ කරන විට වෙළෙඳ පොළේ සම්බා වී කිලෝවක මිල රු 35.00 කි. සමිතිය රුපියල් 41 බැගින් වී මිලට ගැනීම ආරම්භ කළ පසු වෙළඳපොලේ වී මිල රුපියල් 41 දක්වා සති දෙකක් ඇතුළත දී ඉහළ ගොස් ඇත.
එසේම එම සමිතිය සහල් තොග අලෙවි කිරීම් ආරම්භ කරන විට වෙළදපොලේ සම්බා සහල් කිලෝවක මිල රුපියල් 115 ඉක්මවා ගොස් තිබූ අතර එම මිල සතියක් ඇතුළත දී රුපියල් 85 දක්වා අඩුවී ඇත.
ව්‍යාපෘතියේ මාර්ගෝපදේශණ කඩකරමින් පළාත් සමුපකාර නිලධාරීන්ගේද සහය මත හම්බන්තොට සහ කුරැණෑගල සහල් මෝල් හිමියන් වංචනික කටයුතු කිරීම නිසා එම සමිති දෙක ව්‍යාපෘතියෙන් තාවකාලිකව බැහැර කිරීමට අමාත්‍යංශයට සිදු විය.
විශේෂයෙන්ම මෝල්හිමියෙකුගේ සියදිවි නසා ගැනීමක් වාර්තා වූ හම්බන්තොට දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමිතියට ලබා දුන් මුදල එම සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු අවභාවිතා කර තිබුණි.
අවම වශයෙන් සියදිවි නසාගත් මෝල්හිමියාගේ ව්‍යාපාරය සදහා වී කිලෝ සියයක් වත් ලබා දීමට ඔවුන් කටයුතු කර නොතිබූ අතර, එම පුද්ගලයින් පසුගිය මැතිවරණ වලදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂ ප්රබලයෙකු වෙනුවෙන් සේවය කර ඇත.
ව්‍යාපෘතිය ආරම්භයේ දී එනම් 2019 අප්‍රේල් මස සිට දෙදහස් 2019 ඔක්තෝබර් දක්වා සමිති විසිනි ගොවීන්ගෙන් වී මිලදී ගනු ලැබූ අතර ඔක්තෝම්බර් මස සිට වී අලෙවි මණ්ඩල සතු ව තිබූ වී තොගය සහ බවට පත්කර කරමින් ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක විය.
එම කාලය තුළ ලංකාවේ සහල් මිල නාඩු 80 /= සහ සම්බා රු 85/= පැවතිනි. ව්‍යාපෘතියට දිනකට සහල් කිලෝග්‍රෑම් ලක්ෂ පහක් දක්වා වෙළඳපොළට සැපයීම්ට හැකියාව තිබූ අතර එය ලංකාවේ ප්‍රධානතම මහා පරිමාණ සහල් මෝලේ ධාරිතාවයට සමාන විය.
රාජ්‍ය අනුග්‍රහයත්, ධාරිතාවයත්, සහල් තොග වල ප්‍රමිතියත් ,ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ උපක්‍රමශීලීත්වයත් හේතුවෙන් මෙම ව්‍යාපෘතියට මහා පරිමාණ මෝල් හිමියන්ගේ මාෆිය ක්‍රියාකාරීත්වය බොහෝ දුරට අඩපණ කිරීමට හැකි විය .
2019 ජනාධිපතිවරණයෙන් සතියකට පසු මෙම ව්‍යාපෘතිය නවතා දැමීම ඉහළ අණකින් සිදු වූ අතර ඉන් සති කිහිපයකට පසු එනම් 2019-12-19 දින නව රජයේ පළමු සහල් ගැසට්ටුව නිකුත් කරමින් සහල් මිල රු 98.00 දක්වා ඉහල දමමින් ගැසට් නාටකය ආරම්භ කරන ලදී.
ආණ්ඩු පෙරළියත් සමගම ව්‍යාපෘතියේ ප්‍රධානතම සමිතිය වන පොළොන්නරැව දිස්ත්‍රක් සමිතිය ආණ්ඩු පක්ෂයේ රාජ්‍ය අමාත්‍ය වරයෙකුගේ (පසුගිය කාලයේ හාල් මාෆියාවට එරෙහිව ව්‍යාජ රංගනයක් කල ) හෙන්චයියන් විසින් උතුරැ මැද සමුපකාර කොමසාරිස්වරියගේ ආශිර්වාදය මත අත්පත් කරගන්නා ලදී.
අද සහලේ අර්බුදය හමුවේ ආණ්ඩුවේ යම් මැති ඇමැතිවරු මෙම මාෆියාව මර්දනය කිරීම සඳහා රජය විසින් සහල් මෝල් ඉදි කල යුතු යැයි යෝජනා කරන විට පෙර රජයේ ආචාර්ය හර්ෂ ද සිල්වා තිබූ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් නිසි පරිදි කළමනාකරණය කරමින් සහල් මාෆියාව මර්දනය කර තිබූ බව නොදැන සිටීම හාස්‍යට කරුණකි.
2019 ජනාධිපතිවරණ උණුසුම
2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ සහල් මෝල් හිමියන්ගේ සංගමය බිහිවිය. එම සංගමයේ ප්‍රධානතම පොරොන්දුවක් වූයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වූ සැනින් මෝල් හිමියන්ගේ ණය කපා හරිනු ලබන බවයි .
කුඩා මෝල් හිමියන්ගේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 15 ඉක්මවයි.. ඒ අනුව කුඩා මෝල් හිමියන් කල්පනා කළේ සහල් නිෂ්පාදනය කර ඒ ලැබෙන ආදායමෙන් ණය ගෙවීම් වෙනුවෙන් සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙනවාද එසේත් නැත්නම් නිකං ඉද ණය කපා ගැනීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය ලබා දෙනවාද යන්නයි.
මෝල් හිමියන්ගෙන් අතිබහුතරය නිකං ඉද තම බැංකු ණය කපා ගැනීම වෙනුවෙන් 2019 නොවැම්බර් 16 වන දින පොහොට්ටුව ඉදිරියේ තම කතරය ගැසූ බව සුප්‍රකට කරුණකි. ඒ අතරම මහා පරිමාණ මෝල් හිමියන්ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත මුදලක් වියදම් කරන්නට විය.
ණය කපා ගැනීමේ සිහිනයෙන් මත් වී සිටි පොදුජන පෙරමුණේ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සම සභාපතිවරයා බව කියන පුද්ගලයා 2019 වසරේ දෙසැම්බර් විසි දෙවන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රජය මෝල් හිමියන්ගේ සියලු ණය කපා හැරි බව ප්‍රකාශ කළ මුත් අද වනතුරු රජය එවන් තීරණයක් ගෙන නොමැත. ණය කපා ගැනීමේ උත්සාහයට ශක්ති ව්‍යාපෘතිය බාධාවක් බව පොදුජන පෙරමුණේ මෝල් හිමියන්ගේ සංගමයේ , මහා මෝල් හිමියෙකුගේ ඉත්තන් බවට පත්ව සිටින ප්‍රධානීන්ට ඒ වනවිට ඒත්තු ගොස් තිබුණි.
ඒ අනුව ශක්ති සහල් ව්‍යාපෘතිය නවතා දැමීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට බොරු පෙත්සම් ටොන් ගානක් යවා ලණුව දෙනු ලැබුවේ එතුමාගේ මෝල් සංගමය විසිනි. ( ශක්ති සුදු අලියෙක් කියූ නිදහස් ව්‍යපාරිකයකු හැදීමට ගිය ඔවුන් දැන් යළිත් සමූපකාර විෂයභාර අමාත්‍යතුමා පිටුපස යයි. ) ඒ සමඟම ශ්‍රී ලාංකීය සමුපකාර ඉතිහාසයේ නිෂ්පාදන සමුපකාරයක් විසින් ක්‍රියාත්මක කරන ලද සාර්ථකම ව්‍යාපෘතිය වන ශක්ති සහල් ව්‍යාපෘතිය , සියෙස්ටා වෙළඳ නාමයෙන් පසු ලංකාවේ සමූපකාර සමිතියක් විසින් ගොඩනඟන ලද ජාතික මට්ටමේ එකම වෙළඳ නාමය වන ශක්ති වෙළඳ නාමයත් සමග අවසන් ගමන් යන ලදී.
නව රජයේ ප්‍රථම සහල් ගැසට්ටුව – 2019- 12-19
2019-12-19 නව රජය සහල් මිල වෙනුවෙන් නව මිලක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ සම්බා සහ නාඩු සහල් වර්ග දෙකම විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් අනූ අටක් ලෙසිනි.
යහපාලන රජය විසින් 2019-05- 31 දින ප්‍රකාශයට පත් කර තිබූ නාඩු රුපියල් 80 යි හා සම්බා 85 යි යන ගැසට් නිවේදනය මෙම නව නිවේදනයත් සමග අහෝසි විය .
2019 මාර්තු මාසයේදී යහපාලන රජය හා කුඩා , මධ්‍ය , මහා යන සියලු පරිමාණ සහල් නිෂ්පාදකයන් සමග සහල් මිල සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. එහි දී සහල් මිල සම්බන්ධයෙන් යම් මිල සූත්‍රයක් ගොඩනැඟීමට රජයට හැකිවිය .
එනම් රජයේ සහතික වී මිල මෙන් 2.1 සහල් සිල්ලර මිල විය යුතු බවයි. ඒත් අනුව නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80 ක් වූ අතර සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 85 ක් විය. එම මිල යටතේ 2020 මාර්තු මාසය දක්වා සහල් මිල පවත්වාගෙන යාමට සියලු පාර්ශවයන් එකඟ විය.
එම එකඟතාවයන් පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදැක්වූ රාජපක්ෂ රජය දෙසැම්බර් මාසයේදී සහල් මිල රුපියල් 18 ඉහළ දැමීම මහා පරිමාණ මෝල් හිමියන්ට ලබාදු දුන් ලොතරැයි වාසනාවක් විය. ඒ වන විට වී තොග තිබුණේ ගොවීන් සතුව නොව මහා මෝල් හිමියන් සතුව ය.
80 සහ 85 යන සහල් මිල ඉලක්ක කර ගනිමින් වී මිලට ගත් මහා පරිමාණ මෝල් හිමියන්ට රු 98/= සහල් මිල නිසා තවත් කෝටි ගණනාවක අතිරේක ලාභයක් ලබා ගැනීමට අවස්ථාව උදාවිය.
එය ඔවුන් ජනාධිපතිවරණය වෙනුවෙන් කරන ලද කැප කිරීමට ලැබුණු ත්‍යාගයකි .
නව රජයේ සහතික වී මිල
2020 මහ කන්නය සඳහා නව රජය විසින් නව සහතික වී මිලක් ප්‍රකාශයට පත් කළ නමුත් ඊට සාපේක්ෂව සහල් මිල යාවත්කාලීණ නොවිණි.
වී වර්ගය | සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වී මිල | රජයේ සහතික වී මිල | සහල් මිල | මිල සූත්‍රය | 2.1.සූත්‍රය
අනුව තිබිය යුතු සහල් මිල |
නාඩු | 52/= | 50 | 98/= | 1.96 | 105/= |
සම්බා | 57/= | 50 | 98/= | 1.96 | 105/= |
කීරි සම්බා | 63/= | 50 | – | – |
වී වර්ගය | අක්කරයක සාමාන්‍ය අස්වැන්න |
නාඩු | 2200 |
සම්බා | 2000 |
කීරි සම්බා | 1800 |
නාඩු, සම්බා හා කීරි සම්බා යන වී වර්ග තුනටම රජය ලබා දුන්නේ එකම වී මිලකි.. මේ නිසා ගොවීන් වැඩි වශයෙන් නාඩු වී වගාව කිරීමට පමණක් යොමු වූ අතර එම නිසා වෙළඳපොල තුළ සම්බා, කීරි සම්බා වී තොග හිඟ විය.
2020-04-10 සහල් මිල අඩු කිරීම
කොරෝනා වසංගතයේ හේතුවෙන් මේ වන විට මුළු රටම ලොක්ඩවුන් කර තිබූ පසුබිමක ජනතාව තිරිඟු පිටි ආහාර වලින් ඈත්ව සහල් පරිභෝජනය කිරීම නිසා සහල් ඉල්ලුම වෙනදාට වඩා ඉහළ ගොස් තිබුණි. එසේම සහල් මෝල් උපරිම ධාරිතාව යුතුව ක්‍රියාත්මක නොවීම නිසා වෙළඳපොල තුළ සහල් හිඟයක් මෙන්ම එනිසාම සහල් මිල ඉහළ යාමක් ද සිදුවීය.
මේ තත්ත්වය නිසියාකාරව වටහා නොගත් රජය, 65 පරිප්පු සහ 100 සැමන් සදහා රුපියල් 90 දක්වා සහල් මිල පහත හෙළීමත් කීරි සම්බා සහල් සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට උපරිම සිල්ලර මිලක් පැනවීමත් නව රජය සහල් අර්බුදයක් නිර්මාණය කර ගැනීම සඳහා වෙළෙඳපොළ පිළිබඳව අවබෝධයකින් තොරව ක්‍රියා කළ තවත් අවස්ථාවක් විය.
නූතන දේශීය සහල් කර්මාන්තයේ පියාවන නිපුන සහල් අධිපති සිරිපාල ගම්ලත් මැතිතුමා මේ වෙළෙඳපොළ තත්ත්වය පිළිබදව රජයට පැහැදිලි කරදීමට උත්සාහයක් ගත් නමුත් එය තේරුම් ගැනීමට රජයේ කිසිවකුට අවශ්‍යතාවයක් නොවීය.
වතුර බේරෙන සහල් ඇසුරුම් කර වෙළඳපොලට සපයන කිසිදිනක කීරි සම්බා සහල් නිෂ්පාදනය කර නොතිබූ කුඩා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකුගේ අමනෝඥ උපදෙස් නිසා රජය කීරි සම්බා සඳහා පැනවූ රුපියල් එකසිය විසි 125 ක උපරිම සිල්ලර මිල ඇත්ත වශයෙන්ම විහිළුවක් විය.
2020-05-28 සහල් මිල වැඩි කිරීම
මීට ඉහතදී රුපියල් 90 දක්වා සහල් මිල අඩු කිරීම සාර්ථක පිළියමක් නොවන බව ඩඩ්ලි සිරිසේනගේ ප්‍රතිචාරයත් සමග තේරුම්ගත් රජය මෙදින නාඩු 96/= දක්වා සහ සම්බා රු 98/= දක්වා ඉහල දැමූ මුත් යලිත් සහල් කර්මාන්තයේ ළදරුවකුගේ උපදෙස් මත කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 120 දක්වා පහත හෙලීය.
නිසි ප්‍රමිතියෙන් යුතුව කීරි සම්බා සහල් නිෂ්පාදනය කිරීමේදී වසරක පමණ කාලයක් වී තොග ගබඩාවේ රඳවා තබාගත යුතුය.
වී කිලෝවක් වෙනුවෙන් මාසිකව සත පනහක පමණ මුදලක් බැංකු පොලී වශයෙන් වැයවේ. ඒ අනුව රුපියල් 50ට මිලදී ගත් වී කිලෝවක් වසරකට පසු සහල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා විට රුපියල් පනස් හයක් පිරිවැය වී ඇත.
2020-07-23 වී තොග / සහල් තොග සත්ව ආහාර සඳහා ලබාදීම අත්හිටුවීමේ ගැසට් නිවේදනය
මහවැලි කලාපයන්හි යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම වෙන වසරවලට වඩා සති හයක් කලින් සිදුවිය. අගෝස්තු හා සැප්තැම්බර් මාස වල දී වෙළඳපොළට වෙනදා පැමිණෙන යල කන්නයේ වී අස්වැන්න මෙම වසරේදී ජුලි සහ අගෝස්තු මාසවලදී වෙලද පොලට ලැබුනි.
මෙම වී තොග මිලට ගැනීම වෙනුවෙන් රජයට කිසිදු යාන්ත්‍රණයක් නොතිබූ අතර වෙළෙඳපොළ අතිරික්ත වී තොග සත්ව ආහාර ලෙස සකස් කර අලෙවි කිරීමට මෝල් හිමියන්ට සිදුවිය.
වෙළෙඳපොළ තත්වයන් සම්බන්ධයෙන්ව හරිහමන් දැනුමක් තිබූ එක් ඇමති ඇමතිවරයෙකු හෝ මෙම රජයේ හිටියේ නම් ගැසට් නිවේදන ගසා වී සත්ව ආහාර ලෙස ලබා දීම අත්හිටුවීම දක්වා ප්‍රශ්ණය දුරදිග නොයනු ඇත. කළ යුතුව තිබුණේ අදාළ වී තොග රජයට මිලට ගැනීම වෙනුවන් යාන්ත්‍රණයක් සකස් කිරීම හෝ අදාළ වී තොග කඩිනමින් සහල් කර රජය ආරක්ෂිත සහල් තොග ලෙස පවත්වාගෙන යාමයි .
ගැසට් නිවේදන වදින විට යල කන්නයේ අස්වැන්නෙන් 25% අධික ප්‍රමාණයක් සත්ව ආහාර ලෙස යොමු කොට අවසන් කර තිබුනි.
එසේත් නොමැති නම් සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය වෙනත් ධන්‍ය ආදේශකයක් අදාල පාර්ශවයන්ට ලබාදී තිබුණේ නම් ඔවුන් කිසිදු අවස්ථාවක සහල් තොග සත්තුන්ට කන්න නොදෙනු ඇත
2020-11-04 සහල් තොග මිල ගැසට් නිවේදනය
සෑම වසරකදීම ඔක්තෝම්බර් පහළොවෙන් පසු සහල් මිල ඉහළ යාම ඉතිහාසය පුරාම සිදුව ඇත. යල කන්නය සති හයක් කලින් ආරම්භ වීම්ත් එම වී තොග සත්ව ආහාර ලෙස නිෂ්පාදනය වීමත් නිසා මෙවර සහල් මිල ඉහළ යාම සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ විය.
සහල් මිල ඉහළ යන්නේ කුමන කාරණයක් නිසා ද යන්න තේරුම් නොගත් මේ රජය මෙදින සහල් සඳහා උපරිම තොග මිලක් නියම කරන ලදී. වර්තමාන වෙළඳ අමාත්‍යවරයා ආර්ථික විද්‍යා ආචාර්යවරයෙකි.
ඉල්ලුම් හා සැපයුම සම්බන්ධව ප්‍රවීණ දේශකයෙකි. එහෙත් එතුමා තමන් උගත් ශාස්ත්‍රය මත නොව ගැසට් නිවේදන මත වෙළෙඳපොළ හැසිරවීමට යන්නේ ඇයි යන්න ප්‍රහෙලිකාවකි. මෙම ලිපිය සකස් කරන විට අදාල තොග ගැසට් නිවේදන නිකුත් කර දින දහයකට අධික කාලයක් ගතවී ඇතත් අදත් වෙළඳපොල තුළ රජය කියන මිලට සහල් නැත.
සිදුව ඇත්තේ සහල් මෝල් හිමියන් සහල් නිෂ්පාදනයෙන් ඈත්වීම පමණකි.- රටේ ප්‍රධාන ආහාරය සිල්ලර වෙළදුන් අලෙවි කරන්නේ සගවාගෙනය
රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන්
01- වී අලෙවි මණ්ඩලය
වී අලෙවි මණ්ඩල ඉතිහාසයේ අසාර්ථකම ( නව සහතික මිලක් ප්‍රකාශ කල පසු ) වී මිලදී ගැනීම් සිදු වූයේ මේ 2020 වසරේය .
මහ කන්නයේදී වී මෙට්‍රික් ටොන් 25000න් සීමා වීමට මණ්ඩලයට සිදු විය. 2019 වසරේදී රු 38/= ට වී ටොන් 50000 මිලට ගත් වී අලෙවි මණ්ඩලයට 2020 වසරේදි රු 50 බැගින් හමුදා සහය මත මිලට ගත් හැකි වූවේ 2019 සාපේෂ්ව 50% කි.
ඒ අන් කිසිවක් නිසා නොව වී අලෙවි මණ්ඩලයට රුපියල් 50 බැගින් වී මිලට ගන්නට කියූ රජය දිස්ත්‍රික් ලේකම්වරුන්ට රුපියල් පනස් හතර බැගින් වී මිලට ගන්නට උපදෙස් ලබාදී තිබූ බැවිනි.
02 – දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ වී මිලදී ගැනීම
රජයේ ප්‍රමිතිය අනුව වී වල තෙතමනය 14% කි. රජය සහතික වී මිල ප්‍රකාශයට පත්කරනුයේ ප්‍රමිතියෙන් යුතු වී තොග වලට ය. මුදල් අමාත්‍යංශයේ වැඩසටහනක් අනුව මෙවර තෙතමනය 22% වන වී , රු 44/= මිලට ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට සිදුවිය.
22% තෙතමනය වන වී කිලෝවක් 14% දක්වා වේලීමට ලක්කර ගබඩා කළ යුතුය. නැත්නම් වී තොග විනාශ වේ. 22% සිට 14% දක්වා තෙතමනය ඉවත් කිරීමට වී වියලන විට කිලෝවකින් ග්‍රෑම් 125ක් තෙත බර ඉවත් වේ. ඒ අනුව රජය ඇත්තවශයෙන්ම දිස්ත්‍රික් ලේකම්වරු හරහා රු 44 බැගින් මිලට ගනු ලැබුවේ වී කිලෝවක් නොව ග්‍රෑම් 875 කි.
එම වී තොග වේලීම වෙනුවෙන් තවත් රුපියල් හතරක් රජය වැය කල අතර මේ වැඩසටහන අනුව වී කිලෝවක පිරිවැය 54.28 විය.
රජය රුපියල් හතලිස් හතර බැගින් තෙත වී මිලට ගන්නා විට පුද්ගලික අංශයට ද 44 බැගින් තෙත වී මිලට ගන්නට සිදුවූ අතර වේලූ පසු වී කිලෝවක පිරිවැය රු 53.00 විය.
දිස්ත්‍රික් ලේකම් වරු සතු වී තොග සහල් බවට පත්කිරීම
දිස්ත්‍රික් ලේකම්වරු සතුව පැවතුනේ රජයේ ආරක්ෂිත වී තොගයකි. ආරක්ෂක තොගයක් වෙළඳපොළට නිකුත් කළ යුත්තේ හිගයක් පවතින අවස්ථාවක ය .
ඒ වෙනත් රටවලය. ලංකාවේ සිදුවූයේ එහි අනෙක් පැත්තය. වසරේ ජුනි, ජුලි අගෝස්තු මාස වල දී සහල් තොග මිල රුපියල් 80 – 85 අතර පහල වැටුනු අතර ඉතිං අපේ රටේ මුදල් අමාත්‍යංශ නිලධාරීන් රජයේ ආරක්ෂිත තොගය සහල් බවට පත් කළ යුතු සුදුසුම කාලය ලෙස එම කාලය තීරණය කලහ.
ඒ අනුව අදාල නාඩු සහල් තොග රුපියල් 95 බැගින් ලංකා සතොස ආයතනයට ලබාදුනි. සතොසට එම කාලයෙදී රු 85 බැගින් වෙළඳපොළෙන් සහල් මිලට ගන්නට හැකියාව තිබියදී මේ අපූරු මුදල් අමාත්‍යංශ තීරණ නිසා රු 95 බැගින් සහල් මිලදී ගන්නට සිදු විය.
එම වී තොග රඳවා තිබුනේ කුඩා මෝල් හිමියන්ගේ ගබඩාතුලය. ලැබෙන තොරතුරු අනුව මෙම තොගවලින් කොටසක් මේ වන විට අතුරුදහන්ය. රජයට මුදල් ද වී ද සහල් ද නැත. නමුත් රජයේ නිලධාරීන්ට මේ වැඩසටහන් නියාමනය කිරීම වෙනුවෙන් දිරිදීමනා ලැබී ඇත.
වී අලෙවි මණ්ඩලයේ වි තොග සහල් බවට පත් කිරිමට ප්‍රමාද වීම
ඔක්තෝබර් වන විට වි අලෙවි මන්ඩලයේ වි තොග සහල් බවට පත් කිරීම ආරම්බ කර තිබිය යුතුය. පසුගිය අවුරැද්දේ සහල් අර්බුදයක් නොතිබුණු නමුත් 2019- සැප්තැම්බර් මාසයේදි වි තොග සහල් කිරීමට අදාල තීරණ ජිවන වියදම් කමිටුව ගෙන තිබුණි.
එහෙත් මේ දේශප්‍රේමි ආණ්ඩුව තිරණ ගනුයේ අශ්වයා පැන ගිය පසු ය.මේ සෑම ප්‍රමාද කිරීමක ම ඇත්තේ සහල් ආනයන කොමිස් සුවද ය.
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සහල් නිෂ්පාදන වැඩ වැඩසටහන
සමුපකාර සමිති හරහා සහල් නිෂ්පාදනය කරමින් රටේ සහල් වෙලද පොළ පාලනය කිරීම සඳහා රජය විසින් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 300 ක් වෙන් කර තිබුනි .
මෙම මුදල් භාවිතා කරමින් සහල් වෙළඳපොළ පාලනය කිරීම වෙනුවෙන් මැදිහත් වීම අදාල දෙපාර්තමේන්තුවේ වගකීම නමුත් එය එසේ සිදු නොවීය. ඒ වෙනුවට සිදුවූයේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියෙකු එම මුදල් භාවිතා කරමින් තම පුද්ගලික සහල් ව්‍යාපාරය තර කර ගැනීමට කටයුතු කිරීම පමණකි.
රජයේ අරමුදල් වලින් නිෂ්පාදනය වූ සහල් සෘජුවම සමුපකාර සමිති හෝ ලංකා සතොස ආයතනය වෙත යොමු කළ යුතු උවද අදාල ඉහළ නිලධාරියා එම සහල් තොග ඔහු හරහා අලෙවි කිරීම්ට කටයුතු කරමින් සහල් කිලෝවකින් රුපියල් දෙක තුනක කොමිස් මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇත .
මේ වන විට අදාල රුපියල් මිලියන තුන සීයෙන් මිලියන දෙසීයකට අධික මුදලක් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් පසුවිපරමක් හෝ සිදුකර නොමැත.
අඩුම තරමේ අදාල මුදල් වලින් වී මිලදී ගත්තේ ද යන්න සොයා බැලීමටවත් කිසිදු නිලධාරියෙකු උත්සාහ කර නැත.
අර්බුදයට විසදුම සහල් ආනයනයද
සහල් වෙළෙඳ පොළේ මෙම අර්බුදයට හේතුවනුයේ රජයේ වී මිල රජයේ සහල් සිල්ලර මිල අතර ඇති නොගැලපීමයි.
රජයේ සහතික වී මිල රුපියල් 50 නම් ඊට සාපේක්ෂව සහල් සිල්ලර මිල රුපියල් 105ක් විය යුතු ය. තැත්නම් සහල් නිෂ්පාදකයාටත් තොග හා සිල්ලර වෙළෙන්දාටත් තම වෙළඳාම ගැසට් නිවේදන ඇතුලේ කිරීමට හැකියාවක් නැත.
යල කන්නයේ වී අස්වනු නෙලූ පසු ඔක්තෝබර් මස සිට ජනවාරි දක්වා වී මිල ඉහළ යාම ඉතිහාසය පුරාම සිදු වූ වූවකි. එම කාලය තුල වී කිලෝවක මිල රුපියල් 05 සිට රුපියල් 12 දක්වා ඉහළ ගියා අවස්ථා ඕනෑ තරම් ඇත. මෙවර රජය රුපියල් පනස් හතර බැගින් වී මිලට ගෙන ඇත .
එම රුපියල් පනස් හතරේ මිලේ සිට තවත් රුපියල් හයක් මේ වන විට වී මිල ඉහල ගොස් ඇත. එය සාමාන්‍ය තත්ත්වයකි. රජය රුපියල් පනස් හතර බැගින් වී මිලට නොගත්තේ නම් අද වී මිල වනුයේ රු 56 කි.
රුපියල් 38 සිට රුපියල් 50 දක්වා වී සහතික මිල ඉහළ දැමූ රජය ඊට සාපේක්ෂව සහල් මිල අද වනතුරු යාවත්කාලීන කර නැත. සහල් මිල සූත්‍රය අනුව 2.1 වියයුතු සහල් මිල 1.76 (රජයේ වී මිල 54.25 සහල් මිල 96 ) තබන බන්දුල ගුණවර්ධනලා ඒ මිලට සහල් දෙන ලෙස ගැසට් නිවේදන ගැසූ පමණින් නිෂ්පාදකයාගේ නිෂ්පාදන වියදම වෙනස් වන්නේ නැත.
බන්දුලගේ ගැසට් නිසා වී කිලෝ සීයකින් ලැබෙන සහල් ප්‍රමාණය ඉහළ යන්නේ නැත. බන්දුලගේ ගැසට් නිසා මෝල් හිමියන්ගේ බැංකු ණය වාරික බැංකුව එපා කියන්නේ නැත. බන්දුලගේ ගැසට් නිසා සේවකයින් නිකන් වැඩ කරන්නේ නැත. බන්දුලගේ ගැසට් නිසා පොළොන්නරුවේ සිට කොළඹට සහල් පියඹා එන්නේ නැත.
බන්දුලගේ ගැසට් නිසා රුපියල් සීයට සහල් තොග මිලට ගෙන රුපියල් අනූ හය බැගින් සහල් සිල්ලරට විකුණන්න ද කඩ හිමියන්ට ඔළුවෙ අමාරුවක් නැත. බන්දුලගේ ගැසට් නිසා රුපියල් අනූ හතක් පිරිවැය වන සහල් කිලෝව රුපියල් අනුව දෙක බැගින් තොග දෙන්නට මෝල් හිමියන්ට ඔළුවෙ අමාරුවක් ද නැත.
සහල් මෝල් හිමියාට 5% ක ලාභයක් නොමැති නම් මේ කර්මාන්තය කිරීමෙන් ඵලක් නැත. එසේම තොග වෙළෙන්දාට අවම වශයෙන් රුපියල් දෙකකුත් සිල්ලර වෙළෙන්දාට රුපියල් තුනක ලාභයක් නොමැතිනම් ඔවුන්ට එම ව්‍යාපාර පවත්වාගෙන යා නොහැක මේ තත්ත්වය ගැසට් ඇමතිවරු තේරුම් ගත යුතුය .
සහල් නිෂ්පාදන කර්මාන්ත කරුවන් බන්දුලගේ ගැසට් මේනියාව නිසා අද මුහුණ පා සිටින තත්ත්වය මහා පරිමාණ මෝල් හිමියන් ප්‍රසිද්ධියේ කතා කරන්නේ ද නැත.
ඒ පහුගිය දෙසැම්බරයේ ඔවුන් ලබාගත් රුපියල් 98 මිල නිසා තවත් වරක් සහල් මිල සංශෝධනය කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිය නොහැකි බැවිනි. එසේම දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන පොදුජන පෙරමුණේ මෝල් සංගමය ද කසාය බිව් ගොලුවන් සේය. ඔවුන්ගේ එකම ඉලක්කය ණය කපා ගැනීම ය.
නැත්නම් යලි ණයක් ගැනීම ය. සහල් මිල සම්බන්ධ ගැටලු නැත. කොහොමත් ඔවුන් බැංකු ණය ගෙවීමට ද බලාපොරොත්තුවක් ද නැත
මේ අර්බුදය විසදීමට නම් සහල් ආනයනය කළ යුතු බව එක් මහා මෝල් හිමියකු හා වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කරනු පසුගිය දිනවල දකින්නට ලැබුනි.
සහල් ආනයනය සිදුවුවහොත් වෙළදපොල අහිමි වන්නේ මහා පරිමාණ මෝල් හිමියන්ට නොව කුඩා මෝල් හිමියන්ටය.
බැංකු ණය ගෙවා ගත නොහැකිව අසරණ වන්නේ කුඩා මෝල් හිමියන්ය. එවිට අනාගතයේදි වාසිය මහ මෝල්ලුන්ටය.. වෙළෙඳ ඇමැතිවරයාත් මහා මෝල් හිමියකුත් මේ අර අදින්නේ තවත් කුඩා මෝල් හිමියන් 60/70 ක් වසා දැමීමටය.
ප්‍රශ්ණ යට ගැසීම සදහා සෑම දිස්ත්‍රික්කයකම පොදු ජන පෙරමුණේ මෝල සංගමයේ ප්‍රධානියාට ලංකා බැංකුවෙන් ණයක් ලැබෙනු ඇත.
සහල් ආනයනය ඇමතිවරුන්ට මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට ද කොමිස් ඉල්ලමක් වනු ඇත. ඔවුන් තීරණ ගැනීමේදී රටේ අවශ්‍යතාවය නොව කොමිස් අවශ්‍යතාවය මත තීරණ ගන්නා බව තේරුම් ගැනීමට නම් විගණකාධිපතිතුමාගේ සහල් ආනයනය පිළිබඳ විශේෂ වාර්තාව කියවිය යුතුය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියාක් මෙන්ම මෙම සහල් අර්බුදය ද ධන නිධානයක් කරගත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු ඝෝඨාභය රාජපක්ෂ රජය අමාරැවේ දමා ඇත.
එම නිලධාරීන් ද වසරක් පුරා ආණ්ඩුවට විහිළු කළ පොදු ජන පෙරමුණේ මෝල් සංගමය සමග තවදුරටත් මේ රජය ඉදිරියට යන්නේ නම් 2024 ජනාධිපතිවරණයේදී විපක්ෂ අපේක්ෂකයාට තම මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැඩිය මහන්සි විය යුතු නැත.
රජය විසින් නිර්මාණය කළ අර්බුදය විසදීමට කළයුත්තේ කුමක්ද
කෙටිකාලීන
01- රජයේ වී මිල මත නව සහල් මිල නියම කිරීම ( අනුපාතය 2.1 )
02- රජයේ වී තොග කඩිනමින් සහල් බවට පත්කර ලංකා සතොස හා සමුපකාර සමිති හරහා අලෙවි කිරීම
දිගුකාලීන
01- නාඩු , සම්බා හා කීරි සම්බා වී සදහා සහතික වී මිල වෙන් වෙන්ව නියම කිරීම හා ඒ ඒ ප්‍රභේද වගා කලයුතු භූමි ප්‍රමාණය නියාමනය කිරීම.
02-සෑම වසරකම මාර්තු 1 දින ඉදිරි වසරක කාලය සදහා සහල් මිල තීරණය කිරීම
03- සහල් මිල තීරණය කිරීමේදී ප්‍රමිතිය මත මිල මට්ටම් 3 ක් නියම කිරීම ( ප්‍රමිති කාර්යාංශයේ ප්රමිතීන් අනුව )
04- රටේ සහල් අවශ්‍යතාවයෙන් 65% සපයනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම
05 – රටේ සහල් අවශ්‍යතාවයෙන් 20% ශක්ති ව්‍යාපෘතිය යටතේ පවත්වාගෙන යාම
06- වී අලෙවි මණ්ඩලය නවීකරණය කිරීම ( වී වියලීමේ යන්ත්‍ර ලබා දීම ) හා නිරතුරුව ආරක්ශිත වී තොගය ටොන් 100,000 පවත්වා ගැනීම , රජය වෙනුවෙන් වී තොග රැස් කිරීම වී අලෙවි මණ්ඩලයට පමණක් සීමා කිරීම.
- වී ගොවියාගේ නිශ්පාදන වියදම අවම කිරීම සදහා වැඩි අස්වැන්නැක් ඇති වී ප්‍රභේද හදුන්වා දීම , වී ගොවීන් සදහා ගොවි සංවිධාන මට්ටමෙන් වී වියලීමේ යන්ත්‍ර ලබා දීම,ගොවි යන්ත්‍රෝපකරණ අමතර කොටස් වල මිල නියාමනය කිරිම .
ඩබ්. ඩි. කේ. මුදිත් පෙරේරා
ආරම්භක සභාපති
ශක්ති සහල් ව්‍යාපෘතිය-2019
ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සමුපකාර සංගමය