සයිබර් අවකාශය සඳහා අප වෙත සහසම්බන්ධය ලබාදෙන නවතම මාර්ගය වන්නේ ස්ටාර්ලින්ක් නම් සේවාවය. ලෝකයේ පෙරළියක් ඇති කළ මෙම සේවාව ශ්‍රී ලංකාව සඳහා ද පැමිණ ඇතැයි වාර්තා වන්නේ හෙයින් ඒ පිළිබඳ කටයුතු සොයා බැලීම පිණිස අප යොමුවූයේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම වෙතය. එහි අධ්යක්ෂ ජනරාල් මධුශංක දිසානායක මහතා සමඟ ඒ පිළිබඳ සිදු කළ සාකච්ඡාවයි මේ.
මහ මුහුද යටින් එන කේබල් පද්ධතිය මාර්ගයෙන් අපට අන්තර්ජාලය සඳහා පිවිසීමේ හැකියාව ලැබී තිබෙනවා. 4ජී සිට දැන් 5ජී, දක්වා වූ තාක්ෂණය ද අප සතුයි. එසේ තිබියදී අපට චන්ද්‍රිකා ඔස්සේ අන්තර්ජාලය සඳහා සම්බන්ධවීමට අවශ්‍ය වන්නේ ඇයි?
අන්තර්ජාලය කියන්නේ සේවාවක්. අන්තර්ජාලය ලබාදෙන තාක්ෂණික ක්‍රමවේද කිහිපයක් ලෝකයේ තිබෙනවා. ලංකාවේ අප මොබයිල් ඉන්ටර්නෙට් මාර්ගයෙන් අන්තර්ජාලය ලබාදෙනවා. එක තමයි ඔය 2ජී සිට 5ජී දක්වා වර්ධනය වී තිබෙන්නේ. අනික් ක්‍රමවේදය තමයි ෆයිබර් කේබල් මාර්ගයෙන් අන්තර්ජාලය සඳහා පිවිසීමේ හැකියාව ලබාදීම. එය වඩා වේගවත් සේවාවක්. ඔය ක්‍රම දෙකේ වෙන වෙනම ගැටලු තිබෙනවා. ජංගම ක්‍රමවේදය ලබාදෙන්නේ කුලුනු හරහා නිසා ඒ මාර්ගයෙන් අපට 100%ක භෞතික ආවරණයක් ලබාදීමේ හැකියාව නෑ. කුලුනු හරහා ලබාදීමේදී අඳුරු කලාප ඇති වෙනවා. යම් යම් භූගෝලීය කලාප සඳහා කුලුනු මඟින් ලබාදීමේදී දුෂ්කරතා ඇති වෙනවා. අනික් ගැටලුව මේ සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කුලුනු සඳහා විදුලිය අවශ්‍ය වෙනවා. අනික පාරිසරික කලාපයන්හි මෙම කුලුනු සවිකිරීමේ ගැටලු ඇති වෙනවා. ඒවා සංවේදී කලාප නිසා අවසර ලබා ගැනීම දුෂ්කර වෙනවා. කුලුනක් සවිකිරීම ලෙස අප දැක්කත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමත් දුෂ්කර දෙයක්. රක්ෂිතයක මේ සඳහා වන මාර්ගයක් කපාගත යුතු වෙනවා. විදුලි බල මණ්ඩලය මෙවන් ස්ථානයක් සඳහා පමණක් කිලෝ මීටර් ගණනක් වයර් එළීම කළ යුතු වෙනවා. ඒ සඳහා රක්ෂිතය එළි පෙහෙළි කරන්නට වෙනවා.
එහෙම වියදමක් දරා සිදු කළත් එයින් ආවරණය වන්නේ පවුල් කිහිපයක් නම් මෙම ආයෝජනය පියවා ගත හැකිද?
එහෙම දුෂ්කරතා මධ්‍යයේ කුලුනු සවිකළාට පස්සේ වටේ ඉන්න මිනිස්සු උද්ඝෝෂණය කරන්න පටන් ගන්නවා. ඔවුන් ඒ සඳහා කියන්නේ අකුණු ගහනවා කියන චෝදනාවයි. ඒවායේ කිසිදු පදනමක් නැති වුවත් එහෙම ප්‍රශ්න නිතරම ඇති වෙනවා. ෆයිබර් කේබල් සඳහාත් විශාල ආයෝජනයක් යනවා. මේ ක්‍රම දෙකෙන්ම අපට ආවරණය කිරීමට නොහැකි කලාප තිබෙනවා. මේ වන විට 4ජී ආකාරය බැලුවොත් එය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 80%ක් ආවරණය කර තිබෙනවා.
ස්ටාර්ලින්ක් කියන්නෙත් මේ වැනිම වූ අන්තර්ජාලය ලබාදෙන ක්‍රමයක්. එය චන්ද්‍රිකා තාක්ෂණය හරහා අපට මෙම සේවාව ලබාදෙනවා. මේ සඳහා අපේ සංඛ්‍යාතත් භාවිතයට ගන්නවා.
ස්ටාර්ලින්ක් සේවාව අවශ්‍ය වන්නේ අපට දැනට ඇති අන්තර්ජාල ප්‍රවේශ සඳහා වූ අඩුපාඩු මකා ගැනීම සඳහා පමණ ද …?
මෙම සේවාව ආරම්භවූ සැණින් අප සමස්ත භූගෝලීය කලාපය සඳහා 100%ක ආවරණයක් සැපයෙනවා. එය අන්තර්ජාල ප්රවේශයේ පෙරළිකාර පියවරක්. අපේ මුහුදු සීමාව ද මේ මඟින් සම්පූර්ණ ආවරණය වෙනවා.
මෙම සේවාව ලෝකයට නව තාක්ෂණයක් ද ?
නැහැ… චන්ද්‍රිකා තාක්ෂණය ලෝකයට අලුත් දෙයක් නොවේ. මේ ආකෘතියත් ලෝකයට අලුත් දෙයක් නොවෙයි. එහෙත් අප දැන් අත්දකින ප්‍රවේශ දෙකට වඩා මෙය විශාල ආයෝජනයක්. කවුරුවත් මේ සඳහා විශාල ආයෝජනයක් කිරීමට පැමිණියේ නැහැ. ඊලෝන් මස්ක් වැනි ව්‍යාපාරික දැවැන්තයින් මෙම තාක්ෂණය හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පියවර ගත්තා. ඒ තුළ ලෝකයට නව ව්‍යාපාරික පරිසරයක් ඔවුන් ගොඩනැඟුවා. ලෝකයට මෙම තාක්ෂණය හදුන්වාදීමෙන් පසු අපේ රටට අන්තර්ජාල ප්‍රවේශය මේ මාර්ගයෙන් ලබාදීම සඳහා ඔවුනට වෙනම ආයෝජනයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වූයේ අප අනුමැතිය සහ බලපත්‍රය පමණයි. ඒ දෙක ලැබුණු සැණින් ඔවුන් සිය මෙහෙයුම් ආරම්භ කරනවා. අපේ කලාපයේ මෙම තාක්ෂණය දැනට දකින්නට ලැබෙන්නේ මාලදිවයිනේ පමණයි. දූපත් ආශ්‍රිතව ඔවුන්ට අන්තර්ජාල ප්‍රවේශය සඳහා ඇති දුෂ්කරතා හේතුවෙන් මෙම සේවාව මුලින්ම එහි ඇති කළා. තවම මෙම ප්‍රවේශය ඉන්දියාවේ හෝ නෑ.
මේ රටේ කාලයක පටන් පෙරළිකාර අන්තර්ජාල ප්‍රවේශ ලබාදෙන බව පැවසෙනවා. ශ්‍රී ලංකාවටම ආවේනික වූ චන්ද්‍රිකාවක් මඟින් එවන් සබඳතා ලබාදෙන බව පැවසීම අපට ඒ පිළිබඳ ඇති මුල්ම අත්දැකීමයි. දෙවැනි අත්දැකීම ගූගල් බැලුන් යන්නයි. මේ සියල්ල ජනතා මතකයේ ඇත්තේ දේශපාලන රැවටීම් ලෙසයි. දැන් ස්ටාර්ලින්ක් ගැන කතාබහක් ඇතිව තිබෙනවා. මේ පැමිණ ඇත්තේ මැතිවරණ කාලයක් නිසා මේ වැඩසටහනත් ඡන්ද ගුණ්ඩුවක් ද කියා ජනතාවට සිතෙන්න පුළුවන්?
මම කලින් ව්‍යාපෘති ගැන කතා නොකර මේ ගැන කතා කරන්නම්. මේ සඳහා අපට ඉල්ලුම් පත්‍රය පැමිණියේ ගිය වසරේ. එතැනදී අපට විදුලි සංදේශ පනත සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා. අපේ විදුලි සංදේශ පනත අවසන් වරට යාවත්කාලීන වී තිබුණේ 1996 වසරේ. අවුරුදු විසි අටක් ගිහිල්ලත් පනත අලුත් වෙලා තිබුණේ නැහැ. ඒ කාලයේ තාක්ෂණය සඳහා සැකසී තිබූ පනත අදට ගැළපෙන ආකාරයට අලුත් කර ගැනීමේ අවශ්‍යතාවක් අපට මුලින්ම තිබුණා. පනතේ බරපතළ ප්‍රශ්න ගණනාවක් අපට වර්තමානයේ මෙම කර්මාන්තය සඳහාත් තිබුණා. අප මේ සඳහා කටයුතු යොදා ගිය මාසයේ මේ පනත සම්මත කර ගත්තා. ඒ සමඟ අපට මේ සඳහා බලපත්‍රය ලබාදීමට හැකියාව ලැබුණා. මෙහි දේශපාලන අරමුණක් නැහැ. එසේ වුවත් මේ සඳහා දේශපාලන නායකත්වයක් අපට ලැබුණා. විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා මේ සඳහා විශාල සහයෝගයක් සහ උපදෙස් අපට ලබා දුන්නා. මේ රටේ තරුණ සහ ව්‍යවසායක පරපුර සඳහා අධිවේගී සහ සීමා විරහිත අන්තර්ජාල සේවා ලබාදීමට එතුමාට දැඩි අවශ්‍යතාවයක් තිබුණා. රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ද මේ සඳහා විශාල වෙහෙසක් ගෙන අපට නායකත්වය ලබා දුන්නා. එහෙම දේශපාලන නායකත්වයක් අපට ලැබුණා වුවද මෙය දේශපාලන රැවටිල්ලක් නොවන බව අවධාරණය කරන්න කැමතියි. අතීත අත්දැකීම් සමඟ මේ දෙස බලන්න එපා. ලෝකයේ අලුත්ම තාක්ෂණය මේ රටට ගෙන ඒම සඳහා අප විශාල කැපවීමක් කළා. ඒ සඳහා දරණ ලද පරිශ්රමයේ ප්‍රතිඵල මේ රටට නියත වශයෙන්ම ලැබෙනවා.
මෙම තාක්ෂණය අධික වියදම් සහිත බවට දැනට අපට ලැබෙන ආරංචි අනුව පෙනී ගොස් තිබෙනවා. විශාල සමාගම් සඳහා මෙම ගාස්තු දැරීමේ හැකියාවක් තිබෙන්නට පුළුවන්. එසේ වුවත් ජනතාවට මෙය තවදුරටත් දුරස්ථ සේවාවක් වේවි නේද?
මේ ජාත්‍යන්තර ආයෝජනයක්. බලපත්‍රය ලබාදී එම සමාගම මෙහෙයුම් ආරම්භ කළාට පසු ඔවුන් මේ සඳහා විවිධ කාණ්ඩ යටතේ පැකේජ ලබාදෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඔවුන් මෙය කර්මාන්තයක් ලෙස මේ රටේ පවත්වා ගැනීම සඳහා එවැනි තත්ත්වයක් ඇති කරනවා ඇති. දැනට මේ සඳහා දී ඇති පැකේජය වියදම් අධික බව ඇත්ත. විශේෂයෙන්ම උතුරු සහ නැඟෙනහිර දෙපළාතේ මේ වන විට විවිධ විශාල ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. බලශක්ති, සංචාරක ආදී එම ව්‍යාපෘති සඳහා මෙම තාක්ෂණය අතිශයින්ම වැදගත්. එහෙම වුණත් අද අපේ තරුණ ප්‍රජාව අතර විශාල වශයෙන් ඔන්ලයින් මාර්ගයෙන් රැකියා සිදු කරනවා. සමහර පිරිසක් පරිගණක වැඩසටහන් සකසමින් නිවෙසේ සිට ලෝකයේ ප්රමුඛ සමාගම් සමඟ වැඩ කරනවා. ඒ අය මාසික වේතනය ලබන්නේ ඩොලර් මඟින්. ඔවුන් වැනි පිරිස් සඳහා මෙම ගාස්තුව එතරම් විශාල වන්නේ නැහැ. ඔවුන්ගේ අවශ්‍යතාව ඊට වඩා වැදගත්.
මෙම තාක්ෂණය එළිදැකීම සඳහා තව කොපමණ කාලයක් ගත විය හැකිද?
නිවෙස සෑදීම සඳහා අවශ්‍ය අත්තිවාරම දැමීම අප සිදු කර අවසන්. එය භාරධූර කාර්යයක්. මේ සඳහා අපේ කණ්ඩායම විශාල කැපවීමක් කළා. ස්ටාර්ලින්ක් සඳහා විදුලි සංදේශ සේවා බලපත්‍රය අප නිකුත් කර අවසන්. මේ සඳහා අවශ්‍ය වන සංඛ්‍යාත බලපත්‍රයත් අප අද හෙට නිකුත් කරනවා. මෙහි සංඛ්‍යාත ගාස්තු සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රයත් අප දැන් නිකුත් කිරීම සඳහා යවා අවසන්. අපගෙන් සැපයිය යුතු සියලු පහසුකම් අප සපයා අවසන්. තව මාස එකහමාරක් ඇතුළත එම සමාගම මෙම වැඩකටයුතු ශ්‍රී ලංකාවේ ආරම්භ කරනු ඇතැයි කියා අප අපේක්ෂා කරනවා.
මෙහි සමාරම්භය සඳහා ඊලෝන් මස්ක් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බවට රාවයක් පැතිරී යනවා?
මූලික සාකච්ඡාහිදී එම සමාගමේ නිලධාරීන් ඒ පිළිබඳ අපව දැනුවත් කළා. මෙහි සමාරම්භය සඳහා එතුමා ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් පසුවෙන බව එම කණ්ඩායම අපට දැනුම් දුන්නා. සැප්තැම්බර් අවසානය වන විට ඒ සඳහා සැලසුම් සකස් කිරීමට එම සමාගම බලාපොරොත්තු වෙනවා. එහෙම වුණාට තවම අදාළ දිනය පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැහැ. ඒ වුණාට අපට දන්වා තිබෙනවා, එතුමා මේ සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව.
සාකච්ඡා කළේ
ඔසිත අත්තනායක
ඡායරූප – නිශ්ශංක විජේරත්න