එක්තරා ධීවරයෙක් තමන්ගේ තෙප්පමෙන් (කුඩා ධීවර යාත්‍රාවන් මුහුදු ගිහින් මාළු ටිකක් අල්ලාගෙන එය විකුණා බොහෝම සන්තෝෂෙන් සුරුට්ටුවකුත් උරමින් ගිමන් හරින විට ඒ අසලට පැමිණි බෝට්ටු මුදලාලි කෙනෙක් මෙසේ ඇසීය. ඇයි මොකද කම්මැලිකමට නිකන් ඉඳගෙන ඉන්නේ, මාළු නැද්දැයි ඇසීය. ධීවරයා කීවේ, “නැහැ… මුහුදු ගිහින් තමා ආවේ… මාළු ටිකක් තිබුණා…” එහෙම නම් ඉතින් මාළු ටික විකුණා ගත්ත නම් මොනවටද බල බල ඉන්නේ. ආයේ මුහුදට ගියා නම් තව මාළු අල්ලා ගන්න පුළුවන්නේ.
“ඇයි මුදලාලි ආයේ මාළු අල්ලන්නේ?” ධීවරයා ඇසීය. “ඇයි මනුස්සයෝ තව මාළු ගොඩක් අල්ලගෙන සල්ලි කරලා ඔබට ලොකු බෝට්ටුවක් ගන්න හැකිනේ…” මුදලාලි කීය.
‘ඇයි ලොකු බෝට්ටු අරගෙන මොනව කරන්නද…?” ධීවරයා ඇසීය.
“ඉතින් ලොකු බෝට්ටුවෙන් දියඹට ගිහින් ලොකු මාළු ගොඩක් අල්ලගෙන සල්ලි ගොඩක් සොයා ගන්න පුළුවනි.”යි මුදලාලි කීය. “සල්ලි ගොඩක් හොයා ගෙන බෝට්ටු තව දෙක තුනක් අරගෙන හොඳට මාළු අල්ලගෙන සල්ලි හම්බ කරගෙන බොහෝම සතුටින් ජීවත් වෙන්න පුළුවන්නේ. ඔබට ඒක තේරෙන්නේ නැති දැ”යි මුදලාලි ධීවරයාගෙන් ඇසීය.
“මුදලාලි සතුටින් ජීවත් වෙන්න එච්චර දුර ගියා. දැන් මම කරන්නෙත් ඒක තමා… ඒක මුදලාලිට තේරෙන්නේ නැහැනේ” කීය.
කුඩා ධීවරයා මාළු ටිකක් අල්ලගෙන ඇවිත් බොහෝම සතුටින් හිටියට මුදලාලි ජීවිතයේ සතුට, සැනසීම සොයන්නට බොහෝ දුර යන්න යෝජනා කළ හැටි, විටක එය මිරිඟුවක් පසු පස්සේ යන ගමනක් හා සමාන බව මතක් කර දෙයි.
නූතන මිනිසාට මෙය කදිම පාඩමකි. දිනක් මැදිවියේ තරුණ මවක් මා මුණ ගැසීමට පැමිණ හැඩු කඳුළෙන් ඇයට සිදුවූ වේදනාව කියන්නට විය. මම අවුරදු 20 දි බැන්දේ. අපි බොහෝම සතුටින් ජීවත් වුණා. අපිට අම්මලාගෙන් ලැබුණු ඉඩම් කෑල්ලේ පොඩි ගෙයක් හදාගෙන ජීවත් වුණා. අපි දෙන්නම සල්ලි හොයා ගමු කියලා මම රට ගියා. මම රට යනකොට දරුවෝ 2 ක් හිටියා. මම කුවේට් ගියා. අවුරුදු 3 ක් හිටියා. මම මාස 2 න් දෙකට සල්ලි එව්වා. ගේ හදා ගන්න. මම දැන් ලංකාවට ආවහම දැන් තියෙන තත්ත්වය හරි භයානකයි. හදපු ගෙයක් නැහැ. අත්තිවාරම දමල එච්චරයි. දැන් මනුස්සයා වෙන ගෙදරක ඉන්නේ. මනුස්සයාගේ වෙනස මට ටික ටික ආරංචි වුණා. ඒත් මම විශ්වාස කළේ නැහැ. දැන් ඒවා ඔක්කොම ඇත්ත. ගෙයක් හදාගෙන ලස්සනට පවුලක් වගේ අපේ දරුවෝ එක්ක ජීවත් වෙන්න හිතාගෙන ගියාට දැන් ගෙයක් නැහැ. පවුලක් නැහැ. ඇගේ ජීවිතයේ දරා ගන්න බැරි වේදනා පොදියක් දිග හරින්නට විය.
අද මිනිසා ළඟ බලන්නේ නැතිව දුර බලන්න උත්සාහ කරන පුද්ගලයෝ වී හමාරය. තමන්ට තිබෙන දෙය තමාගේ හැකියාව, තමන්ට අවබෝධ කර ගන්නට බැරිව, එසේත් නැතිනම් අවබෝධ කර ගන්නේ නැතිව ජීවිතය මහත් කරදර ගොඩක පටලවාගෙන දුක් විඳින තත්ත්වයට පත්වී ඇත. මෙලෙස දුක් විඳින මිනිසාට ආගමික ආගම් කතෘවරු හරි දැක්ම පෙන්වා දී ඇත. සමාජයේ සිදුවීම් තුළින් කතා කරනු ඇත. එනමුත් මිනිසා අන්ධව ජීවිතය කරදර ගොඩක දමාගෙන දුක් විඳියි. මෙය මගේ උරුමය. මේ මගේ කරුමය කියයි.
මිනිස් ජීවිතය අමිහිරි, අසන්තෝෂ, කරදරකාරී දෙයක් නොවේ. තම ජීවිතයේ ඇති වටිනාකම්, හැකියාවන් හා සීමාවන් තමන් හරියට අවබෝධ කර ගන්නේ නම් මිනිසාට මහත් පුදුම දේ මේ මිහිතලයේ කළ හැක.
ජීවිතයේ ලබා ඇති හැකියාවන් දක්ෂකම් අවබෝධ නොකරගෙන මං මුලාවී වෙනත් දෑ පසුපස යන තරුණ තරුණියන් වැඩිහිටියන් අද කොතෙකුත් ඇද්ද. මුහුදු ගිය කුඩා ධීවරයා බොහෝම සතුටින් සන්තෝෂයෙන් තම වේතනය සොයාගෙන සැනසීමෙන් ගිමන් හරින විට එය අවබෝධ නොවී සතුට සැපත සොය සොයා යන මුදලාලි වගේ අය කොතෙකුත්ද?
අද පවුල් ජීවිතවල අවුල් ඇති වෙන්න මූලිකම හේතුව තමන්ට ලැබි තිබෙන දේ හරියට දකින්න බැරිව තමන්ට නොලැබුණු දේවල් රැස් කරන්නට තිබෙන පොරය නිසාය. මේ සැබෑ යථාර්ථයට වෙළෙඳ ලෝකය ද්‍රව්‍ය වාදය, විවෘත ආර්ථික ක්‍රමය, ජනමාධ්‍ය තුළින් තම තමන්ව උසිගන්වන විට නූගත් මිනිසා තමන්ට ලැබි ඇති දේ නොදැක නොපෙනෙන නොලැබෙන මිරිඟුවක් පසුපස්සේ දිවීමට සැරසීම නිසා අද සමාජයේ සාරධර්ම බිඳගෙන මුළු සමාජ පද්ධතියම විනාශයට ලක් වී ඇත. අද අම්මා, තාත්තා, නැන්දා, මාමා, අයියා, අක්කා නාඳුනන සාරධර්ම පිරිහී ගිය යුගයක් උදා වී ඇත්තේ මේ මිරිඟුව පසු පස්සේ දුවන නිසා ය.
බුද්ධිමත් ඔබ නැවතී ටිකක් හිතන්න. ඔබට ඔබේ ජීවිතයේ කොයිතරම් දීමනා හැකියාවන් තිබේද යන්න අවබෝධ කර ගන්න. කඩදාසියක ඒවා එකින් එක සටහන් කරන්න. එවිට ඔබට හැඟෙයි ඔබ කොයි තරම් පොහොසත් කෙනෙක් ද කියා. මුලින්ම මා කී ධීවරයා වගේ, ඔහු සැනසීමෙන් සතුටින් සිටින වග ඔහු පමණයි දැන සිටියේ. මුදලාලිට ඔහුව පෙනුණේ මහා කම්මැලි මිනිසෙක් ලෙසිනි. මුදලාලි ඒ සැපත සතුට සොයන්නට බොහෝ දුර යන්නට සූදානම් වෙන විට ධීවරයා කීවේ “මම දැන් ලබන්නේ ඔබ බොහෝ දුර ගොස් ලබන සතුටයි.” යනුවෙනි.
එලෙස ඔබේ ජීවිතයේ ඔබට ලැබි ඇති දෑ හරියාකාරව තක්සේරු කරන විට ඔබටම වැටහෙයි ඔබට ලැබිය යුතු හැම දෙයක්ම ලැබි ඇති බව. තව ලැබිය යුතු දෙයක් ඉතිරි වී නැති වග දැනේවි.
එවන් ජීවිත පැවැත්මක් ඇතිව තමාට ලැබි ඇති දෑ අගයමින් ප්‍රබෝධවත්, සතුටින් පිරි ජීවිතයට මුහුණ දෙන්න එවිට ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක් වේවි.