වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළකර තිබෙන බවත් වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස අද (12) පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බවත් එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට ද තමන් සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
වතු කම්කරුවන්ට හිමි වසර ගණනාවක් ගෙවීම් අතපසු කර ඇති සේවක අර්ථසාධක අරමුදල් ද ලබන වසරේ සිට ගෙවීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ලංකා කම්කරු කොංග්‍රසය මඟින් පෙරේදා (10) මහනුවර කරළිය සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තීය සමිති හා තරුණ නායක හමුවට එක් වෙමිනි.
මෙහිදී කඳුකර දෙමළ ජනතාවගේ ප්‍රශ්න ඍජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම ද සිදු වූ අතර ජනාධිපතිවරයා ඊට සාධනීය පිළිතුරු ලබා දෙනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
මේ රටේ සියලු ජනතාව පසුගිය වසර දෙක තුළ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. කෙසේ හෝ අපට දැන් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙනඒමට හැකියාව ලැබී තිබෙනවා. රටේ ආර්ථික ගැටලු සම්පූර්ණයෙන් විසඳි නැති නමුත් බොහෝදුරට ජනතාවට සහන ලබාදීමට අපට හැකි වී තිබෙනවා. ඒ අනුව 2022 වසරට වඩා මේ වන විට ජනතාවගේ ජීවන බර සැහැල්ලු වී තිබෙනවා.
අපට මෙවන් තත්ත්වයක් උදා කර ගැනීමට හැකි වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම නිසයි. ඒ වගේම අපට ණය ලබාදුන් රටවල් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට ද අපට හැකි වී තිබෙනවා. ඒ අනුව අප ලබාගත් ණය ආපසු ගෙවීමට 2042 වසර වනතෙක් කල් ලැබී තිබෙනවා. අප මේ ගිවිසුම්වලින් ඉවත් වුවහොත් හෝ එය සංශෝධනය කිරීමට උත්සාහ කළොත් අපට එම සහන අහිමි වෙනවා. එවිට අප රටක් ලෙස නැවත පරණ තත්ත්වයට පත් වෙනවා. නැවත පෝලිම් යුගයකට මුහුණදීමට සිදු වෙනවා. ඒ නිසා මෙම වැඩසටහන ඉදිරියට ගෙන යනවා ද නැද්ද කියා අප තීරණය කළ යුතුයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථක කර ගැනීමෙන් පමණක් අපට සෑහීමකට පත්විය නොහැකියි. ඉන්දියාව වැනි ආර්ථික දියුණුවක් කරා අප ද ගමන් කළ යුතුයි. 2048 වසර වන විට එම සීග්‍ර දියුණුව ඇති කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම රට භාර ගැනීමට නායකයන් හොයනවද ඔලිම්පික් තරගවලට දුවන අය හොයනවද කියා ජනතාව තීරණය කළ යුතුයි.
වසර ගණනාවක් කම්කරු ජනතාවට හිමි සේවක අර්ථසාධක අරමුදල් ගෙවා නැහැ. ලබන වසරේ සිට එම අරමුදල් ගෙවීමට අප බලාපොරොත්තු වෙනවා. දැන් රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් තිබෙන නිසා එම මුදල් ලබාදීමේ හැකියාව රජයට තිබෙනවා.
ඒ වගේම පසුගිය වසර දෙක තුන තුළ වතුකරයේ ජනතාව විශාල ලෙස දුක් වින්දා. අනෙක් පිරිස් වෙත වැටුප් වැඩි කිරීම් හිමි වුණා. ඒ වගේම ගොවි ජනතාව වෙනුවෙන් හොඳ ආදායමක් ලබා දී තිබෙනවා. නමුත් වතුකරයේ ජනතාව වෙනුවෙන් එම සහනය ලබාදීමට අපට තවමත් හැකි වී නැහැ.
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ වතු සමාගම් 07ක් මේ වන විට එකඟතාව පළ කර තිබෙනවා. මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගෙන් පසු එම අමාත්‍යාංශයේ වගකීම පැවරී තිබෙන්නේ ජනාධිපතිවරයා ලෙස මටයි. ඒ නිසා මේ පිළිබඳ එකඟතාවකට පැමිණීමට අද (12) පඩි පාලක සභාව සමඟ සාකච්ඡා කර, එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙනඒමට මා සූදානම් බව කිවයුතුයි.
එම නීතිගෙන ආ විට ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා මෙන්ම පී. දිගම්බරන් මන්ත්‍රීවරයා යන දෙදෙනාම එය සම්මත කර ගැනීමට සහාය වනු ඇතැයි මම විශ්වාස කරනවා.
ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා,
මම කැබිනට් ඇමැතිවරයකු ලෙස වැඩ භාරගෙන වසරක් ගත වෙනවා. මේ කාලය තුළ මට කළ හැකි සේවය මම කර තිබෙනවා. මේ වසර තුළ මහනුවර දිස්ත්‍රික්කයේ වතු යටිතල පහසුකම් සඳහා පමණක් රුපියල් මිලියන 160ක් වෙන් කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයට මීට පෙර මෙතරම් මුදලක් වෙන් කර නැහැ. ඒ වගේම අප තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මහනුවර සහ බදුල්ල ප්‍රදේශවල පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉන්දීය රජයේ සහාය ලැබෙනවා. කඳුකරයේ ලක්ෂ 10ක පමණ ජනගහනයක් සිටින නමුත් එයින් වතු ක්ෂේත්රයේ රැකියාවන්හි නිරත වන්නේ එක් ලක්ෂ පහළොස් දහසක් පමණයි.
වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් අවශ්‍යයි. වැටුප් ප්රශ්නය විසඳීම වගේම කඳුකරය සංවර්ධනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙනවා. රජය වතු කම්කරු වැටුප් වැඩි කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ද කිව යුතුයි. මේ වන විට වතු සමාගම් කිහිපයක්ම වැටුප් වැඩි කිරීමට එකඟ වී තිබෙනවා. ඒ පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) වතු සමාගම් සමඟ සාකච්ඡාවක් ද පැවැත් වෙනවා.
වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා,
කඳුකර ජනතාවගේ ඉඩම් හා වැටුප් ප්රශ්නය විසඳීමට සැබෑ අවශ්‍යතාවක් ඇති නායකයකු අද මේ රටට හිමි වී තිබෙනවා. ඒ විතරක් නොවෙයි එතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි මෙම ගැටලු කඩිනමින් විසඳීමට මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා. මේ කිසිවක් මැතිවරණයක් ඉලක්ක කර සිදු කළ ඒවා නොවන බව ද සඳහන් කළ යුතුයි. ඒ නිසා ජනතා ගැටලු හඳුනාගෙන ඒවා විසඳීම සඳහා සැබෑ අවශ්‍යතාවක් ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට ජාති, ආගම් හෝ පක්ෂ පාට භේදයකින් තොරව අද අප සියලු දෙනා එක්ව සිටිනවා. තමන් ගැන නොව රට ගැන සිතා ඔබේ වටිනා ඡන්දය එතුමාට පාවිච්චි කරන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා,
මහනුවර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 07 දෙනාගෙන් 06 දෙනකුගේම සහාය හිමි වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටයි. ඒ වගේම මීට පෙර සීයාත් පියාත් අපට ලබා දුන් ශක්තිය ලබා දීමට ජීවන් තොණ්ඩමන් මහතා ද අප සමඟ සිටිනවා. ඒ අනුව සැප්තැම්බර් 22 වැනිදා අලුයම වන විට රටම දිනන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මහනුවර දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දීමට අප සියලු දෙනා කැප වන බව කිව යුතුයි.
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,
ඔබලාගේ ඉඩම් ප්රශ්නය විසඳීමටත් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා. 2020 වසරේ වතු ජනතාවගේ වැටුප් වැඩි වුණාට පසුව මේ වනතුරු වැටුප් වැඩි වීමක් සිදු වී නැහැ. පඩි පාලක සභාව කැඳවා රුපියල් 1700 දෛනික දීමනාව ලබාදීමට යෝජනා කළේ ඒ නිසයි. එම යෝජනාවට විරෝධතා ඉදිරිපත් කිරීමට දින දාහතරක කාලයක් ලබා දුන්නා. පසුගිය මැයි පළමුවැනිදා කොටගලදී ඒ බව නිවේදනය කළේ ඉන් පසුවයි. ඉන්පසුව වතු සමාගම අධිකරණයට ගියා. එහිදී වාරණ නියෝගයක් ලැබුණා. නමුත් අප වතු කම්කරුවාගේ දෛනික දීමනාව වැඩි කිරීමට වෙනත් ක්‍රමවේද සොයා බලමින් ඉන්නවා. කම්කරු අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය ආපස්සට ගැනීම නිසා නඩුව ඉවත් කර ගැනීමට ද වතු හිමියන්ට සිදු වුණා. නැවත පඩි පාලක සභාව අද රැස් වෙනවා. එහිදී දෛනික දීමනාව රුපියල් 1350කුත් නිෂ්පාදන දීමනාව රුපියල් 350කුත් ලබාදීමට යෝජනා කරනවා. සමහරු එයට දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. වතුකම්කරුවන් නියෝජනය කරන නායකයකු හැටියට පී. දිගම්බරන් මහතා කිසි දවසක ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාවක් මා වෙත ගෙනැවිත් නැහැ. ලංකා කම්කරු කොංග්‍රසය වැටුප් වැඩි කිරීම ගැන යෝජනාවක් ඉදිරිපත් කළොත් වැටුප් වැඩි කරනවද නැද්ද කියලා විතරක් අහනවා. පී. දිගම්බරන් මහතා හැමදාම කළේ වතුකම්කරුවන්ට දීමනා ලබා දෙන විට කකුලෙන් ඇදීමයි.