Aboutceylon Online

ගෙවල් 09 ක් බිදියි මැදවච්චියේ ජනතාව භීතියෙන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අපි අපේ දරුවන්ගේ ජීවිත බේර ගත්තේ බොහෝම අමාරුවෙන්. සද්ධන්තයා ඇවිත් බිත්ති පෙරලන කොට අපි ගේ ඇතුලේ හිටියේ. දරුවන් මරණ බයේ  වෙවුලනවා. අපි උත්සහා කරන්නේ අපේ දරුවන්ගේ ජීවිත බේර ගන්නයි. අපිට මොනා වුණත් කමක් නෑ.

වල් අලියා පාන්දර ඇවිත් ගේ බිත්ති කඩලා , අපිව මරන්න හදන විට අපිට දැණෙන ගින්දර කාට කියන්නද. අපිට මේ මිනීමරණ , ගෙවල් බිදින, වගා පාලු කරන තනි අලියා මේ ගමෙන් අයින් කරලා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ යැයි ඇටවීරගොල්ලෑව  ගම්මානයේ ජනතාව පැවසූහ.

මේ දිනවල මැදවච්චිය අංක 56 තුලාන ඇටවීරගොල්ලෑව  ගම්මානයේ ජනතාව හට වල් අලි තර්ජන වලට උග්‍ර ලෙස මුහුණ දීමට සිදුව ඇත. අදුර වැටීමත් සමග ගම් වදින් අඩි 10 ක් පමණ උස ඇති තනි අලියා මෙම ගම්මානයේ ගෙවල් 09 ක් මේ වන විට බිද ඇත.  වගා බිම් රාශියක්ද විනාශ කර ඇත.

මීට පෙර මෙම ප්‍රදේශයේ සිටි වල් අලින්ට සාපෙක්ෂව මෙම අලියාගේ හැසිරීමද වෙනස් බව අලි ගැටලුවට මුහුණ දුන් ගම් වැසියන් අප කළ විමසීමේදී පැවසූහ.

මේ වන විට මෙම ගම්මානයට සිවිල් ආරක්ෂන භටයින් දෙදෙනෙකු අලි පැන්නීම සඳහා ගම්මුන් හට සහය දීමට  යොදවා තිබෙන අතර එම අයගෙන් රාජ කාරිය නිසි අයුරින් සිදු නොවන බව ද ගම් වැසියන් කියයි.

මිනිස් ජීවිත බිලි ගැනීමට පෙර මෙම වල් අලියාට විසදුමක් ලබා දිය යුතුයැයි බලධාරින් හට අලි මිනිස් ගැටුමේ වර්තමාන තත්ත්වය  පැහැදිලි කළ  ඇටවීරගොල්ලෑව ගම් වැසියන් ,

ඩී.බී ස්වර්ණා මල්ලිකා,

අපේ දැරුවන් අද විවිධ රැකියාවලට ගිහින් දුක් විදලා හරි හම්බ කළ මුදලින් හදා ගත්ත ගෙවල් දවසින් දවස වල් අලි කඩා බිද දමනවා. පාන්දර 02.30 ට විතර අපි නිදාගෙන ඉද්දි එක පාරට විශාල ශබ්දයක් ඇහුණා. අපි කෑ ගහගෙන ඇහැරුණා. බලද්දි වල් අලියා ඇවිත් ගේ බිත්තිය පෙරලලා දරුවන්ට කන්න දෙන්න ඉතුරු කරගෙන හිටපු වී ටික බොනවා.

අපි බය වෙලා ලමයිනුත් වඩාගෙන මිදුලට පැනලා දුවලයි බේරුණේ. අපිවත් එ අලියා මරණවා. මේවා බලධාරින්ට කිව්වත් ඇස් කන් නොපෙනෙන මිනිස්සු වගේ ඒ අය අරයගෙන් මෙයාට, මෙයාගෙන් අරයට පවර පවර ඉන්නවා. අපිට සාධාරණයක් කරන්න කියලයි අපි කියන්නේ.

ඒ.කරුණාපාල මහතා,

අඩි 10 ක් විතර උස මහා සද්ධන්තයෙන් මේ මෑතක සිට අපේ ගමට අදුර වැටෙනවත් සමගම එනවා. ඇවිත් ගමේ ගෙවල් කඩනවා. බෝග විනාශ කරනවා. වන ජීවි එකෙන් අපිට අලි වෙඩි දෙකක් දෙනවා අලි කරදරයි ගමට කිව්වාම. අපි දාහා බලන්න කිසිම නිලධාරියෙක් නෑ.

මිනිස්සු මැරෙනකම් මේ ඉන්න බලධාරින්ට ඇස් ඇරෙන්නෙත් නෑ. මේ අලි මේ ප්‍රදේශයට ගෙනවිත් දාපු අලි.

මේ අලි හැසිරෙන්නේ අමුතු ආකාරයකට. අද වෙද්දි ගමේ ගෙවල් 09 මේ වල් අලියා බින්දා. ජීවිත හානි සිදු වෙන්න තියෙන ඉඩ කඩ දැන් එන්න එන්නම ලගයි.  මේ අලියා මේ ගමෙන් ඉවත් කලේ නැත්තම් අපි පාරට බහින්න සූදානම් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.

අපි බලධාරින්ගෙන් ඉල්ලන්නේ අපට කැඩුණු ගෙවල් වලට වන්දි දෙන්න. වගාවන් වලට වන්දි දෙන්න. බලධාරින්ගේ අක්‍රමික තා නිසයි අපට මෙහෙම වුනේ. මේ අලියා වහාම මේ ගමෙන් ඉවත් කරන්න කියලයි අපි කියන්නේ.

අප මේ පිළිබඳ මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් රුවන් ඒකනායක මහතාගෙන් විමසීමක් කලා,

අපිට මේ පිළිබඳ මහජනතාව දැණුවත් කළා. මම වන ජීවි එකට කතා කළා. ගමට ඇවිත් මේ වල් අලියා පන්නලා දමන්න කියලා. මේ දින වල හැම තැනම මේ ගැටලුව තියෙනවාලු.

ඒ නිසා පැමිණීමට වාහනයක ගැටලුවක් තියෙනවාලු. මම මගේ පුද්ගලික වාහනයක් දීලා හරි වන ජීවි එකේ නිලධාරින් හවසට ගමට එවන්න කටයුතු කරනවා.

වන ජීවි නිලධාරින් සමග සාකච්ඡා කරනවා මෙයට විසදුමක් ලබා දෙන්න. අපි ජනතාවය සාධාරණය ඉටු කරලා දෙනවා.

Scroll to Top