මුන්දලම පුලිදිවාල් හි කඩොලාන පද්ධතිය විනාශ කළ සැකකරු වහාම අත් අඩංගුවට ගන්නැයි පරිසර අමාත්‍යවරයා පුත්තලම මුලස්ථාන පොලිස් පරීක්ෂකට දැනුම් දෙයි.
මුන්දලම විරුත්තෝඩේ පුලිදිවාල් හි පිහිටි අක්කර 02ක පමණ භූමියක පිහිිට කඩොලාන පද්ධතිය විනාශ කළ බවට ඊයේ ජනමාධ්‍ය විසින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලදී.
මේ සම්බන්ධව අවධානය යොමු කරමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම කාරණය පිලිබඳව මධ්‍යම පරිසර අධිකාරිය හා මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු අදාල අංශ වලින් විමසීමක් කරනු ලැබීය.
මෙම කඩොලාන පද්ධතිය අයත් ඉඩම කිසියම් තැනැත්තෙකුගේ පුද්ගලික ඉඩමක් වන අතර ඔහු විසින් ඉස්සෝ වගාවට යැයි කියමින් එම පරිසර පද්ධතිය කපා ඉවත් කර ඇති බව අදාළ අංශ විසින් තහවුරු කරනු ලැබීය.
දිවයිනේ සියලුම පරිසර නිලධාරින් කැඳවා ඔවුන් තම රාජකාරිය හා වගකීම නිසි පරිදි ඉටු කරන්නේ ද යන්න පිළිබඳව සොයා බලන්නැයි ඇමැතිවරයා, මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය.