Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එක වගේ හත් දෙනෙක් නෑ තමාව හඳුනා ගන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

 

කොළ දහස්ගණනකින් පිරුණු මහා වෘක්ෂයකින් සෑම අතින් ම එක හා සමාන කොළ 2ක් කඩාගෙන එන්නට ඔබට පුළුවන් කමක් නැත. ලෝකයේ ඉපිද මිය ගිය බිලියන ගාණක් වූ මිනිසුන් අතරින් එක හා සමාන වූ ඇඟිලි සලකුණු 2ක් ගැන අප අසා නැත. සොබා දහමේ සෑම නිර්මාණයක් ම එකිනෙකින් අනන්‍ය වූ සුවිශේෂ එවා ය. අප බොහෝ විට ගමේ ගොඩේ මිනිසුන් තම කතා ව්‍යවහාරයේ දී එක වගේ මිනිසුන් හත් දෙනෙක් ඇතැයි කියනු අසා ඇත්තෙමු. එහෙත් සෑම අතින් ම එක හා සමාන වූ මිනිසුන් දෙදෙනෙකු තවම අපට මුණගැසී නැත. සමජාතියේ නිවුන් දරුවන් අතර පවා වෙනස්කම් තිබේ.

මා මේ පූර්විකාව ලියන ලද්දේ වෘත්තීය ජීවිතයට පිවිසෙන්නට බලා‍පොරොත්තු වන සියලු දෙනාට කිසියම් මූලික කරුණක් අවධාරණය සඳහා ය. අපේ දෙමාපියන්, ගුරුවරුන් මෙන් ම වැඩිහිටියන් ද ඔවුන් අපේක්ෂා කරන පුද්ගලයා දරුවා තුළින් බිහි කරවා ගැනීමට උත්සාහ දරනු පෙනේ. එහෙත්, බොහෝ විට ඔබේ දරුවා ඉපදී ඇත්තේ ඔබ ප්‍රාර්ථනා කරන පුද්ගලයා වීමට නොව වෙනත් කිසිවකු වීමට විය හැකි ය. එබැවින් තමා මේ ලෝකයට බිහි වී ඇත්තේ කවර පුද්ගලයකු වීම සඳහා ද යන්න හඳුනා ගැනීම අධ්‍යාපනය ලබන කාලය තුළ දී ම වඩා වැදගත් වෙයි. ඔබේ දක්ෂතා ප්‍රතිභාවන් හා අභිරුචීන්ට අනුව ජීවිතයේ හෙට දවස තීරණය කරගත හැකි නම් ඔබ තෘප්තිමත් පුද්ගලයකු වනවා නොඅනුමාන ය.

කිසියම් පුද්ගලයකුගේ ආකල්ප, ඇවතුම් – පැවතුම් හා චර්යාවන් සඳහා ඔහු හෝ ඇය ජීවත් වන පවුල, සමාජය, ඉගෙන ගන්නා පාසල මෙන් ම ඇසුරු කරන මාධ්‍ය දැඩි බලපෑමක් කරන බැව් සත්‍යයකි. ඒ මගින් ඇතිකර ගනු ලබන ආකල්ප ජීවිතයේ ඉදිරි ගමන සඳහා විශාල බලපෑමක් කරනවා මෙන්ම එය නොසලකා හැරීමට ද නොහැකි ය. එහෙත් මෙනේරි අපේක්ෂාවෙන් තල වැපුරුවහොත් ඔබට ලැබෙන්නේ තල මිස මෙනේරි නොවේ. මන්ද වපුරන ලද දෙයෙහි ඇත්තේ එහි නෙසර්ගික ගුණයයි. සෑම දරුවෙක් තුළම උපතින් ගෙනෙන ලද සහජ කුසලතාත් මෙබඳු ය. එම නිසා තමා කවරෙක් ද යන්න හඳුනා ගැනීම වෘත්තීය ජීවිතයට පිවිසීමේ දී පසු කළ යුතු පළමු පියවර වෙයි. අපි එයට “ස්වයං හඳුනා ගැනීම” යැයි කියමු.

පාසල් පන්ති කාමරය තුළ අපට හමුවන්නේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥවරුන්, ගුරුවරුන් හා හෙදියන් පමණක් ම නොවේ. එහෙත් අත ඔසවන්නට යැයි කිවහොත් ඔවුන් සියලු දෙනා ම අත ඔසවන්නේ මෙබඳු වෘත්තිකයෙක් වීමට බවට සැකයක් නැත. වෛද්‍යවරයෙකු වීම සඳහා අදාළ විෂයන් ඉගෙන ගැනීමටත් එබඳු වෘත්තියක් විසින් ඉල්ලා සිටින චර්යා රටාවන්ට අනුගත වීමටත් යමෙකු තුළ හැකියාවක් තිබිය යුතු ය.

ඇතැම් ගෙවල්වල කුඩා දරුවන්ගෙන් ගෙදර තිබෙන රේඩියෝව හෝ වෙනත් එබඳු ඉලෙක්ටේ‍රානික උපකරණ බේරා ගැනීමට නොහැක. ඔව්හු ඒවා කඩති. බිඳිති, ගලවති. තවත් නොයෙකුත් පර්යේෂණ කරති. ඇණයක්, මුරිච්චියක් දුටු තැන ගලවන ඉලෙක්ට්‍රෝනික කටයුතු පිළිබඳ පිපාසයක් හා දැඩි ඇල්මක් ඇති මෙබඳු දරුවෝ අනන්තවත් සිටිති. දෙමාපියන්ගේ කීමට හෝ වෙනත් වැඩිහිටියන්ගේ පෙළඹවීමට මොවුන්ව වෛද්‍යවරුන් කිරීමට උත්සාහ කළහොත් අපට වෛද්‍යවරයාත්, ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරුවරයාත් යන දෙදෙනා ම අහිමි වේ.

මේ තත්ත්වයන් පිළිබඳ ව සලකා බැලීමේ දී තමාගේ ශක්තීන්, දුර්වලතා, අවස්ථා හා බාධක හඳුනා ගැනීම වැදගත් බව පෙනී යනු ඇත. පුද්ගලයකුගේ අභිරුචීන්, කුසලතා හා තිබෙන අවස්ථා එකිනෙකට ගැළපෙන ආකාරයට වැඩලෝකයේ රැකියා අවස්ථා සඳහා සොයා ගැනීමේ දී භාවිතා කළ යුතු ය. යමෙක් සතුව කවර ආකාරයේ පෞරුෂත්ව ලක්ෂණ තිබේ ද යන්නත් රැකියාවක දී වැදගත්වන හෙයින් “ස්වයං හඳුනා ගැනීම” තවත් වැදගත් වේ. ඇතැම් අය යන්ත්‍ර සූත්‍ර සමග වැඩ කිරීමට කැමති ය. මෙබඳු පුද්ගලයින් තමාගේ මෙම හැකියාව හා අභිරුචිය හඳුනා ගත් පසුව කාර්මික ක්ෂේත්‍රයට යොමු වීම විපුල ඵල ගෙන දෙන්නකි.

තවත් සමහර අය දත්තසමග කටයුතු කිරීමට කැමති ය. ඇතැම් පුද්ගලයින්ට සංඛ්‍යා දත්ත පිළිබඳ පුදුම හිතෙන තරමේ මතකයක් ඇත. ඔවුන් ඕනෑම දෙයක් විශ්‍ලේෂණය කරන්නේ දත්ත ආශ්‍රයෙනි. ඉලක්කම් සමග කටයුතු කිරීමට දැඩි උනන්දුවක් දක්වන මෙබඳු ශිෂ්‍යයන් ගණකාධිකරණ, ගණිත වැනි අංශ එසේත් නැත්නම් සංඛ්‍යානය වැනි විෂය ක්ෂේත්‍රයන් තුළ දී වඩාත් සාර්ථක විය හැක.

මීට හාත්පසින් ම වෙනස් පිරිසක් නිර්මාණාත්මක හෝ සිතිවිලි සමග කටයුතු කිරීමට කැමති ය. ඔවුන් ලෝකය සංජානනය කරන්නේ අන් අයගේ ඇසින් නොවේ. අමුතු හා අපූරු ආකාරයට ය. කලාත්මක විෂය ක්ෂේත්‍රයන් තුළ වඩාත් ඉහළ තැනක් අත්පත් කර ගන්නේ මෙබඳු නිර්මාණාත්මක කුසලතාවන්ගෙන් පිරිපුන් පුද්ගලයන් ය.

මෙබඳු වඩාත් යහපත් මානව සබඳතා පවත්වා ගැනීමේ හැකියාව ජීවන කුසලතාවකි. එබඳු, පුද්ගලයකු කාර්යාලයීය ලිපි ගොනු අතරේ කටයුතු කරන වෘත්තියක් සඳහා යොමු වුවහොත් සාර්ථකත්වයට පත්වෙතැයි සිතය නොහැක. ඔවුන්ගේ ක්ෂේත්‍රයන් විය යුත්තේ, අන්තර් පුද්ගල සබඳතා පවත්වන විකුණුම්, අලෙවි හෝ මහජන සබඳතා වැනි අංශයන් ය.

Scroll to Top