Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර අද (25) පෙරවරු 11.00 දක්වා වලංගු වන පරිදි තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මධ්‍යම-නැගෙනහිර බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින “ඩානා” චණ්ඩ සුළි කුණාටුව, එම මුහුදු ප්‍රදේශයේ තවදුරටත් උතුරට බරව වයඹ දෙසට ගමන් කරන බව සඳහන්.

ඔක්තෝබර් මස 24 වැනිදා රාත්‍රියේ හෝ 25 වැනිදා උදෑසන අතර කාලයේදී එය බටහිර බෙංගාල සහ ඔඩිෂා වෙරළ හරහා ඉන්දියානු ගොඩබිම වෙත ගමන් කිරීමට ඉඩ පවතින බවයි, අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං සමඟින් තව වැසි පැවතිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

මේ හේතුවෙන් දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබනවා.

මේ සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදනය පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙසටයි ඔවුන් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදු කළේ.

Scroll to Top