එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කිරීම හේතුවෙනුයි.
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරයි.
කෙසේ වෙතත් අවශ්‍යනම් ඡන්දය පමණක් ලකුණුකළ හැකි බව ද ඒ මහතා පවසයි.
ඡන්ද පත්‍රිකාවේ තමන් කැමති අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියේ වෙන්කර ඇති කොටසේ එකේ ඉලක්කම සලකුණු කර ඡන්දය ප්‍රකාශ කළ යුතු වෙයි.
ඉන්පසු දෙවන සහ තුන්වන ඉලක්කම් සලකුනු කිරීමෙන් මනාප දැක්විය හැකියි.
ඡන්ද දායකයෙකු ඡන්ද පත්‍රිකාවක දෙවන හෝ තුන්වන මනාප සලකුණු කර නොමැති වුවද එහි නිසියාකාරව එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දයක් සලකුනු කර තිබේනම් එය පිළිගන්නේ වලංගු ඡන්දයක් ලෙසයි.
ඡන්ද පත්‍රිකාව සලකුණු කිරිමෙන් එය අපේක්ෂකයාට ලබාදුන් ඡන්දයක් ලෙසට සලකයි.
ඡන්ද දායකයාව හදුනාගත හැකි පරිදී යම් දෙයක් සටහන් කර හෝ සළකුණු කරන පත්‍රිකා ඡන්ද ගණන් කිරීමේ දී ප්‍රතික්ෂේප කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි.
කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැති වීම, එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීම , දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කිරීම සහ 1 / 2 / 3ට වඩා මනාප සලකුණු කිරීම ද ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප වීමට හේතුවක් වෙයි.