Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ආර්ථිකයේ ක්ෂේත්‍ර දහයකට ප්‍රමුඛත්වය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සිය ධුර කාලයේ පළමු මාස හය තුළ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර දහයකට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස ලංකා වාණිජ මණ්ඩලය අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව ලංකා වාණිජ මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති ප්‍රමුඛ ප්‍රතිපත්ති පහතින් දක්වා ඇත.

  •  මෑතකදී වාණිජ ණය හිමියන් විසින් නිකුත් කරනු ලැබූ නිවේදනය මත පදනම්ව බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණ කිරීම. සාර්ථක තුන්වන සමාලෝචනයක් සහ සිව්වන වාරිකය ලබාගැනීමේ අරමුණින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහන සමඟ ඉදිරියට යෑම.
  • වත්මන් බදු බදුගෙවන්නාට බරක් නොවන සේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි රාජ්‍ය වියදම්වල අපේක්ෂිත වෙනස්කම් සහ විශ්වසනීය ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම. එමෙන්ම, RAMIS සහ SVAT වැනි ආදායම් එකතු කිරීම් සම්බන්ධ කරුණු යළි සමාලෝචනය කිරීම.
  •  පැමිණීමේදී වීසා (On Arrival Visa) ගැටළුව වහාම විසඳීම.
  •  ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ ඩිජිටල් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම.
  •  ජාතික තනි දොර වෙළෙඳ කවුළුව (National Single Window for Trade) ක්‍රියාත්මක කිරීමට කැපවී ඒ තුළින් ජාත්‍යන්තර වෙළෙඳාමට මෙන්ම ජනතාවට ප්‍රතිලාභ සලසා දීම.
  •  ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය අවකාශය නිර්මාණය කරදීම. මේ සඳහා ̃ජාතික ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ කමිටුවක් ̃ පිහිටුවීම.
  •  ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ශ්‍රී ලංකා විදුලිබල පනතට අදාළ නීති ක්‍රියාත්මක කිරීම.
  •  පෞද්ගලික අංශයේ ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ හැකි තාවකාලික ගැසට්/චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමෙන් වැළකීම.
  •  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි, පාලන විනිශ්චය තක්සේරුව (Governance Diagnostic Assessment) මත පදනම්ව සකස් කරන ලද රාජ්‍ය ක්‍රියාකාරී සැලැස්ම අනුගමනය කිරීම.
  •  චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව සමඟ වෙළඳ ගිවිසුම් සාකච්ඡා යළි ආරම්භ කිරීම.

ජනතාව විසින් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබාදිය හැකි දූරදර්ශි ආර්ථික වර්ධන උපාය මාර්ග සැකසීමේදී සියළු පාර්ශවකරුවන් සමග, නව ජනපති එක්ව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද එම ලිපියේ දක්වා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සංවර්ධිත ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම උදෙසා, අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයා සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීමට කැපවන බවයි ලංකා වාණිජ මණ්ඩලය එමඟින් දැනුම් දී ඇත.

Scroll to Top