අපටම අපේ රටට ආවේණික වූ බොහෝ දේ මේ වනවිටත් අපෙන් මෙන්ම විශ්වයෙන් ද සමුගෙන යන්නේ අපත් නොදැනුම්වත්වමය. එවන් අපටම ආවේණික වූ අපේ අනන්‍යතාවක් වූ ගොක්කොළ කලාව අපේ සංස්කෘතියෙන්, අපෙන් සමුගෙන යන්නට සූදානමින් සිටින කලාවකි. එසේ බලන විට අපෙන් සමුගෙන යන දේ අතරින් අපටම ආවේණික වූ ගොක්කොළ කලාව ද මෑත නුදුරු දිනකදීම සමුගෙන යන කලාවක් බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුත්තකි.
කලාව මිනිස් සිත සුවපත් කරයි. එවන් වූ කලාව විවිධ වූ කලාවන් හරහා විවිධ වූ නිර්මාණ බිහිකරයි. ඒ විවිධ වූ නිර්මාණ හරහා මිනිස් සිත සුවපත් වන නව නිර්මාණ රැසක් බිහිවේ. ඒවා අතරින් බොහෝමයක්ම ශ්‍රී ලාංකේය සන්නාමය හරහා ඒ ඒ කලාකරුවන් අද්විතීය වූ නිර්මාණ බිහිකරයි. එවන් කලාකරුවාගේ සිතේ ඇඳෙන නිර්මාණය කලාවට නැංවීමට කලාකරුවා කටයුතු කරන අතරතුරදී ඔහුගේ සිතේ ඇඳි සුන්දර නිර්මාණය දකින සැම සිත් වසඟ කරගන්නා ආකාරයෙන් නිර්මාණය සිතුවමට නැංවීම කලාකරුවාගේ සිරිතයි.
පෙර කී ලෙස කලාව විවිධ පැතිකඩ ඔස්සේ බිහිවන්නට එය ගීත කලාව (සංගීතය), චිත්‍ර, නැටුම් වශයෙන් කලාවන් බිහි වී ඇති අතර චිත්‍ර කලාව තවත් සංකීර්ණ වෙමින් එය ද තවත් අංශ කිහිපයක් හරහා නිර්මාණ බිහිකරමින් ප්‍රේක්ෂක ඔබ, අප වෙත තිළිණ කරන්නකි. චිත්‍ර කලාවෙන් වෙන් වී තවත් අද්විතීය කලා නිර්මාණයක් ලෙස ගොක්කොළ කලාව ද මේ වනවිට සුවිශේෂී කලාවක් ලෙස රසවත් නිර්මාණ බිහිකරමින් අද දෙස්, විදෙස් සැමගේ සිත් ඇදගන්නා කලා නිර්මාණ බිහිකරන සුවිශේෂි වූ දුර්ලභ කලාවකි.
නමුත් ගොක් කලා නිර්මාණ අනෙක් කලාවන්ගෙන් වෙන් වී වෙනමම නිර්මාණය වන කලා නිර්මාණයකි. නමුත් ගොක් කලාව තුළින් සුන්දර නිර්මාණයක් බිහිවන්නටනම් එවන් කලාකරුවා චිත්‍ර කලාවෙන් පෝෂණය වී සිටිය යුතුමය යන විශ්වාසයක් ඇති වන්නේ එසේ චිත්‍ර කලාවේ හැකියාවන් ඇත්නම් ගොක් කලාවේ ද සුන්දර, සුවිශේෂී දැකුම්කලු සිත් ඇදගන්නාසුලු නිර්මාණ බිහිවීම තුළිණි. ගොක් කලාව අනෙක් නිර්මාණවලින් එහා සුන්දරත්වයක් ලබාදෙන කලාවකි. සැබැවින්ම අද චිත්‍ර කලාව හා බලන විට ප්‍රේක්ෂක සිත ගොක් කලා නිර්මාණවලට සුවිශේෂි ප්‍රියතාවක් දක්වයි.
ගොක්කොළ කලාව ගොක්කොළ නිර්මාණයක් බිහි කිරීම සිතන තරම් සුන්දර නැත. ගොක්කොළ නිර්මාණයක් බිහි කිරීමට අනෙක් සිතුවම් නිර්මාණවලට වඩා මහන්සියක් ගන්නට සිදුවන කලාවක් බවත්, නිර්මාණය බිහිකිරීමට වැඩි කාලයක් ගතවන බවත් පවසන නිර්මාණකරුවන් පොල් ගසේ හා තැඹිලි ගස්වල විවිධ අවස්ථාවල අතු අවශ්‍ය වන බව ගොක්කොළ නිර්මාණ බිහි කරන නිර්මාණ ශිල්පීහු පවසති. නමුත් ගොක්කොළ නිර්මාණයක් බිහිකිරීමේ දී පසුව ඉතාම අලංකාරව දකින අය ප්‍රිය උපදවන, කාගේත් ඇගයීමට ලක්වන නිර්මාණයක් බිහිවීම අනිවාර්ය සිද්ධියක් බව ගොක්කොළ නිර්මාණකරුවන් පවසන්නකි.
අද වනවිට ගොක්කොළයෙන් බොහෝ නිර්මාණ බිහිවන අතර දක්ෂ ගොක්කොළ නිර්මාණකරුවන් ඉතාම සූක්ෂ්ම ලෙස මේ සෑම නිර්මාණයක්ම ඉතාම දැකුම්කලු ලෙස නිර්මාණය කරයි. ගොක්කොළ නිර්මාණවල ගොක්කොළ පෝරු, පිරිත් මණ්ඩප්ප, ගොක්කොළ තොරණ, පිළිගැනීමේ තොරණ, ගොක්කොළින් නිර්මාණය කරන පහන් කණු ඇතුළු බොහෝ දේ අද සමාජයේ දකින්නට ඇති නිර්මාණ වන අතර ඊට අමතරව ගොක්කොළයෙන් නිර්මාණ කරණ බුදුපිළිම හා බෞද්ධ විවිධ වූ දර්ශන, දර්ශනීය ගොක්කොළ වේදිකා, සංගීත සංදර්ශන වේදිකා ඇතුළු විශාල නිර්මාණ ප්‍රමාණයක් බිහි කරන බව ගොක්කොළ නිර්මාණකරුවෝ පවසති. එහෙත් ගොක්කොළ නිර්මාණයක් ගත සිත පිනවන නිර්මාණයක් වුවත් එය එතරම් පහසු දෙයක් නොවන බව නිර්මාණකරුවන්ගේ අදහසයි. එවන් ගොක්කොළ නිර්මාණ බිහිකිරීමේ දී අධික මානසික හා කායික වෙහෙසක් දරන්නට ද සිදුවන බව පවසන්නේය.
ගොක්කොළ කලාශිල්පි නිහාල් ජයලාල් (දීපාලි) :
අප හිතන විදිහට අපෙන් පස්සෙ මේ කලාව නැති වෙලා යාවි. මේක හරිම උතුම් වටිනා කලාවක්. ගොක්කොළ කලාවේ වටිනාකම දන්න අය මේ කලා නිර්මාණවලට කැමැත්තක් දක්වනවා. ඇගයීමකට ලක්කරනවා. වටිනාකම දන්න අය එයාලගෙ අවශ්‍යතාවන් (මංගල පෝරුවක්, පිරිත් මණ්ඩප්පයක්, පිළිගැනීමේ තොරණක් වැනි දේ) ගොක්කොළ නිර්මාණයකින් කරගන්න උනන්දු වෙනවා. නමුත් සිදුවී ඇත්තේ මේ කලාව ඉගෙනගන්න දැන් තරුණ අය පෙලඹෙන්නේ නෑ. ඔවුනට මේ කලාවේ වටිනාකම තේරෙන්නේ නෑ. ඇත්තටම හරි ගෞරවාන්විත කලාවක් ගොක්කොළ කලාව කියන්නේ.
ගොක්කොළ නිර්මාණයක් කරන්න වෙලා යනවා. ඒ නිසා සමහරු කැමැත්තක් තිබුණත් මෙය අතහැර වෙනත් ක්‍රමවලට යනවා.
නිර්මාණ ශිල්පි රොෂාන් ප්‍රියන්ත:
“පාරම්පරික, අපටම ආවේණික ශිල්පයක් වුවත් ගොක්කොළ කලාව අද වනවිට මට පෙනෙන විදිහට නම් රතු දත්ත ලේඛනයට ඇතුළත් වී ඇති කලාවක් බවටයි පෙනෙන්න තිබෙන්නේ. ඒ සඳහා විවිධ හේතු ඇති බවත් ඉන් ප්‍රධානතම හේතුවක් ලෙස මේ වනවිට රට ඩිජිටල්කරණයට ප්‍රබල ලෙස හුරු වී ඇතැයි ද, ඒ නිසා ගොක්කොළ කලාවට මේ තත්ත්වය උදාවී ඇතැයි ද ඔහු පවසයි. ගොක්කොළ නිර්මාණය කෙතරම් දැකුම්කලු ගාම්භීර නිර්මාණයක්, කලාවත් වුවත් ඒ සඳහා වැයවන කාලය, ශ්‍රමය, අමුද්‍රව්‍ය දෙස බලන විට ඩිජිටල් කොපියක් ලබාගෙන ඒ තුළින් තමන්ගේ අවශ්‍යතාව සකස්කරගැනීමෙන් වියදමත්, කාලයත් අඩුවෙන් කරගත හැකි යැයි ද ඒ නිසා සමාජය දැන් ඒ ආකාරයට හුරු වී ඇතැයි ද පැවැසූ අතර නමුත් ගොක්කොළ නිර්මාණයකින් යම් නිර්මාණයක් කළවිට එහි ඇති වැදගත්කම, පෞරාණික බව, ගාම්භීර බවනම් ඉතාම ඉහළ තලයක තිබෙන බවත් දකින කාගේත් කතාබහට ලක්වන නිර්මාණයක් වන බවත් ඔහු පවසයි. ගොක්කොළ නිර්මාණයක් සමාජයෙන් ඈත්වන්නට තවත් ප්‍රධාන හේතුවක් ලෙස ඔහු පෙන්වාදෙන්නේ තරුණ පරම්පරාව අතීතයේ සිට පැවැත එන මෙම ගොක් කලාව ඉගෙන ගැනීමට, එය ඉදිරියට පවත්වාගෙන යාමට උනන්දුවක් නොදැක්වීමත් බව පවසයි. ඒ නිසා මෙම කලාව සමාජයෙන්, අපගෙන්, අපගේ සංස්කෘතියෙන් ඈත් වී යන්නට පටන්ගෙන ඇතැයි ද රොෂාන් ප්‍රියන්ත වැඩිදුරටත් පැවසීය.