රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ජූලි 06 වැනි දින සිට ආරම්භ වේ. උතුරු නැඟෙනහිර සිට පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් මේ වන විට සිය වන්දනා ගමන ආරම්භ කර තිබේ.
පුපුරු ගසන වැලිතලාව නිසා ඔවුන්ගේ දෙපාවල යටි පතුල් ගිනියම් වේ. වලාකුළු නොමැති අහසින් බිමට පතිත වන හිරු කිරණ හිස ද ගිනියම් කරමින් ඇත. වග වලසුන් අලි ඇතුන් එහා මෙහා දුවමින් ඇත. මේ කටුක බව දැනෙන විට දී ‘හරෝ හරා’ කියමින් කඳ සුරිඳුන් සිහි කළ පමණින් සියලු වෙහෙස නිවේ.
මේ අයුරින් අනේක දුක් කරදර විඳිමින් මහා වන මැදින් උතුම් කතරගම කඳ සුරිඳුන් පිදීම සඳහා පැවැත්වෙන ඇසළ මංගල්‍යයට පාද යාත්‍රාව මඟින් පැමිණෙන බැතිමතුන් මේ වන විට කතරගම පුරවරයට පැමිණීමේ වන්දනාව දැන් ආරම්භ කර ඇත. මෙම පාද යාත්‍රාව සඳහා දස දහසක් ඉක්මවා බැතිමතුන් එක්ව සිටින අතර මෙහි ප්‍රථම කණ්ඩායම පෙරේදා (30) ඓතිහාසික ඔකඳ දේවාලය අසලින් කුමන ජාතික වන උද්‍යානයට පිවිස ආරම්භ කරනු ලැබීය.
කතරගම දේවාලයේ පෙරහර මංගල්‍යය ලංකාවේ පැවැත්වෙන පැරණිම පෙරහර වන අතර අතීතයේ මංමාවත් නොමැති ප්‍රවාහන පහසුකම් නොමැති යුගයේ කතරගම වන්දනා සමයේ දී බැතිමතුන් පැමිණියේ පාද වන්දනාව මඟින්ය.
මෙම පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් කතරගම ඇසළ මංගල්‍යය සමය වන විට දී මාස තුනකට පෙර සිට ඒ සඳහා පැහැදී පේවීම සිදු කරති. මස් මාංශයෙන් තොරව මළ ගෙවල්වලට නොගිහින් ද අනුන් අඳින ලද ඇඳුම් ඇඳීමෙන් තොරව සිටීමෙන්ද ගැහැනු පිරිමි දෙපළම පිරිසිදුව පේවීම මූලිකම කටයුත්තයි.
ඇසළ පෙරහර ළංවීමට මාසයකට පෙර පිරිසක් ත්‍රිකුණාමලය යාපනය මඩකලපුව වැනි ප්‍රදේශයෙන් සිය ගමන් අරඹන අතර තවත් පිරිස් කණ්ඩායම් වශයෙන් එක් වී මෙම පාද වන්දනාව සඳහා විවිධ ප්‍රදේශයන් ඔස්සේ පැමිණෙන අතර තවත් පිරිසක් පානම කුමනට රථවලින් පැමිණ මහා වනය මැදින් දින 10ක් පමණ කාලයක් දුර කතරක් ගෙවා කතරගමට පැමිණෙති.
කතරගම පෙරහර මංගල්‍යය පැවැත්වෙන පුරා දින 15 පුරාම බැතිමතුන් මේ අයුරින් පාද යාත්‍රාව මඟින් පැමිණෙන අතර හරෝ හරා කියමින් කුමන ජාතික වන උද්‍යානයට ඇතුළු වී කුඹූක්කන් ඔය, පෙත්තන, යාල අංක 02 මැණික් ගඟ ඔස්සේ යාල අංක 01 කලාපයට පැමිණ කටගමුව ඔස්සේ කතරගම පුරවරයට පැමිණීම සිදුවේ.
මේ පැමිණෙන ගමනේ දී වැඩි බර දේවල් රැගෙන නොයෙන අතර බොහෝ පිරිසක් වැව් තුළ ඇති පලා වර්ග හා කරකොළ එක්කර සිය බත් වේල සකස් කර ගනිති. මෙසේ පැමිණෙන බැතිමතුන් පරිසරය සමඟ අතීතයේ දී බැඳීමකින් පැමිණියත් අද වාර්තමානයේ දී එය වෙනස් කර ඇත.
මෙම පැමිණෙන බැතිමතුන්ට මහා වනයේ දී වන සතුන්ගෙන් පීඩාවක් නොවන අතර වන සතුන්ද මෙම පාද වන්දනා සමයේ දී මිනිසුන් මග හැර යනු ලබයි. දින ගණනාවක් දුර කතරක් ගෙවා කතරගමට පැමිණෙන බැතිමතුන් පූජා භූමියේ ඇති ගස් යටට වී දින 15ක් කඳ සුරිඳුන්ට පුද පූජා තබා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු සිය ගම් බිම් වෙත දිය කැපූ ජලයද රැගෙන යනු ලබන්නේ ලබන වසරේ දී නැවත පැමිණීමේ අටියෙනි.