Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

යුද්ධ හමුදාවෙන් විශේෂ දැනුම්දීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු විසින් යුද්ධ හමුදාවට අපහාසාත්මක වන අයුරින් වගකීමෙන් තොර අසත්‍ය කරුණු ඇතුළත් වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර මහතා පවසනවා.

යුද්ධ හමුදාව කෙරෙහි වෛරය ඇති කිරීම හා යුද්ධ හමුදාව අපකිර්තියට ලක් කිරීමේ අරමුණින් සහ මහජනතාව යුද්ධ හමුදාව කෙරෙහි තබා ඇති විශ්වාසය පළුඳු කිරීම අරමුණු කරගනිමින් ඔවුන් මෙම වීඩියෝ පට මුදාහැර ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විශේෂ ප්‍රකාශක් සිදුකරමින් කියා සිටියේ.

යුද්ධ හමුදාවේ ඉදිරි ප්‍රගමනයක් නොමැති සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් ලබාදෙන අසත්‍ය තොරතුරු පිළිබදව නිසි සොයා බැලිමක් නොමැතිව සහ එම තොරතුරු නිසි ක්‍රමවේදයකට අනුව තහවුරු කරගැනීමකින් තොරව, මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් සිය පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් ප්‍රසිද්ධ කර ගැනීමේ පටු අරමුණින් මෙම වීඩියෝ පට නිර්මාණය කිරීමට කටයුතු සිදුකර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

මෙම වීඩියෝ පටවල සඳහන් වන පරිදි යුද්ධ හමුදා කඳවුරු වල භටපිරිස් නව ස්ථානයන්හි ස්ථාන ගත කිරීම ක්‍ෂණිකව ගත් තීරණයක් නොවන බවත්, මෙය යුද්ධ හමුදා යතායෝග්‍ය හා ප්‍රමාණකරණ සැලැස්ම යටතේ ක්‍රියාත්මක වන දීර්ඝකාලීන සැලැස්මක කොටසක් බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර මහතා පැවසුවා.

එමෙන්ම යුද්ධ හමුදාවේ අණ හා පාලන කටයුතු සන්නද්ධ හමුදා සේනාධිනායක, ආරක්‍ෂක අමාත්‍යවරයා සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධික්‍ෂණය යටතේ සහ උපදෙස් පරිදි එය සිදුකෙරෙන බවයි ඔහු කියා සිටියේ.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකල හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර මහතා,

“වගකීම් විරහිත පුද්ගලයන් කිහිප දෙනෙකුගේ පෞද්ගලික වාසි තකා මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනිව අසත්‍ය තොරතුරු මෙසේ සමාජ ගතකිරීම මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ මහජනතාව අතර දීර්ඝකාලීනව පවතින සුහදත්වය පළුඳු කිරීමේ අසාර්ථක උත්සාහයක් ලෙස මෙවැනි ක්‍රියා පෙන්වා දිය හැකියි.. මේ හේතුවෙන් ඉදිරියේදි වක්‍රව ජාතික ආරක්‍ෂාවටද තර්ජන එල්ලවිමේ හැකියාවක් පවතිනවා.. ඉතා සුළු පිරිසක් විසින් සිදුකරනු ලබන මෙවැනි අසත්‍ය සහ වෛරය පතුරන ප්‍රකාශ වගකීමෙන් යුතුව යුද්ධ හමුදාව විසින් තරයේ හෙලා දකිනවා.. පවතින රජයට පක්ෂපාතීව රටේ ජාතික ආරක්ෂාවට සෘජුවම වගකියන යුද්ධ හමුදාවේ කීර්තිනාමයට හානි පමුණුවමින් ප්‍රචාරය කරන අසත්‍ය තොරතුරුවලට ජනතාව නොරැවටෙන ලෙසත් යුද්ධ හමුදාව කෙරෙහි පවතින විශ්වාසය කිසිදු අයුරකින් පපළුඳු කර නොගන්නා ලෙසත් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා..”

Scroll to Top