Aboutceylon Online

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ඇමෙරිකානු තානාපති පැවසුදේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී.ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

සමස්ත ලෝකයේම ආර්ථිකය අඩාල වී ඇති අවස්ථාවක නිසි ක්‍රියාමාර්ග ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවේ පැසසුම් එක් කරමින් මෙම සාකච්ඡාව ආරම්භ වූ අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අයිතමයන් තවදුරටත් දියුණු කරමින් ගෝලීය වෙළෙඳපොලට ඍජුව සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳවද ඇමෙරිකානු තානාපතිතුමිය විසින් අදහස් දක්වන ලදී.

රොබොටික්ස් තාක්ෂණය දක්වා ඉදිරියට පැමිණ ඇති ශ්‍රී ලාංකේය තාක්ෂණික අංශයේ නව නිපැයුම් සම්බන්ධව අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කරන ලදී. ඊට සමඟාමීව ඇමෙරිකාවේ ඇති තාක්ෂණික හා නව නිපැයුම් අංශ සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කිරීමට ශ්‍රී ලාංකේය සිසුන්ට ඇති හැකියාව පිළිබඳවද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

එමෙන්ම මහපොළ අරමුදල භාර අමාත්‍යවරයා වශයෙන් තවත් සිසු දරුවන් රැසකට ශිෂ්‍යත්ව ලබා සඳහා ඇමෙරිකාවේ සහයෝගය බලාපොරොත්තු වන බවද මෙහිදී අමාතවරයා සඳහන් කළේය.

දෙස් විදෙස් රැකියා වෙළෙඳපොලට සරිලන මෘදුකාංග ඉංජිනේරු වැනි අංශ තුළ ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති දියුණුව පිළිබඳ කරුණු දක්වමින් දෙරට අතර උසස් අධ්‍යාපනය හා ව්‍යාපාරික සහයෝගීතාවක් ඇති කරගැනීමේ යෝජනාවක්ද මෙහිදී ඉදිරිපත් විය.

බලශක්ති උත්පාදනය සම්බන්ධ ව්‍යාපෘති රැසක් පිළිබඳව සාකච්ඡා කරන ලද අතර මෙරට තුළ නිෂ්පාදනය කිරීමට පහසුකම් නොමැති ආකාරයේ උපකරණ අවම බදු ප්‍රතිශතයන් යටතේ ඇමෙරිකාවෙන් ගෙන්වීමේ ක්‍රමවේදයක් පිළිබඳව ඇමෙරිකානු තානාපතිතුමිය විසින් මෙහිදී යෝජනා ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ නිලධාරී ජමල් ජෝන්ස් මහතා ද සහභාගී වී සිටියේය.

Scroll to Top