රට විවෘත කිරීම රටේ ආර්ථිකය සම්බන්ධව ගත හැකි හොඳම තීරණය වුවත් කොවිඩ් සම්බන්ධයෙන් ගත හැකි නරකම තීන්දුවයි. ඒ නිසා කොවිඩ් සම්බන්ධව නරක තතවයක් ඇති විය හැකියි එහි නරකම තත්වයට අපි සූදානම් විය යුතුයි.
වසංගත විද්‍යා අංශය විසින් රෝගය සමාජගතවී නැති බව සනාථ කර නොමැති නිසාවෙන් අපගේ විශ්වාසය වන්නේ දැනටමත් රෝගය සමාජගත වී ඇති බවයි.
එබැවින් ඒහීදී ඇතිවිය හැකි නරකම දේ සඳහා අප සූදානම් විය යුතුයි. තුන්වෙනි රැල්ල පැමිණිමට නම් දෙවැනි රැල්ල අවසන් විය යුතුය. එය අවසන් වී නැහැ. ඉදිරියේදී සිදු විය හැකි නරකම දේ වන්නේ සෑම තැනකින්ම රෝගීන් මතු වීමයි.
නමුත් රජය තමන්ට ගත හැකි හොඳම විකල්පය ගැනීමේදී ජනතාව ලෙස අප ඒ සඳහා සූදානම් විය යුතුයි. අප වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින් ලෙස ඒ සඳහා රසායනාගාර සේවාව සූදානම් කර තැබිය යුතු බව යෝජනා කරනු ලැබුවේ අප්‍රේල් මාසය තුලදීය.
නමුත් එකී යෝජනා සඳහා අවධානයක් යොමු බවක් අපට මේ වනතෙක් පෙනී ගොස් නෑ. අවමයෙන් අප කිසිඳු සාකච්ඡාවකටවත් කැඳවා නෑ. නමුත් එකී යෝජනා අනූව,
1. PCR ධාරිතාව පිළිබඳ ගැටළු ඇති විය හැකි බව අප කීවා. එනිසාම සෑම දිස්ත්‍රික්කයකම එකී පහසුකම් ඇති කල යුතු බව අප යෝජනා කරා. නමුත් අදටත් සමහර දිස්ත්‍රික්ක වල PCR සිදු කර ගැනීමට විධිමත් ක්‍රමවේදයක් නෑ. නිදර්ශක කොළඹ රැගෙන ඒම තුල අනවශ්‍ය ගැටළු ඇති විය හැකියි.
2. ඊට අමතරව සාම්ප්‍රදායික PCR වෙනුවට නවීන තාක්ෂණික ක්‍රමවේද අනූව වේගවත් අයුරෙන් PCR සිදු කීරීම සඳහා නව යන්ත්‍ර ලබා දෙන ලෙස අප ඉල්ලීම් කරා. නමුත් එකී යෝජනා බැහැර කරමින් ලෝක බැංකු ආධාර පවා හරවා යවනු ලැබූ නිළධාරීන් වර්තමාන තත්වය සඳහා වගකිව යුතුයි.
3. ක්ෂේත්රයේ පරීක්ෂණ සිදු කිරීමට ඇති ක්‍රමවේදයන් පිළිබඳවත් අප යෝජනා කරා. එහිදී රසායනාගාර තොරතුරු කළමණාකරණ පද්ධති භාවිතා කිරීමේ හැකියාවත්, රසායනාගාර ක්ෂේත්රය වෙත රැගෙන යාමට ක්ෂණික PCR පරීක්ෂණ යන්ත්‍ර සහිත ජංගම රසායනාගාර ස්ථාපිත කිරීමටත්, ඒ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් අප නිළධාරීන් 100 කගේ බලකායක් සූදානම් බවත් අප පුන පුනා පැවසුවා.
PCR ධාරිතාව ආරක්ෂා කිරීම සඳහා රෝග සුව වූවන් වෙනුවෙන් PCR වෙනුවට ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමටත් අප යොජනා කරා නමුත් මෙතෙක් NMR ආයතනය ඒ සඳහා අනුමැතිය ලබා දී නොමැති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිදේහ ජනක (Antigen) පමණක් ගෙන්වා තිබෙනවා.
අප්‍රේල් මාසයේ ඉදිරිපත් කල පරිදිම අදටත් අපගේ යෝජනාව වන්නේ,
1. මූලික රෝහල් දක්වා විහිදී පවතින රසායනාගාර තුල පවතින ප්‍රතිශක්ති රසායන විද්‍යා (Immonochemistry) ක්‍රමවේද අනූව පරීක්ෂණ සිදු කල හැකි යන්ත්‍ර භාවිතයෙන් කොරෝනා ප්‍රතිදේහ පරීක්ෂාවන් සිදු කිරීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක කට්ටල ගෙන්වා දීම.
2 අවම තරමින් ජංගම රසායනාගාර 10 ක් වත් සූදානම් කර දීම හා ඒ හරහා ක්ෂේත්රයේ PCR පරීක්ෂණ සිදු කිරීම.
3. නවීන තාක්ෂණය සහිත වේගවත් PCR යන්ත්‍ර 3ක් වත් ලබා දීම
4. රසායනාගාර පහසුකම් භාවිතා කල යුතු ආකාරය පිළිබඳ ඇල්ගොරිදමයක් නිර්මාණය කිරීම
5. රසායනාගාර සේවාව ක්‍රියාකාරීව පවත්වා ගැනීම සඳහා රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් සමඟ නිරන්තර සාකච්ඡාවක් ඇති කර ගැනීම.
මේ කාරණා ඉෂ්ඨ වනවා නම් රසායනාගාර සේවාව ලෙස අපි තුන්වන රැල්ලට හෝ ඕනෑම සමාජ ව්‍යාප්තියක් සඳහා සූදානම්.
නමුත් හමුදාව දාල PCR කිරීම වගේ බල්ලගෙ වැඩේ බූරුව කරන්න යෑමෙන් අන්තිමේ දී පයබරවායට පිටකර බෙහෙත් බැන්ද වගේ වැඩක් තමයි වෙන්නේ.
මෙතෙක් අපි PCR කරන්න බෑ කියල නෑ. යන්ත්‍ර වල තියෙන උපරිම කාර්යක්ෂමතාවයෙන් අපි PCR කරල තියෙනවා. ධාරිතාවේ ප්‍රශ්ණ වලට වගකිව යුත්තේ කණමනාකරන බලය අතේ තියාගෙන වැඩ පැහැර හැරී නිලධාරීන්.
එවන් නිළධාරීන් ඉවත් කර හමුදාව දැමීම සාධාරන වෙන්න පුළුවන් නමුත් කිසිඳු අමතර වරප්‍රසාදයක් නොමැතිව ඉතාම කැපවීමෙන් හා උනන්දුවෙන් සීමාරහිතව කටයුතු කරන වෛද්‍ය රසායනාගාර නිළධාරීන්ගේ කටයුතු හමුදාවට බාර දීමට තරම් අපෙන් මඟ හැරීම් සිදුවී නෑ.
කැමතිනම් ජාතික රෝහලේ ක්ෂුද්රජීවී විශේෂඥ වෛද්‍යවරිය වෙනුවට, කුරුණෑගල ක්ෂුඳ්රජීවී විශේෂඥ වෛද්‍යවරිය වෙනුවට හමුදාවේ ක්ෂුද්රජීවී විශේෂඥයින් දැමීම සාර්ථක වෙන්න පුළුවන්. මොකද ඔවුන් තමයි මේ ක්රියාදාමයේ සාර්ථකත්වයට බාධා ඇති වන අයුරින් වගකීම් පැහැර හරිමින් මන්දෝත්සාහීව වැඩකලේ.
ප්‍රතිදේහ පරීක්ෂණ ස්ථාපිත කිරීමේදීත් රජය අනවශ්‍ය අයුරෙන් කටයුතු කර ඇති බවට සමාජ කථිකාවත් පවතිනවා. එක් ව්‍යාපාරික ආයතනයකට පමණක් ටෙන්ඩර් ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳව ජනතාව සැකපහල කරනවා.
ප්‍රතිදේහජනක පරීක්ෂණ ගෙන්වීමේ දීත් එම කලබගෑනීය සිදු කර නොගන්නා ලෙස අප රජයට බල කරනවා. ඒ නිසා කිසියම් නිළධාරියෙකුට ව්‍යාපාරිකයන් ලබා දෙන කොටස ලැබෙන තෙක් නොසිට රජය මැදිහත් වී ප්‍රතිදේහ පරීක්ෂණ ස්ථාපිත කරන ලෙස අපි රජයට බල කරනවා.
අමාත්‍යාංශයට වෛද්‍ය රසායනාගාර විද්‍යාව පිළිබඳ නිවැරදි උපදෙස් ලැබෙන්නේ නෑ. එකී නිවැරදි දැනුම වෛද්‍ය රසායනාගාර වෘත්තිකයා හරහා ලබා ගැනීමට අමාත්‍යාංශය මෙතෙක් කටයුතු කරල නෑ. හිටපු රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වරයා මෙම අවුල් සහගත තත්වයට වගකිව යුතුයි.
රසායනාගාර කර්තව්‍යයන් පිළිබඳ අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන පුද්ගලයන් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර නීත්‍යානූකූල සම්බන්ධයක් ඇති කිරීමට සෘජු බාධා ඇති කරනවා. බොහෝමයක් රසායනාගාර සේවාවේ විශේෂඥ වෛද්‍යවරුන් තමන්ගේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් අමාත්‍යාංශය හසුරුවනවා. ඔවුන් තීරණ ගන්නේ තමන්ගේ ව්‍යාපාරික මිතුරන් සමඟ සහ තමන්ට ලැබෙන මුදල අනූව.
වෛද්‍ය රසායනාගාර විද්යාශ වෘත්තිකයන් හා ඔවුන්ගේ විද්වත් ආයතන වල සහභාගීත්වය සහිත තාක්ෂනික කමිටුවක් හරහා රසායනාගාර සේවාවේ ගැටළු විසඳීම සුදුසු බව අප සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කරනවා. ඒ සඳහා රසායනාගාර සේවාවේ විෂයයන් සම්බන්ධ අනෙකුත් විද්වත් ආයතන වල සහභාගීත්වය ලබා ගන්නා ලෙසත් අපි යෝජනා කරනවා.
කුමන බාධා මධ්‍යයේ හෝ අළුතින් පත් කරනු ලැබූ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වරයාගේ ප්‍රධානත්වය සහිතව මෙම කටයුත්ත ඉටු කරනු ඇතැයි අප අපේක්ෂා සහගතව බලා සිටිනවා.
නමුත් එවන් කිසිවක් සිදු නොවන්නේ නම් ඉදිරියේදීත් විවිධ නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් රසායනාගාර සේවාවේ කඩාවැටීම් සිදුවේවි.
කොරෝනා කෙසේ වෙතත් කුමන හෝ අවස්ථාවක සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ලක් වේවි.
රවී කුමුදේශ්
සභාපති – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ගේ විද්වත් ආයතනය