මහවැලි බී කලාපයේ දිඹුලාගල සහ වැලිකන්ද කොට්ඨාසයේ කිරි ගොවියන් විසින් පාලනය කරනු ලබන කිරි ගවයන් සඳහා තෘණ බිම් නොමැති වීම හේතුවෙන් කිරි ගවයන් විකිණීමට සිදුව ඇති බව දිඹුලාගල, සේරුවිල, නාමල්පොකුණ, මලියදේවපුර, මනම්පිටිය ඇතුළු ගම්මාන රැසක කිරි ගොවීහු සඳහන් කරති.
දිඹුලාගල හා වැලිකන්ද කොට්ඨාසයේ කිරි ගොවි පවුල් 10,000කට ආසන්න සංඛ්‍යාවක් කිරි ගව පාලනයෙන් ජීවත්වන අතර, තෘණ බිම් නොමැති වීම නිසා කිරි නිෂ්පාදනය ද මේ දිනවල අඩු වී ඇති බව දිඹුලාගල සහ වැලිකන්ද කොට්ඨාසයේ කිරි ගව පාලනයෙන් ජීවත්වන ගොවීහු පෙන්වා දෙති.
ඈත අතීතයේ සිට පාරම්පරිකව මහවැලි ගඟ ආශ්‍රිතව මෙන්ම, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් කිරි ගවයන්ට ආහාර වශයෙන් තණකොළ ලබා ගත් අතර, මේ වන විට එම ප්‍රදේශයට කිරි ගවයන් ඇතුළත් කිරීම වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් තහනම් කිරීමත් සමඟ තමන් ඇතුළු කිරි ගොවීන්ට ප්‍රශ්න, ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බව මනම්පිටිය ගම්මානයේ වසර 40කට ආසන්න කාලයක් කිරි ගව පාලනයෙන් ජීවත්වන වී. පාස්කරන් මහතා සඳහන් කළේ ය.
පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ තමන්ට අයත් භූමිවල ද තණකොළ වියළී ගොස් ඇති නිසා, කිරි ගවයන්ට තණකොළ සපයා ගැනීමට නොහැකි වීමෙන්, දෛනිකව ලබාගන්නා කිරි ලීටර් ප්‍රමාණයද අඩුවීමෙන් දිඹුලාගල හා වැලිකන්ද කොට්ඨාසයේ ගම්මාන 10ක පමණ කිරි ගොවීන්ගේ ආදායම් තත්ත්වය ශීඝ්‍රයෙන් පහළ වැටී ඇති බව ද කිරි ගොවීහු කියති.
මෙම තත්ත්වය මත යෝගට් හා කිරිටොෆි ආශ්රිත නිෂ්පාදනයන් ද අඩු වී ඇති අතර, ඒ තුළින් රැකියාවල නිරත වූ විශාල පිරිසකගේ ආදායම් තත්ත්වය අඩුවී ඇති බව ද කිරි ආශ්රිත නිෂ්පාදනකරුවෝ සඳහන් කරති. ගවයන් පාලනය කිරීමට තම ප්‍රදේශයෙන් තෘණ බිම් ලබා දෙන්නේ නම්, කිරි නිෂ්පාදනය වැඩි වන අතර කිරි ගොවීන්ගේ ආදායම් ද ඉහළ ගොස් විශාල පිරිසකට රැකියා බිහිවන බව ද පොලොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ කිරි ගොවි සමිතිවල සභාපතිවරු මෙන්ම කිරි ගොවීහු ද ප්‍රකාශ කරති.
සිරිපුර – මදුෂානි අබේසිංහ