ශ්‍රී ලංකාවේ සිරව සිටින ඉන්දියානු ජාතිකයන් මව්රටට ගෙන්වා ගැනීමට දරන ප්රයත්නයේ කොටසක් වශයෙන් ඉන්දීය නාවික හමුදාවේ ජලශ්වා නෞකාව මගින් තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවන් පිරිසක් 2020 ජූනි මස 1 වන දින කොළඹ වරායේ සිට ඉන්දියාවේ ටුටිකොරින් දක්වා රැගෙන යනු ඇත.
මෙය වන්දේ භාරත් මෙහෙයුම යටතේ විදේශයන්හි සිරව සිටින ඉන්දියානු ජාතිකයන් මව් රටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදා නෞකා යොදාගෙන කරනු ලබන සමුද්‍ර සේතු වැඩසටහනේ මීළඟ ව්‍යායාමය වේ.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වීම් මත පදනම්ව මෙම නෞකාව සඳහා මගී ලේඛනයක් සකස් කෙරෙනු ඇත. මේ සඳහා සේවයෙන් ඉවත් කරන ලද සංක්‍රමණික ශ්‍රමිකයන්/කම්කරුවන්, කෙටි කාලීන වීසා බලපත්‍ර කල් ඉකුත් වූ අයවලුන්, හදිසි වෛද්‍ය අවශ්‍යතා ඇති අයවලුන්, ගර්භණී මව්වරුන්/ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, පවුලේ සාමාජිකයකුගේ අවමංගල්‍යයක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය කරන අයවලුන් සහ ඉන්දීය රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2020 මැයි 5 දිනැති විදෙස් රටවල සිරව සිටින ඉන්දියානු ජාතිකයන්සිය රටට ගෙන්වා ගැනීමේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියේ (https://www.mha.gov.in/sites/default/files/4MHA%20SOPs%20Dt.%205.5.2020%20reg%20movement%20of%20Indian%20nationals%20stranded%20outside%20the%20country%20and%20of%20specified%20persons%20to%20travel%20abroad.pdf) දැක්වෙන පරිදි ශිෂ්‍යයන් ඇතුළු අත්‍යාවශ්‍ය අයවලුන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.
මෙම නාවික ගමන පිළිබඳ තොරතුරු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ යාවත්කාලීන කෙරෙනු ඇත. කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත ශ්‍රී ලංකාවේ සිරව සිටින ඉන්දීය ජාතිකයන් රැසකගෙන් ඉල්ලීම් ලැබී ඇති බැවින් ඒ අතරින් තෝරාගත් අයවලුන්ට පමණක් මෙම නෞකාවෙන් ඉන්දියාව බලා යාමට අවස්ථාව හිමි වනු ඇත. මේ සඳහා තෝරා ගත් අයට ඒ බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් දැනුම් දෙනු ඇත.
ගමන් පිරිවැය හා ඉන්දියාවට පැමිණි පසු අනිවාර්ය නිරෝධායන පහසුකම් සඳහා වන පිරිවැය මගීන් විසින් දැරිය යුතු වේ. නිරෝධායන පහසුකම් සහ අදාළ ප්‍රාන්තය හෝ පාලන ප්‍රදේශය විසින් අනුගමනය කරනු ලබන සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය පිළිබඳ විස්තර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ දක්වා ඇත.
මේ වන තෙක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී නැති ඉන්දීය ජාතිකයන්ට https://hcicolombo.gov.in/COVID_helpline ලින්ක් එක මගින් ලියාපදිංචි විය හැකිය. ශ්‍රී ලංකාවේ සිරව සිටින ඉන්දීය ජාතිකයන්ට ඉවසීම් සහගතව සිටිනා ලෙස සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍යයන්හි යාවත්කාලීන කිරිම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස උපදෙස් දෙනු ලැබේ.