බලං හිටියා…. හුඟාක් කාලයක්. දන්නවද, දින, සති මාස නොව, අවුරුද්දක් ගෙවිල ගිහිං. අද වෙනතුරුම මං බලං උන්න. මේතරං කාලයක් ඉවසීම කියනෙක තිබුණද කියල මටවත් හිතා ගන්න බෑ. විශ්වාස කරන්න… නුඹ වෙනුවෙන් තවත් බොහෝ කාලයක් වුව බලාන ඉන්න තරං ඉවසීමක් මට තිබුණා, එය නිෂ්ඵල දෙයක් නොවුනා නම්.අහන්න…අද යයි, හෙට යයි කියල මඟ බලං උන්නට නුඹ ගියෙ නෑ. අද මුණ ගැහෙයි, හෙට මුණ ගැහෙයි කියල බලාපොරොත්තුවෙන් දින ගෙවිල ගියාට ඒ කවමදාවත් නුඹ ආවෙ නෑ… මුණ ගැහුණෙත් නෑ.
ඒ ගෙවිල ගිය හැම දවසකම හැම මොහොතකම මගෙ හිත හඬා වැටුණු තරම නුඹ නොව කිසිවෙකුත් දැන උන්නෙ නෑ. දන්නවද නුඹ, මගෙ හිතින් නුඹ මහ හුඟාක් ඈතකට ගිහිං… මේ හිතේ දැන් නුඹ වෙනුවෙන් සෙනෙහසක් නෑ… සත්තකයි.. ඒත්… ඒත්… එකමෙක වතාවකට… පුංචිම පුංචි තත්පරයකට නුඹෙ ඔය මුහුණ බලාගන්න තිබුණ නං… ඇත්තමයි හිනා නොවුනත්, කතා නොකළත්, මං දිහා නොබැලුවත් මං අහිතක් හිතන්නෑ.
දන්නවද, මේ හිතේ දැං නුඹ ගැන අංශු මාත්‍රයකවත් හැඟීමක් නෑ. එහෙම වෙන්න අපි අතරෙ ලෙංගතුකමක්වත් සුහදත්වයක්වත් තිබුණෙත් නෑ. ඒත්… අතීතයේ එක්තරා කාලයකදි මං තනිවම නුඹත් එක්කල කතා කළා… ආදරේ වුනා මහ හුඟාක්… බොහොම පිරිසිදු නොකිලිටි ඒක පාර්ශ්වීය ප්‍රේමයක් එය. ඒත්… එය ප්‍රේමයක් නොව මුලාවක් බව දැනෙනකොට මං හිතින් මහ හුඟාක් දුර ගිහිං. ඒ ආදරයට අරමුණක් අරුතක් නෑ කියල හිතෙද්දි මං මගේ හදවතට පැරදිල අවසානයි.එය ෙදෙවය ද නොලැබිමද කියල මටවත් තේරුම් ගන්න බෑ. වැරදි නුඹ නොව, මමමය.
ඒත්… අහන්න, අදටත් නුඹ හිතට එන හැම මොහොතකම මහා මූසල පාළුවක්, කියා ගන්න බැරි තනිකමක්, හිස් බවක් හිතට දැනෙනව. විශ්වාස කරන්න, ඒ එකදු මොහොතකවත් නුඹ ගැන අහිතක් හිතෙන් නෑ මට. ඇත්තමයි… ඒක පාර්ශ්වික ආදරය කියන්නෙ සදාකාලික දුකක්… වේදනාවක්. ආයෙම වතාවක් ඒ වරද මගෙ අතින් වෙන්නෑ කියල හිතද්දි නුඹ ඇවිත් හිත අස්සෙ පැළ පදියම් වෙන්නෙ ඇයි? ඒ… තවමත් නුඹ මගෙ හිත පතුලෙ ජීවත් වෙන හින්ද ද… ?
ප්‍රදීපා ලක්මාලි