මිනිපේ, කොළොංයාය වැව යටතේ වගා කටයුතු කරන ගොවීන් සෑම කන්නයකදීම ජල හිඟයකට මුහුණ පා අසරණ වන හෙයින් මෙම වැවේ ප්‍රමාණවත් ජලයක් රඳවා ගැනීමට වැව පුළුල් කර දෙන ලෙස එම ගොවියෝ අදාළ අංශ වෙත අවධානය යොමු කරති.
හැත්තෑව දශකයේ මැද භාගයේදි පමණ ආරම්භ කරනු ලැබූ කොළොංයාය වැව අක්කර 285ක පමණ වගා භූමියකට දියවර සපයන ගොවි ජනසේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රදේශයේ කුඩා වැව් අතර පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන වැවකි.
වැව ආරම්භ කරන සමයේ අක්කර එකසිය පනහක පමණ වෙල් යායකට දියවර සැපයුවද ගම්මානයේ අනුපවුල් වර්ධනය වීම සහ පුරන් ඉඩම් සංවර්ධනය වීම හේතුවෙන් වර්තමානයේ අක්කර 285ක පමණ වර්ධනයක් පෙන්නුම් කරනු ලබයි.
වැවේ යම් සංවර්ධනයන් විටින් විට කළත් වැවේ පිරෙන රොන් මඩ ඉවත් කිරීමක් හෝ වැව පුළුල් කිරීමක් නොකළ හෙයින් වගා බිමට ප්‍රමාණවත් ජලයක් සැපයීමට හැකියාවක් නොමැති බව ගොවීහු සඳහන් කරති. එසේම වැවේ වම් පසින් පවතින ජල කාන්දුවද ජලය අපතේ යනවා පමණක් නොව වැව් බැම්මේ පැවැත්මටද හානි කර තත්ත්වයක් පවතින බව ද ඔවුහු පවසති.
මිනිපේ මුත්තෙට්ටුතැන්න ඒකාබද්ධ ජල ව්‍යාපෘතියේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා – කොළොංයාය වැව කියන්නේ ජාතික ආහාර නිෂ්පාදනයට දායක වූ වටිනා වැවක්. මිනිපේ මහ ගොවි ජනපදයේ ඉඩම් අහිමි විශාල පිරිසක් කොළොංයාය ගම්මානයේ පදිංචි වී සිටිනවා. මේ වැව මේ වන විට ගොවි පවුල් 300කට වැඩි පවුල් පිරිසකගේ සාමාජිකයන් ජීවන ගමනට දායක වී තිබෙනවා. වැව ආරම්භ කළ කාලසීමාවට වඩා අද පවුල් සංඛ්‍යාව වර්ධනයක් වී තිබෙනවා. ඒ වාගේම තමයි පුරන්ව තිබූ ගොඩ ඉඩම් කුඹුරු බවට පත් කරගෙන සිටිනවා. යල කන්නයේදි මේ ගොවියා ජල ප්‍රශ්නය හමුවේ අසරණ වෙනවා. ඒ මොවුන්ගේ වගාවට අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමට නොහැකිව නිසි වේලාවට ජලය නොලැබුණොත් කරගන්නා වගාව සහමුලින්ම විනාශ වෙනවා වාගේම එය ඔවුන්ගේ ආර්ථිකයටත් දැඩි බලපෑම් එල්ල වෙනවා.
ගොවි නියෝජිත කේ. ජි. ජයරත්න මහතා – අපේ කුඹුරුවලට ජලය සපයන කොළොංයාය වැවේ අඩුපාඩු නම් බොහොමයි. ඒ නිසාම අපිට යල කන්නයේ වී වගාවට පමණක් නොවෙයි අතිරේක බෝග වගාවටත් අවශ්‍ය ප්‍රමාණවත් ජලයක් ලබා ගැනීම ගැටලුසහගත තත්ත්වයක් ව පවතිනවා. අපේ අයට වෙනත් ස්ථිර ආදායම් මාර්ග හෝ වෙනත් ප්‍රදේශවල කුඹුරු ඉඩම් නැහැ. මේ කුඹුරේ මහ කන්නයේ වී වගා කරගැනීමෙන් සහ යල කන්නයේ අතිරේක බෝග වගා කර ගැනීමෙන් ලැබෙන ආදායමෙන් තමයි මේ අයගේ දරුපවුල් රක්ෂා කරගන්නේ. ඇතැම් යල් කන්නවල වැවේ ප්‍රමාණවත් ජලයක් රැඳෙන්නේ නැහැ. එම කාලයට තමයි ජල ගැටලුව පවතින්නේ. අපි මුර ක්‍රමයට ගොවියාට ජලය දුන්නත් ඉඩෝර කාලේ නිසා ඉතා ඉක්මනින්ම ඒ ජලය වේළිලා යනවා. ඒ නිසා අපේ ඉල්ලීම වන්නේ වැවේ පිරිලා තියෙන රොන් මඩ ඉවත් කරලා අඩි කීපයක් වැව තව ගැඹුරට හාරලා වැවේ ඉහත්තෑව තව අඩි 20ක් විතර ඉහළට පුළුල් කරලා වැඩි ජල ප්‍රමාණයක් වැවේ රඳවා ගන්නා ආකාරයට සකස් කරලා දෙන්න කියලයි. වනජීවී කලාපයේ පිහිටි වැවක් නිසා මෙම සංවර්ධන කටයුත්තට වනජීවියෙනුත් අපට අවසරයක් ලැබෙන්න ඕන.
මිනිපේ ප්‍රාදේශීය සමෘද්ධි සංවිධානයේ ලේකම් ඩබ්ලිව්. ජී. සරත් ජයන්ත මහතා – දෙවෙනි අමුණක් කියලා මේ වැව යටතේ අමුණක් තියෙනවා. දෙවෙනි අමුණ යටතේ අක්කර පනහකට වැඩි වපසරියක් වගා කටයුතු වෙනවා. ජලය හිඟ කාලයට ඒ කියන්නේ යල කන්නයේ අපිට ප්‍රමාණවත් ජලයක් සපයා ගැනීමට අපහසුයි. ඒකට හේතුව අමුණේ ඉඳලා කුඹුරු දක්වා ජලය ගෙන යන ඇළ ප්‍රමිතියෙන් තොරව ඉදිකර තිබීම නිසායි. ඒකට හේතුව මේ ඇළ සකස් කරලා තියෙන්නේ කුඹුරු තියෙන පැත්තට වතුර බහින්න නෙවෙයි ආපහු අමුණටම වතුර යන විදිහටයි. ඒ නිසා මේ ඇළ නැවත වෙල් යායට වතුර බැසයන ආකාරයට හදන්න වෙනවා. මේ කටයුත්ත කළ යුතුම වැඩක් කියලයි මම කියන්නේ. මෙම ඇළ මීටර් 300ක් පමණ දුර තියෙනවා. ගොවීන් 22 දෙදෙනෙක් මේ ඇළ යටතේ වගා කටයුතු කරනවා. මේ තත්ත්වය මත යල කන්නයේ වගා කටයුතු කිරීමේ දී ගොවියෝ උග්‍ර ජල ප්‍රශ්නය හමුවේ පීඩාවට පත්වෙනවා.
හසලක වනජීවී අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ඒ. මහින්ද විජේසිරි මහතා – මෙම වැව පුළුල් කිරීමේ යෝජනාවට අපේ විරෝධයක් නැහැ. ඔවුන් ඉදිරිපත් කරනු ලබන යෝජනාව අධ්‍යයනය කිරීමෙන් පසු අපේ නිර්දේශය දෙපාර්තමේන්තුවට යොමු කරලා අවශ්‍ය අනුමැතිය අරගෙන දෙන්න පුළුවන්.