“අපේ රටේ ඉතිහාසයේ ගමන්මඟ වෙනස් වුණේ මහින්දාගමනයෙන්. ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය, ශිෂ්ටාචාරය සහ මනුස්සකම ඇතුළු සියලුම වෙනස්කම් ලෝකයට අරන් ගියේ බෞද්ධ ධර්මය නිසයි.” යනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඇල්ල, කුඹල්වෙල, මහමෙව්නාව මාවත කාපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත්කරමිනි.
බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය මහතාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ බෝධිගිරි වන සෙනසුන පිවිසුම් මාර්ගය වන මහමෙව්නාව මාවත රුපියල් මිලියන විස්සක් වැය කර කාපට් අතුරා සංවර්ධනය කර ඇත.
මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව පිරිස ඇමතූ බෝධිගිරි වන සෙනසුනේ විහාරාධිපති ඉඩම්ගම ඤනධම්ම හිමි මෙලෙස පවසා සිටියහ.
“මේ මාර්ගය සකස් කරගැනීමට ලිපි ලියලා මට එපා වෙලා හිටියේ. ප්‍රදේශයේ සිටින සෑම දේශපාලනඥයකුටම වගේ මම ලිපි ලියලා තියෙනවා. එහෙම අවස්ථාවක බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා හමුවී පාර සකස් කර දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේ රටේ පවතින ආර්ථික තත්ත්වය ද සලකා මේ මාර්ගය කිලෝමීටරයක් පමණ කාපට් අතුරා සකස් කර දෙන්න හැකි බව එතුමා පැවසුවා. එහෙම කියලා දින දහයක් යන්නත් පෙර මේ මාර්ගය සාදා දීමට එතුමා කටයුතු කිරීම පිළිබඳ සැමගේ ගෞරවයත්, ස්තූතියත් හිමි වෙනවා.”
මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අය-වැය ප්‍රතිපාදන යටතේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අරමුණු කරගෙන මේ ස්ථානයට ගමන් කිරීමට තිබූ දුෂ්කර මාර්ගය වෙනුවට කාපට් ඇතිරූ මාර්ගයක් ඉදිකිරීමට අවස්ථාව ලැබීම ගැන බෞද්ධයෙක් වශයෙන් මම බෙහෙවින් සතුටට පත්වෙනවා.
අපේ රටේ ඉතිහාසයේ ගමන්මඟ වෙනස් වුණේ මහින්දාගමනයෙන්. ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය, ශිෂ්ටාචාරය සහ මනුස්සකම ඇතුළු සියලුම වෙනස්කම් ලෝකයට අරන් ගියේ බෞද්ධ ධර්මය නිසයි. ඒ නිසා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ තැනැත්තන්ට විවිධ ආගම් ඇදහීමට නිදහසක් තිබෙනවා. ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුය යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතියක් ලෙස සම්මත කොට තිබෙනවා.
පසුගිය කාල පරිච්ඡේදයේදී රට ඉතා විශාල වශයෙන් කඩා වැටීම නිසා අපට විදේශ රටවලින් ගත් ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි වුණා. ඒ නිසා යටිතල පහසුකම් සඳහා වෙන්කළ හැකි මූල්‍ය ප්‍රතිපාදන නොමැති තත්ත්වයක් ඇති වුණා. සෑම රජයක් යටතේම මංමාවත්, විදුලිය, ජලබස්නා ජලාපවහන ක්‍රම හා අනෙකුත් යටිතල පහසුකම් හැදුණේ මහජනතාවගේ බදු මුදල්වලින් නෙවෙයි. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, වෙනත් රටවල විදේශ ණය ආධාර මතයි. එයට හේතුව ලංකාවේ කුමන ආණ්ඩුවක් පැවතියත් රජයට එදිනෙදා පවත්වාගෙන යෑමට, වියදම් දැරීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති වීම නිසා සියලුම ප්‍රාග්ධන වියදම් දැරුවේ දේශීය සහ විදේශීය වශයෙන් ණය ගෙන. පසුගිය වර්ෂ දෙකේ ණය නොගෙවීම හේතු කොටගෙන විදේශ රජයන් දෙමින් තිබූ සියලු සංවර්ධන ව්‍යාපෘති ඇනහිට තිබුණා. ඒ නිසා බොහෝ සංවර්ධන ව්‍යාපෘති තබා ඉතාම අත්‍යවශ්‍ය දේ පවා කරගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. නමුත් අවසාන ණය දෙන්නා වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝකයේ ණයහිමි රටවලුත් සමඟ සාකච්ඡා, සම්මන්ත්රණ සහ සම්මුති මඟින් ඇති කර ගත් ගිවිසුම් නිසා නැවත වතාවක් අපට විදේශ ණය ආධාර ලැබෙන, ණය ගෙවීම් සඳහා සහන කාලයක් ලැබෙන රටක් බවට පත් වුණා. ඒ නිසා අමාරු තත්ත්වය යටතේ වුවත් මේ මහා ජාත්‍යන්තර වටිනාකමක් සහිත බෞද්ධ සංස්කෘතියේ අභිමානය ලෝකයට ගෙන යෑමට එක් කේන්ද්‍රීය ස්ථානයක් ලෙස සංවර්ධනය කළ හැකි මේ මාවත මීට පෙර සකස් කිරීමට තිබුණා නම් ඉතා විශාල සේවාවක් කළ හැකිව තිබුණා.”
මේ අවස්ථාවට මහමෙව්නාව බෝධිගිරි වන සෙහසුනේ විහාරාධිපති ඉඩම්ගම ඤනධම්ම නාහිමියන් ඇතුළු ගරුතර මහා සංඝරත්නය ද, ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් ද එක් වූහ.